BREAKING NEWS
latest

728x90

468x60

Saturday, October 07, 2017

ට්‍රම්ප්ට වරදින ලකුණු - ආණ්ඩුව පිල් බෙදේ

ඉරානය පිළිබඳ සම්මුතිය තවදුරටත් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා නොකළහොත් කොන්ග්‍රස් මණ්ඩල ප්‍රධානින්ට ඉරානයට එරෙහිව දැනට අත්හිටුවා ඇති සම්බාධක යළි පැනවීම තීරණය කිරීම සඳහා දෙමසක කාලයක් ලැබේ. මෙහිදී ආණ්ඩුවේ ප්‍රබලයන් අතර මේ කාරණය පිළිබඳ ඇතිවී තිබෙන බෙදීම තීරණාත්මක කාරණයකි. මතෙස් වැනි අය එය තවදුරටත් පවත්වාගත යුතුය යන මතයේ සිටියදී ටිලර්සන් වැනි අය දැඩි ලෙස ඊට එරෙහිව සිටී.

ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළට අදාළව දෙරට අතර ඇතිකරගත් සම්මුතිය තවදුරටත් ඉදිරියට ගෙනයනවාද යන්න ගැන අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණාත්මක තීරණයක් ගැනීමට නියමිතව තිබියදී ආරක්ෂක ලේකම් ජිම් මතෙස් හා ජනාධිපතිවරයා අතර මත ගැටුමක් ඇති වී තිබේ. ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම දරන නිලධාරීන් අතරින් ජනාධිපතිවරයා සමඟ මේ අන්දමේ මත ගැටුමක් ඇතිකරගත් දෙවැනි ජ්‍යෙෂ්ඨ නිලධාරියා මතෙස් ය. ඔහු අවධාරණය කර සිටින්නේ මෙවැනි සම්මුතියක් ඇතිකරගැනීම වරදක් විය හැකි නමුත් එය ඉදිරියට පවත්වාගෙන යා යුතු බවය.

ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ අරඹයා මෙම සය පාර්ශවික සම්මුතියට එළැඹියේ 2015 වසරේදීය. එවක ජනාධිපති බැරක් ඔබාමාද ඊට මුල්විණි. එම එකඟතාව ඔස්සේ ඉරානය මත බලපැවැත් වූ අමෙරිකා සම්බාධක ලිහිල් කෙරිණ. ඊට ඉරානයේ ප්‍රතිචාරය ද සුබවාදී එකක් බව පෙනෙන්නට තිබිණි. එසේ වුවද ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරණ ව්‍යාපාරයේදී එය දැඩිව විවේචනය කළේය. ඔහු අවධාරණය කළේ එවැනි සම්මුතියක් ඇති කරගැනීම බලවත් වරදක් බවය. සෑම විටම ඔහු එය බැහැර කළේ ඛේදවාචකයක් ලෙස හඳුන්වා දෙමිනි.

බලයට පත්වීමෙන් පසු එම ස්ථාවරයේ පිහිටා ක්‍රියාකිරීමට දැන් ඔහුට සිදුවී ඇත. එහෙත් එය යහපත් ප්‍රතිඵල ළඟා නොකරනු ඇති බව මතෙස් වැනි ඇතැම් ඉහළ නිලධාරීන්ගේ අදහසය. සෙනෙට් මණ්ඩලයේ සන්නද්ධ සේවා කමිටුව හමුවේ ඔහු අවධාරණය කර තිබුණේ. තවදුරටත් මේ සම්මුතියෙන් බැඳී සිටීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවය.

