BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, January 24, 2018

මහින්දගෙන් ස්වාධීන රූපවාහිනියට අයවිය යුතු මුදල් නොගෙවීම සම්බ්න්ධ විමර්ශන වාර්තාව මෙන්න

පැවති 2015 ජනාධිපතිවරණයේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වාසි සහගත අන්දමින් ප්‍රචාරක කටයුතු සිදු කිරීම සඳහා ස්වාධීන රූපවාහිනිය නොමිලයේ යොදාගැනීම තුළින් රාජ්‍ය ආයතනයක් වූ එම රූපවාහිනියට රුපියල් එකොලොස් කෝටි විසිනව ලක්ෂ හාරදහස් හයසිය තිස් අටක (රු. 112,904,638) මුදලක් පාඩු සිදු කිරීම සහ එම ජනාධිපතිවරණයේම පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රවර්ධන ප්‍රචාරක දැන්වීම් සඳහා සත්‍ය ගුවන්කාල සම්මත මුදල මෙන් දෙගුණයක් අයකර එකම මැතිවරණයකදී සමාන අපේක්ෂකයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට අසමාන ලෙස සැලකීමකට බඳුන් කර වැඩි පුර මුදලක් ස්වාධීන රූපවාහිනී පාලන අධිකාරිය මගින් ලබාගැනීමට කටයුතු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් සිදු කළ පරීක්ෂණයේ සම්පූර්ණ වාර්තාව මේ වනවිට ලැබී තිබේ.

එම සම්පූර්ණ වාර්තාව පහතින් පලවේ…

“ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට අයවිය යුතු මුදල් නොගෙවීම සම්බ්නධ PCI/95/2015 දරණ පෙත්සම

අක්‍රමිකතාවයන් සහ වගකිවයුතු පාර්ශවයන්…

ඉහත සඳහන් පෙත්සම සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයෙන් අනතුරුව පහත සඳහන් පාර්ශවකරුවන් පරීක්ෂණ සඳහා කැඳවීමට නොතීසි ලත් පාර්ශවයන් ලෙස හඳුනාගෙන ඇත.
හේවගේ අනුර සිරිවර්ධන, නොම්බර 156/14, මාකොළපාර කිරිබත්ගොඩ.
විජේසිංහ පණ්ඩිතගේ අරුණ මූර්ති විජේසිංහ, සාමාන්‍යධිකාරී ස්වාධීන රූපවාහිනී සේවය, වික්‍රමසිංහ පුර බත්තරමුල්ල.
ජයසිංහ ආරච්චිගේ උපාලි රංජිත්, නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (අලෙවි), ස්වාධීන රූපවාහිනී සේවය, අංක 325, බෞද්ධාලෝක මාවත කොළඹ 07.
දිලීප් ප්‍රියන්ත වික්‍රමසිංහ, සහකාර කළමණාකරු (අලෙවි) ස්වාධීන රූපවාහිනී සේවය, අංක 325, බෞද්ධාලෝක මාවත කොළඹ 07.
කෙහෙළිය බණ්ඩාර දිසානායක රඹුක්වැල්ල, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංක 400/53, සරණපාර කොළඹ 07.
පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී / හිටපු ජනාධිපති, අංක 117, විජේරාම පාර කොළඹ 07.

අනාවරණය වූ වැරදි.

