BREAKING NEWS
latest

728x90

468x60

Sunday, December 10, 2017

මංගලගේ මංගල අය වැය 2/3 බහුතරයෙන් සම්මත වෙයි


නීල හරිත අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 99කින් පාර්ලිමේන්තුවේ දී ඊයේ (09) සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 155ක් ලැබුණු අතර විපක්ෂව ලැබුනේ ඡන්ද 56 ක් පමණි. 

කාරක සභා අවස්ථාවේ විවාදයට සහභාගී වෙමින් මුදල් හා ජනමධ්‍ය අමාත්‍ය ගරු මංගල සමරවීර කළ ප්‍රකාශය:

ගරු සභාපතිතුමනි‍,

2018 වර්ෂය සඳහා මවිසින් ඉදිරිපත් කරන ලද අයවැය ක‍ථාවේ කරු‍ණු පි‍ලිබඳව අයවැය කාරක ස‍‍‍භා අවස්ථාවේදී දින 19 ක් පුරා තම අදහස් දක්වමින් කථා ක‍ළ පක්ෂ විපක්ෂ සියලුම ගරු මන්ත්‍රීවරුන්ට මගේ ස්තුතිය පුද කිරීමට කැමතියි.

"නීල හරිත ආර්ථිකයක්" සහ "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" යන තේමාව යටතේ ඉදිරිපත් කළ 2018 අයවැය යෝජනාවන් ක්‍රියාත්මක කිරීමට පෙර ගරු මන්ත්‍රීවරුන්ගේ වටිනා අදහස් සහ යෝජනාවන් ලබාගැනීමට හැකිවීම මා අගය කොට සලකනවා. එහෙත් ඉතා ‍භාරදූර කාර්යය වන්නේ එම යෝජනාවන් යථාර්තයන් බවට පත්කිරීමයි.

අයවැය යෝජනාවලින් බොහෝ ප්‍රතිසංස්කර‍ණ සඳහා අඩිතාලම් දමා තිබෙන බැවින් ඒවා කඩිනමින් ආරම්‍භ කර එහි ප්‍රතිඵල මහජනතාවට ලබාදීමට අපේක්ෂා කරනවා. දැනටමත් සියලුම යෝජනාවන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික කටයුතු ආරම්‍‍‍‍‍‍‍‍‍‍‍‍භ කර ඇති අතර සියලු අමාත්‍යාංශවලින් ඒ සඳහා අවශ්‍ය සහාය ලැබෙනු ඇතැයි මා විශ්වාස කරනවා. 

ගරු සභාපතිතුමනි‍,

2017 වර්ෂයදිළිඳුකම පිටුදැකීමේ වර්ෂය ලෙස අතිගරු ජනාධිපතිතුමා ප්‍රකාශයට පත්කර ඇති බැවින් සියලුම සංවර්ධන වැඩසටහන් එම අරමුණ ඉටුවන පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. දිළිඳුකම පිටුදැකීමේ අරමුණින් දැනට ක්‍රියාත්මක වන “ග්‍රාම ශක්ති වැඩසටහන” තවදුරටත් පුළුල් කිරීම සඳහා රු.මිලියන 2,000 ක මුදලක් 2018 වර්ෂය සඳහා වෙන්කර දී තිබෙනවා. 

මුල් අදියරේදී ඉහළ දරිද්‍රතාවයක් පවතින පසුගාමී ග්‍රාම නිලධාරී වසම් 1,000 ක් තෝරාගෙන දිලිදුකම අවම කිරීමට කටයුතු කරන අතර ඉන්පසුව ක්‍රමිකව සියළු ග්‍රාම නිලධාරී වසම් ආවරණය කිරීමට මෙම වැඩසටහන යටතේ අපේක්ෂා කරනවා. මේ සඳහා අවශ්‍ය වන මුදල් අයවැය ඇස්තමේන්තු මගින් ඉදිරියේදී ලබාදීමට කටයුතු කරනවා. 

එසේම,මෙම වැඩ සටහන යටතේ නිෂ්පාදන ගම්මාන ලෙස දියුණුකල හැකි ග්‍රාම නිලධාරී වසම් හඳුනාගන්නා බැවින් නිෂ්පාදන ආර්ථිකය නංවාලීමටත්, අවශ්‍ය තාක්ෂණ පහසුකම් ලබාදීමටත් හැකිවෙනවා. ඒ තුලින් නව රැකියා අවස්ථා බිහිවන අතර විදේශ වෙළඳපල ඉලක්ක කර නිෂ්පාදනයන් දිරිගැන්වීමටද හැකිවෙනවා.එමෙන්ම,2018 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවන්ද දිළිදුකම පිටුදැකීමේ වැඩසටහනට අනුව සකස් කර ගැනීමට පියවර ගන්නවා.