ආරක්ෂක ලේකම්ගේ මතය

උද්ගතව ඇති මතගැටුම්කාරී තත්ත්වය මඟින් පිළිබිඹු වන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සතු පෙලඹුම බව ඇතැම් විශ්ලේෂකයන්ගේ අදහසය. සිරියානු රජයට මෙන්ම හිස්බුල්ලාවරුන්ටද සහාය පළ කරන ඉරානය ගැන තමාට ඇත්තේද අසුබවාදී දැක්මක් වුවද මෙම සම්මුතිය පෙරට ගෙනයාම අවශ්‍යතාවක් බව මතෙස් පෙන්වාදී තිබේ. ඔහු දිගටම දැරූ ස්ථාවරය වූයේ අමෙරිකාව මෙහිදී ඉරාන විරෝධි ස්ථාවරයේ සිටීම යනු න්‍යෂ්ටික නොවන ඉරානයකට එරෙහිවීමක් බවය. ඔහු පැහැදිලිකර සිටින්නේ ඉරානය න්‍යෂ්ටික අවි තැනීම දක්වා යාම නතර කර ගැනීමට මෙවැනි සම්මුතියක් උපකාරීවන බවය. ඉරානය පිළිබඳ ඔහුගේ දැක්ම වෙනසට ලක්වී තිබේදැයි මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු කියා ඇත්තේ ඒ ගැන දැඩිව සිතා බැලීමට තමාද සහාය වන බවයි.
තුන්මසකට වරක් කොන්ග්‍රසය මෙම සම්මුතිය පිළිබඳ සළකා බලයි. ඒ අනුව එය තවදුරටත් දීර්ඝ කරන්නේද යන්න තීරණය කිරීමට නියමිතව ඇත්තේ ලබන 15 වැනිදාය. මතෙස්ට සමාන මතයක පිහිටමින් සන්නද්ධ සේවා කමිටුවේ සාමාජිකයකු ද වන ආර්කන්සාස් හි රිපබ්ලිකන් සෙනෙට් සභික ටොම් කොට්න් ද අදහස් දක්වා තිබේ. ඔහුද ආරම්භයේ පටන්ම මෙම න්‍යෂ්ටික සම්මුතියට එරෙහිවූවකු ලෙස ප්‍රකටය.

යම් හෙයකින් ජනාධිපති බැරක් ඔබාමා මෙම සම්මුතියෙන් බැහැරවීමට ක්‍රියා කළහොත් එය ඉරානය වඩා ආක්‍රමණශීලී ක්‍රියා පිළිවෙතකට තල්ලු කිරීමක් වනු ඇතැයි වොෂින්ටනය කේන්ද්‍රකරගත් බෲකින්ග්ස් ආයතනයේ ජ්‍යෙෂ්ඨයකු වන සුසෑන් මැලෝනි පෙන්වා දේ. එමෙන්ම එය අමෙරිකාවේ මිතුරන් සමඟ ඇති සබඳතාවන්ටද අහිතකර ලෙස බලපානු ඇති බව ඇයගේ අදහසය. මෙම න්‍යෂ්ටික සම්මුතියේ හවුල්කරුවන් ලෙස යුරෝපයද කටයුතු කරයි. එය අඩාල කිරීම වෙනුවට ඉරානය සිරියාව සම්බන්ධයෙන් ක්‍රියාකරන ආකාරය, ඉරාකය සහ ලෙබනනය අරබයා වඩා ආක්‍රමණශීලී උපායමාර්ගයකට අවතීර්ණවීමට ජනාධිපතිවරයා ක්‍රියා කළ යුතු බව ඇය අවධාරණය කරයි. ඩිමොක්‍රටික් සභිකයන් 180 දෙනකුට වැඩි පිරිසකගේ අත්සනින් ජනාධිපතිවරයාට යොමු කළ ලිපියක් මඟින්ද මෙම සම්මුතියෙන් බැහැර නොවන ලෙසට ආයාචනා කර ඇතැයි සඳහන් වේ. යම් හෙයකින් ඉන් බැහැරවීමට අමෙරිකාව ක්‍රියා කළහොත් එය යළිත් ඉරානය සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ සක්‍රිය කිරීමට හේතුවක් වනු ඇතැයි ඉන් පෙන්වාදී තිබේ.

එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් ද මෙම ඉල්ලීමම ජනාධිපති ට්‍රම්ප්ගෙන් කර තිබේ. තවදුරටත් එහි එල්බ ක්‍රියාකිරීම ලෝක සාමය හා ආරක්ෂාව සම්බන්ධයෙන් ද වැදගත් පියවරක් බව මහලේකම්වරයා අවධාරණය කර තිබුණේ නිව්යෝර්ක් නුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

අමෙරිකාව සමඟ තවත් බලවත් රාජ්‍ය හයක් ඉරානය සමඟ මෙම සම්මුතියෙන් බැඳී සිටිති. ඉන් අරමුණු කෙරුණේ ඉරානය න්‍යෂ්ටික අවි තැනීමෙන් වළකාලීමය. පසුගියදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් අමෙරිකා ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ද මෙම සම්මුතිය අමෙරිකාවට දුෂ්කරව බලපාන බවයි.