01 සිට 06 දක්වා වන නොතීසිලත් පාර්ශවයන්ට ආදාළව පරීක්ෂණයට පදනම් වූ සිද්ධීන් මෙසේය.
පුරප්පාඩුවක් නොමැති අවස්ථාවකදී අනුර සිරිවර්ධන යන අය ස්වාධීන රූපවාහිනියේ මාධ්‍ය ජාලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් අක්‍රමවත් ලෙස පත්කිරීම.
2015 ජනාධිපති මැතිවරණ කාලසීමාව ඇතුළතදී අපේක්ෂ මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රවර්ධන ප්‍රචාරක දැන්වීම් මීඩියා ෆැක්ටරි ආයතනය මගින් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ආයතනය වෙත යොමු කර නොමිලයේ විකාශනය කිරීම තුළින් සිදු වී ඇති රුපියල් 101,773,058ක මූල්‍යමය පාඩුව.
ඉහත මැතිවරණ කාලසීමාව තුළදී අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රවර්ධන දැන්වීම් ස්පෙල් සොලියුශන් ආතනය නමින් යොමු කර ස්වාධීන රුපවාහිනී මාධ්‍ය ජාලය මගින් මුදල් ලබා නොගෙන විකාශ කිරීම තුළින් සිදුව ඇති රුපියල් 2,467,812ක මූල්‍යමය පාඩුවක්.
2015 ජනාධිපතිවරණ මැතිවරන කාලසීමාව තුළදී අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරන ප්‍රවර්ධන ප්‍රචාරක දැන්වීම් විකාශනය කිරීමට පෙර මුදල් ලබාගෙන එම දැන්වීම් ප්‍රචාරය නොකර ලබාගත් මුදලින් රුපියල් 8,663,768ක මුදලක් ආපසු වික්ටරි ඇඩ්වර්ටයිසින් ආයතනය වෙත ගෙවීම තුළින් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට ලැබීමට තිබූ ආදායමක් නොලැබී යාම හේතුවෙන් සිදුවී ඇති ඉහත සඳහන් කළ මූල්‍යමය පාඩුව.

05. 2015 ජනාධිපතිවරණයේදී අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රවර්ධන ප්‍රචාරක දැන්වීම් සඳහා සත්‍ය ගුවන්කාල සම්මත මුදල (Rate Card) මෙන් දෙගුණයක් අයකර එකම මැතිවරණයකදී සමාන අපේක්ෂකයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට අසමාන ලෙස සැලකීමකට බඳුන් කර වැඩි පුර මුදලක් ස්වාධීන රූපවාහිනී පාලන අධිකාරිය මගින් ලබාගැනීමට කටයුතු කිරීම සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට සිදුවී ඇති රුපියල් 112,904,638ක මූල්‍යමය පාඩුව.

නිර්දේශිත නෛතික ක්‍රියාමාර්ග

මෙම කොමිෂන් සභාව විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන ලද පරීක්ෂණයෙන් පසුව ඊට අදාළ අවසන් වාර්තාව මේ වනවිට ඔබ තුමා වෙත ඉදිරිපත් කර ඇති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙම කොමිෂන් සභාව විසින් එළඹෙන ලද නිගමන හා තීරණ ඉහත කී වාර්තාවේ iv, v සහ vi වන කොටස්වල දක්වා ඇති අතර එහි උධෘත මෙහි පහත සඳහන් කර ඇත. “… වගකිවයුතු පුද්ගලයන්ට විරුද්ධව අපරාධ නඩු පැවරීම සම්බන්ධයෙන් මෙම කොමිෂන් සභාව විසින් කරුණු ලබන නිර්දේශ

මෙම සිද්ධීන් පදනම්කරගෙන පැවැත්වූ පරීක්ෂණයේදී මෙහෙයවන ලද සාක්ෂි සහ රහස් ප්‍රශ්න මගින් පෙන්වා දී ඇති කරුණුද දැන්වීම් ලත් පාර්ශවයන් වෙනුවෙන් ඉදිරිපත් කරනලද ලිඛිත සැලකීම්ද යන සියල්ල සලකා බලා එකී සාක්ෂි මෙකී කොමිෂන් සභාව විසින් ඉහත විස්තර කරණ ලද ආකාරයට විශ්ලේෂණය කිරීමෙන් පසුව, 01වන දැන්වීම් ලත් පාර්ශවය වන අනුර සිරිවර්ධනද, 03න්වන දැන්වීම් ලත් පාර්ශවය වන උපාලි රංජිත්ද, 04 වන දැන්වීම් ලත් පාර්ශවය වන දීලීප් වික්‍රමසිංහද, 06 වන දැන්වීම් ලත් පාර්ශවය වන මහින්ද රාජපක්ෂ යන අය අල්ලස් පනතේ 70 වන වගන්තියෙහි විස්තර කර ඇති “දූෂණය” නමැති වරද, දූෂණයට කුමන්ත්‍රණය කිරීමේ වරද, දූෂණයට අනුබල දීමේ වරද යන මෙම වැරදි එකක් හෝ ඊට වැඩි ගණනක් සිදු කර ඇති බව මෙම කොමිෂන් සභාවේ තීරණයයි.

