BREAKING NEWS
latest

728x90

468x60

Sunday, December 24, 2017

'මහරගමට උගත්, වියත්, වැදගත් නායකත්වයක් ගෙනෙමු'' - චම්පික

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පසු රටේ දැවැන්ත වෙනසක් සිදුවන අතර එය 2015 සිදුවූ වෙනසටත් වඩා වැඩි වෙනසක් බවත්, ගම් මට්ටමින් නව පිරිසක්, නව ක්‍රියාවලියක් මුළු රට පුරාම අලුතෙන් දේශපාලන ක්‍රියාවලියට එකතු වන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.


අළුත් පරම්පරා බිහිවී වත්මන් රට වෙනස් වී ඇති අතර ඒ අළුත් පරම්පරාවට, අළුත් තාක්ෂණයට රටේ ඉදිරියට යෑමට අවස්ථාව ලබාදිය යුතුයි. හැමදාම පරණ ගති ලක්ෂණ, පරණ පක්ෂභේද, පරණ ගෝත්‍රවාදය අපි තබාගත යුතු නෙමැති අතර ඒ පරණ අතීතයට තිත තබා අනාගතය දකින්න පුළුවන් තරුණ පිරිසකට නායකත්වය ලබාදිය යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඒ සඳහා අලුත් තරුණ බලවේගයකට, අලුත් තරුණ පෙරමුණකට අවස්ථාව උදාවී තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, ඊයේ(23) පළාත් පාලන මැතිවරණයේ මහරගම නගර සභාවට 532/C වත්තේගෙදර කොට්ඨාසයෙන් තරඟ කරන ධනුෂ්ක රාමනායක මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව පැවති ජන හමුව අමතමිනි. ඊට සමගාමීව යථාර්ථයක් වන මහරගම අනාගතය පිළිබඳව සැකසුණු ‘මාවත’ ප්‍රකාශය සහ ධනුෂ්ක රාමනායක මහතාගේ නිල වෙබ් අඩවිය (www.dhanushkaramanayake.com) ද එළිදැක්විණ.

මහරගම නගරයත් කොළඹ දිස්ත්‍රික් මහනගර සැළසුම යටතේ මහා නගරයක් බවට පත්කිරීමට සූදානම් බවත්, ඒ වෙනුවෙන් මහරගම නගරයේ පාලනය උගත් බුද්ධිමත් දක්ෂ පිරිසත් වෙත පැවරිය යුතු බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියේය. පක්ෂ, පාට භේදයකින් තොරව විමසා බැලුවත් මේ මහරගමට සුදුසු පුද්ගලයා වන්නේ ධනුෂ්ක රාමනායක මහතායි. ඔහු වැඩක් කරගන්න, කරන්න පුළුවන්, අභියෝගයක් බාරදෙන්න පුළුවන්, ඒ ගැන අඩම්බර වෙන්න පුළුවන් වැදගත් චරිතයක්. උගත්කමින්, කාර්යශූරත්වයෙන්, අත්දැකීමෙන්, ජාතික මෙන්ම ජාත්‍යන්තර අත්දැකීම්වලින් කටයුතු කළ හැකි පුද්ගලයෙක්. එතුමට ඕනෑම අවස්ථාවක ජනාධිපතිතුමා, අගමැතිතුමා, ආයතන ප්‍රධානීන් හා නිලධාරීන් සමඟ සම්බන්ධ වී වැඩ කළ හැකි බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන - මහරගම මීට වඩා ලස්සන කරන්න, මීට වඩා හැඩ වැඩ කරන්න , දියුණු කරන්න, ගෞරවණීය විදියට ජාතික තලයට ඔසවා තබන්න පුළුවන් ඉතාමත්ම ප්‍රබල මැතිවරණ අපේක්ෂකයෙක් තමයි ධනුෂ්ක රාමනායක. බිඳ වැටුණු පළාත් පාලන යාන්ත්‍රණය නැවත ගොඩනැංවීම සඳහා බස්නාහිර සංවර්ධන ව්‍යාපෘතිය ඔහුට මනා පිටුවහලක් වනු නියතයි.

පළාත් සභා මන්ත්‍රී නිමල් ආර් පීරිස් - මහරගම සංවර්ධනයට අතීතයේ සිට කැපවූ පරපුරක මතු පුරුකක් මහරගම පළාත් පාලනයට පිවිසීම සතුටට කාරණයක්. ඔහුව මහරගම නගරාධිපති බවට පත්කිරීම වත්තේගෙදර කොට්ඨාසයේ ජනතාවගේ බලාපොරොත්තුවයි.

ධනුෂ්ක රාමනායක - ප්‍රායෝගික මහනගර සංවර්ධන සැළසුමේ ප්‍රධාන නගරයක් වන මහරගම නගරය ඉදිරියේදී දැවැන්ත සංවර්ධනයක් කරා ගෙනයාමට මා සූදානම්. අද සිට ඇරඹෙන මෙම නව ගමන ගම සංවර්ධනය කර, නගරය සංවර්ධනය කර, ඉන් එහා සමස්ත බස්නාහිර පළාතත් රටත් පුරා දිවෙන දීර්ඝ ගමනකට සියළු දේ පසෙකලා තිර අදිටනින්, ඒ වෙනුවෙන් කැපවෙමින් අරමුණු සහිත ජයග්‍රහණයක් කරා යන්න කැපවෙන්න සූදානම්.

මෙම අවස්ථාවට ගෞරවනීය මහා සංඝරත්නය, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධානය නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, තරුණසේවා සභාවේ සභාපති නීතීඥ එරන්ද වැලි අංගේ, පළාත් සභා මන්ත්‍රී නිමල් ආර් පීරිස්, ගුරු නිවස අධ්‍යාපන ආයතනයේ ප්‍රධානී තිලක් මුණසිංහ ඇතුළු මැති ඇමතිවරුන්ගේ මෙන්ම තුන්සියයකට අධික පිරිසක් එක්ව සිටියහ.
« PREV
NEXT »