ගරු සභාපතිතුමනි‍,

කාලගුණික හා දේශගුණික වෙනස්වීමත්, පරිසර පද්ධතියට සිදුකරන ලද බලපෑමත් හේතුකොටගෙන පසුගිය කාලය පුරාවටම ස්වභාවික ආපදාවන් රැසකට මුහුණදීමට අපට සිදුවුනා. එමනිසා ස්වභාවික විපත්වලට මුහුණදීමට හැකිවන පරිදි දීර්ඝකාලීන වැඩපිලිවෙලකට අවතීර්ණවීම අවශ්‍ය වෙනවා. ඒ අනුව, නාගරික ගංවතුර පාලනය අරමුණු කොටගෙන ඉහළ ගංගාධාර ප්‍රදේශවල ජලය රදවා තබාගැනීමට හැකි ජලාශ සකස් කිරීම හා ඒවාහි ධාරිතාවය වැඩිකිරීම පිළිබඳව අවධානය යොමුකර තිබෙනවා. 

මේ යටතේ මවිසින් වීඔය, නාවත, හොලොම්බුව සහ රූකාසල් ජලාශවල ධාරිතාවය වැඩිකිරීම දීර්ඝකාලීන වැඩපිලිවෙලේ කොටසක් ලෙස හඳුනාගනු ලැබූවද,පටු දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීමේ නියැලී සිටින පිරිසක් එම ප්‍රදේශවල ජනතාව නොමඟ යවන ලෙස කටයුතු කිරීම පිළිබඳව මා කණගාටුවෙනවා. මෙම යෝජනාවන් දීර්ඝකාලීන පියවරයන් ලෙස හඳුනාගනු ලැබූවද, අවශ්‍ය ශක්‍යතා අවධානයක් සිදුකර එහි යෝග්‍යතාවය සොයාබැලීමත්, මහජනතාවගේ අදහස් සැලකිල්ලට ගෙන ඔවුනගේ කැමැත්ත පරිදි සිදුකිරීමත්, අපගේ අරමුණයි. එසේ නොමැතිව මෙම ව්‍යාපෘති කිසිවක් ක්‍රියාත්මක නොකරන බව පැහැදිලිවමකිව යුතුයි.

ඇමරිකන් ඩොලර් මිලියන 200 ට වඩා ආයෝජනය කරන (ඉඩම් හැර) ආයෝජකයන් දිරි ගැන්වීමට එම ව්‍යාපාර ආරම්භ කර ක්‍රියාත්මක කරන කාල සීමාව තුළ (Project Implementation Period) ආනයනය කරනු ලබන යන්ත්‍ර සූත්‍ර සහ අනිකුත් ද්‍රව්‍ය සදහා වරාය හා ගුවන්තොටුපල සංවර්ධන බදු (PAL) නිදහස් කිරීමට කටයුතු කරමි. 

ශ්‍රී ලංකාවට වාහන ගෙන්වීමේදී රජයට ගෙවිය යුතු බදු මුදල් නිසි පරිදි නොගෙවන බවට අනාවරණය වීමෙන් පසුව, එතෙක් වාහන සඳහා බදු අයකිරීමේ පදනම ලෙසයොදා ගත් CIF අගය මත බදු අයකිරීම (මිල, රක්ෂණ, ගැල් කුලී මත) වෙනස්කර වාහනයේ ඇන්ජින් ධාරිතාවය පදනම් කරගෙන බදු අයකිරීමට යෝජනා කරන ලදි. 2018 වර්ෂයේ අයවැය මගින් මෙසේ බදු අයකිරීමේ පදනම වෙනස් කිරීම හේතුවෙන් වාහනවල අගය අඩුකර දැක්වීමට (Undervalue) ඇති අවස්ථාවන් මඟහැරී යනු ඇත. 

වාහන සඳහා බදු අයකර ගැනීමේ පදනම වෙනස් කිරීමත් සමඟම, විශ්‍රාම ගන්නා අවස්ථාවේදී, සුදුසුකම් ලබන රාජ්‍ය නිළධාරීන්ට ලබාදෙන සහනදායී පදනම මත වාහන ආනයනය කිරීමේ බලපත්‍රයට හිමිකම් ලබන රජයේ නිලධාරීන් විසින් ඔවුනට යම් අසාධාරණයක් වූ බවත්, ඒ සඳහා යම් සහනයක් සලසා දෙන ලෙසත් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන, එම නිලධාරීන්ට යම් සහනයක් සලසා දීමට කටයුතු කරමි.

ගරු සභාපතිතුමනි‍,

අයවැය විවාදයේදී අදහස් දැක්වූ අතිගරු ජනාධිපතිතුමාටත්, ගරු අග්‍රාමාත්‍යතුමාටත්, මැති ඇමතිවරුන්ටත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් මගේ ස්තුතිය පුදකිරීමට කැමත්තෙමි. එසේම, අයවැය සකස් කිරීමේ සිට මේ දක්වා මා හට සහාය දුන් මගේ රාජ්‍ය අමාත්‍යතුමාටත්, නියෝජ්‍ය අමාත්‍යතුමාටත් මගේ ස්තුතිය පුදකරන අතර, අයවැය විවාදයේදී සහය දැක්වූ ගරු කථානායකතුමා, පාර්ලිමේන්තු මහලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය, සියළුම මාධ්‍යවේදීන්, රාජ්‍ය නිලධාරීන් සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළුඔහුගේ කාර්ය මණ්ඩලයටත් මාගේ ස්තුතිය පුදකරමි.
« PREV
NEXT »