සම්මුතියෙන් බැහැරවීම වෙනුවට එය සංශෝධනය කිරීම පිළිබඳ ද අවධානය යොමුවී තිබේ. ඒ යටතේ ඊළඟ දශකයේ මැද භාගයේදී වුවද යුරේනියම් නිස්සාරණය වැළැක්වීම, ඉරාන න්‍යෂ්ටික බලාගාර නිරීක්ෂණය කිරීම සඳහා අන්තර්ජාතික පරමාණුක බලශක්ති කාර්යාංශයේ (IAEA) නියෝජිතයන්ට ඉඩ සැලසීම, ඉරානයේ බැලස්ටික් මිසයිල වැඩසටහන අවහිර කිරීම වැනි සංශෝධන ඇතුළත්ය.

බ්‍රිතාන්‍යයේ කැමැත්ත

කොට්න් පෙන්වාදෙන අන්දමට ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මඟින් පමණක් වුවද අනතුරු අඟවා සිටින්නේ ඔවුන් න්‍යෂ්ටික අවි තැනීමේ අභිලාෂයෙන් පසුවන බවකි. මෙහිදී බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය බොරිස් ජොන්සන් සිටිනුයේ අමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් දරණ ‍ස්ථාවරයේය. ඉරානය සිය වගකීම් පැහැර හැර ඇති බව ඔවුන්ගේ අදහසයි. කෙසේ වුවද කොට්න් පෙන්වා දෙන්නේ එවැනි තත්ත්වයක් යටතේ ගතහැකි රාජ්‍ය තාන්ත්‍රිකමය පියවර ඇති බවය. ක්‍රමාංකිත ප්‍රහාරයක් වුවද එක් විකල්පයක් බව ඔහු පෙන්වා දී තිබේ. යම් හෙයකින් ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන වෙනසකට භාජනය නොකරන්නේ නම් එය මුළුමනින්ම විනාශ කිරීමට අමෙරිකාවට හැකි බවට ඔහු අවධාරණය කරයි. කිසිවක් නොතිබීමට වඩා මෙවැනි සම්මුතියක් හෝ තිබීම මඟින් ඉරානය හා මැදපෙරදිග පුරා න්‍යෂ්ටික ප්‍රගුණන වැඩපිළිවෙළ අඩාල කිරීමට හැකියාවක් ඇති බව ඔවුහු පෙන්වා දෙති.

අමෙරිකා රාජ්‍ය ලේකම් රෙක්ස් ටිල‍ර්සන්ගේ මතය වන්නේ ජනාධිපති ට්‍රම්ප් ඉදිරිපිට විකල්ප කිහිපයක්ම ඇති බවය. උද්ගතව ඇති මතභේදාත්මක වාතාවරණය යටතේ තමා ඉල්ලා අස්නොවනු ඇති බවද ඔහු මාධ්‍ය හමුවේ පවසා තිබිණි. මේ විකල්ප ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇත්තේ ද ඔහු විසින්මය. ඒවා මොනවාදැයි ඔහු මෙතෙක් හෙළිදරව් කර නොමැත.

ආරක්ෂක ලේකම් ජිම් මතෙස් ගේ ස්ථාවරය ගැනද ඔහු මෙහිදී අවධාරණය යොමුකර තිබේ. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ටිලර්සන් කියා සිටියේ ජනාධිපතිවරයාට විකල්ප කිහිපයක් නිර්දේශ කිරීම මෙහිදී අනුගමනය කළ යුතු සුදුසුම ක්‍රියා පිළිවෙත ලෙස තමා වටහාගත් බවය. ඇතැම්විට ජනාධිපති ට්‍රම්ප් එය තවදුරටත් දීර්ඝ කිරීමට ඉඩ තිබේ. එහෙත් තම තීරණය කුමක් වනු ඇතිදැයි ඔහු තවමත් හෙළිදරව් කර නොමැත.

