BREAKING NEWS
latest

728x90

468x60

Monday, November 27, 2017

ෆයිසර් රට ගියේ අගමැතිටත් නොදන්වා - ලක්‍ෂමන් කිරිඇල්ල

පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා පිටරට ගොස්‌ ඇත්තේ අයවැය විවාදය සමයේ විදෙස්‌ ගමන් නොයන ලෙසට අගමැතිවරයා දී ඇති උපදෙසට පිටුපාමින් බව සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පෙරේදා (25 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.


සභානායකවරයා මේ බව පැවසුවේ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ස්‌ථාවර නියෝග යටතේ කළ ප්‍රකාශයට පිළිතුරු දෙමිනි.

පළාත් පාලන මැතිවරණයට අදාළ සීමා නිර්ණය ගැසට්‌ පත්‍රය වාරණයට ලක්‌කරන අවස්‌ථාවේ විෂයභාර ඇමැති මුස්‌තාපා මහතා අධිකරණය තුළ නොසිටි බවත් මැතිවරණ පමා වීමේ ගැටලුව ගැන අඩුම තරමින් ඇමැතිවරයා පාර්ලිමේන්තුවට හෝ ජනතාවට කිසිදු පැහැදිළි කිරීමක්‌ නොකළ බවත් දිසානායක මහතා කියා සිටියේය.

මෙම වාරණ නියෝගය ලබාදුන් පසුව ඇමැතිවරයා මේ දක්‌වා පාර්ලිමේන්තුවට පැමිණීමට පවා කටයුතු කර නැතැයි කී දිසානායක මහතා ඔහු විදෙස්‌ගතව ඇතැයි ජනමාධ්‍ය වාර්තා කර තිබූ බවද කීවේය. පළාත් පාලන ඇමැතිවරයා මෙසේ විදේශගත වූයේ කිනම් අරමුණක්‌ වෙනුවෙන්ද, මැතිවරණය පැවැත්වීමට වඩා මෙම සංචාරයේ ඇති වැදගත්කම සහ මෙය නිල සංචාරයක්‌ද යන්න සභාවට දන්වන ලෙස අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කළේය.

'ඇමැතිතුමා අද ලංකාවට එනවා. සඳුදා ඇවිත් උත්තර දේවි' යෑයි සභානායකවරයා කියද්දී මේ දවස්‌වල පිටරට යන්න එපා කියලා අගමැතිතුමා උපදෙස්‌ දී තිබෙනවා නේද.. එතකොට ඇමැති ගිහින් තියෙන්නේ ඒ උපදෙස්‌ නොතකාදැයි දිසානායක මහතා ඇසුවේය.

'රට යන්න එපා කියලා අගමැතිතුමා කියා තිබෙනවා. ඒ කාර්යය නිසිලෙස ඉටුවී නැහැ. දැනුම්දීලා නොවේ ගිහින් තියෙන්නේ..' යෑයි සභානායක කිරිඇල්ල මහතා කීවේය.

අජිත් අලහකෝන්, කුෂාන් සුබසිංහ
« PREV
NEXT »