ට්‍රම්ප්ගේ අභියෝගය

ඉරානය පිළිබඳ සම්මුතිය තවදුරටත් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා නොකළහොත් කොන්ග්‍රස් මණ්ඩල ප්‍රධානින්ට ඉරානයට එරෙහිව දැනට අත්හිටුවා ඇති සම්බාධක යළි පැනවීම තීරණය කිරීම සඳහා දෙමසක කාලයක් ලැබේ. මෙහිදී ආණ්ඩුවේ ප්‍රබලයන් අතර මේ කාරණය පිළිබඳ ඇතිවී තිබෙන බෙදීම තීරණාත්මක කාරණයකි. මතෙස් වැනි අය එය තවදුරටත් පවත්වාගත යුතුය යන මතයේ සිටියදී ටිලර්සන් වැනි අය දැඩි ලෙස ඊට එරෙහිව සිටී.

ඒකාබද්ධ අවබෝධතා ක්‍රියාකාරී සැළැස්ම (JCPOA) යනුවෙන් හැඳින්වෙන මෙම සය පාර්ශවික සම්මුතිය ඉරාන - අමෙරිකා සබඳතාවන්ට අදාළව විසඳාගත යුතු ගැටලු ගණනාවකින් එක් කුඩා කොටසක් පමණක් බව ටිලර්සන් ගේ මතයයි. එය එක් වැදගත් කොටසක් විය හැකි වුවද එකම වැදගත් කොටස නොවන බව ඔහු පෙන්වා දී තිබේ. ඉරාන සබඳතා මේ සම්මුතිය මත පමණක් පදනම්ව අර්ථ දැක්විය නොහැකි බව තමා බොහෝ අවස්ථාවලදී පෙන්වා දී ඇති බව රාජ්‍ය ලේකම්වරයා පවසයි. මෙම අදහස් දැක්වීම්වලින් පැහැදිලිව පෙනෙන්නේ අමෙරිකා ජනාධිපතිවරයාට සිය තීරණය ගැනීමට සිදුවනු ඇත්තේ මත දෙකක් අතරින් බවය. දැනට එය ට්‍රම්ප් රජය මුහුණ දී සිටින අභියෝගයකි. සම්මුතිය තවදුරටත් දීර්ඝ කිරීමට ඔහු පෙළඹුණහොත් රාජ්‍ය ලේකම් ඇතුළු පාර්ශවය එරෙහි වනු ඇති අතර එය දීර්ඝ නොකළහොත් ආරක්ෂක ලේකම් ඇතුළු පාර්ශ්වය එරෙහිවනු ඇත.

අනෙක් අත‍ට මෙය අමෙරිකා දේශපාලනයට පමණක් අදාළ කාරණයක් නොවේ. මෙය සය පාර්ශ්වික සම්මුතියක් බැවින් අදාළ රාජ්‍ය හයටම මේ කාරණය අදාළ ය. ඉරානය සම්බන්ධයෙන් එය ඍජුවම බලපවත්වයි. මෙහිදී එම අනෙක් පාර්ශව කිනම් ප්‍රතිචාරයක් දක්වනු ඇතිදැයි ඉදිරි දින කිහිපයේදී පැහැදිළි වනු ඇත.

මෙය අමෙරිකා ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති පැහැදිලි කරන අවස්ථාවක් ද වේ. බොහෝ කාරණා සම්බන්ධයෙන් ඔහු අනුගමනය කරන දැඩි ස්ථාවරයන් මෙහිදී ද එලෙසම පවතිනු ඇතිදැයි ඉදිරි දින කිහිපයේදී පිළිබිඹු ‍වනු ඇත. එනම්, එම සති කිහිපය ඔහුගේ පාලනය සම්බන්‍ධයෙන් වැදගත් වකවානුවකි.

සියල්ලට වඩා වැදගත් වන්නේ මේ කාරණය ඉරානයට පමණක් නොව ලෝක සාමයට හා ස්ථාවර භාවයට කෙලෙස බලපානු ඇති ද යන කාරණයයි. අමෙරිකාව සිය තීන්දුව ගැනීමේදී ඒ ගැන කොපමණ අවධානය යොමු කරනු ඇතිදැයි තවමත් පැහැදිලිව පෙනෙන්නට නැත.
« PREV
NEXT »