මෙම (1) වන කොටසෙහි මෙම කොමිෂන් සභාව වෙත පවරා ඇති විධි නියෝග අනුව දූෂණ ක්‍රියා මගින් රාජ්‍ය වත්කම්වලට සහ රාජ්‍ය ආදායමට බරපතල අදාභ සිදුවීම සම්බන්ධව මෙම කොමිෂන් සභාවට විමර්ශන සහ පරීක්ෂණ පැවැත්වීමට බලය ලබාදී ඇත.

මෙහි සඳහන් දූෂණය නැමති වරද විස්තර කෙරෙන්නේ අල්ලස් පනතෙහිය. එකී පනතෙහි 70වන වගන්තියෙහි දූෂණය යන වරද පිළිබඳව විස්තර කර තිබේ. ඒ අනුව ආණ්ඩුවට අයුතු සහගත ලෙස හෝ නීතිවිරෝධී ලෙස පාඩු සිදු කිරීමේ තමා වෙත හෝ යම් තැනැත්තෙකු වෙත අයුතු සහගත ලෙස හෝ නීතිවිරෝධී ලෙස අර්ථ ලාභයක් අනුග්‍රහයක් හෝ වාසියක් සිදුකිරීමේ චේතනාවෙන්, හෝ ආණ්ඩුවට හෝ යම් තැනැත්තෙකුට අයුතු සහගත ලෙස හෝ නීතිවිරෝධී ලෙස පාඩු සිදුවිය හැකි බව නැතහොත් යම් තැනැත්තෙකුට අයුතු සහගත ලෙස හෝ නීතිවිරෝධී ලෙස අර්ථලාභයක්. අනුග්‍රහයක් හෝ වාසියක් සැලසෙන බව දැන දැනම පහත දැක්වෙන යම් ක්‍රියාවක්, එනම්

(අ) රජයේ සේවකයෙකු වශයෙන් වූ ස්වකීය ධුරය ප්‍රකාර කිරීමට තමාට බලය පැවරී ඇති යම් ක්‍රියාවක් කරන හෝ කිරීමෙන් වැලකී සිටින;

(ආ) රජයේ සේවකයෙකු වශයෙන් වූ ස්වකීය ධුරය ප්‍රකාර කිරීමට යම් රජයේ සේවකයෙකුට බලය පැවරී ඇති යම් ක්‍රියාවක් ඉටු කිරීමට හෝ ඉටු කිරීමෙන් වැලකී සිටීමට, වෙනත් යම් රජයේ සේවකයෙකු ලොළඹවන;

(ඇ) රජයේ සේවකයෙකු වශයෙන් වූ ස්වකීය ධුරය ප්‍රකාර තමාට දැනගැනීමට ලැබෙන යම් තොරතුරක් පාවිච්චි කරන;

(ඈ) රජයේ සේවකයෙකු වශයෙන් වූ ස්වකීය ධුරය ප්‍රකාර යම් තීරණයක් ගැනීමෙහිලා සහභාගීවන;

(ඉ) රජයේ සේවකයෙකු වශයෙන් වූ ස්වකීය ධුරය කෙළින්ම හෝ අන්‍යාකාරයකින් පාවිච්චි කිරීමෙන් යම් ක්‍රියාවක් ඉටු කිරීමෙන් හෝ ඉටු කිරීමෙන් වැලකී සිටීමට වෙනත් යම් කෙනෙකු පොළඹවන;

යම් රජයේ සේවකයෙකු දූෂණය පිළිබඳ වරද සම්බන්ධයෙන් වරදකරු වියයුතු බව සඳහන් වේ.

“රජයේ සේවකයා” යන්නෙහි අර්ථනිරූපනය අල්ලස් පනතේ අනූවන වගන්තිය යටතේ දැක්වෙන්නේ මෙසේය.

“රජයේ සේවකයා” යන්නට අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙකු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 45වන ව්‍යවස්ථාව යටතේ පත්කරන ලද අමාත්‍යවරයෙකු, කතානායකවරයා, නියෝජ්‍ය කතානායකවරයා, කාරක සභා නියෝජ්‍ය සභාපතිවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයෙකු, පළාතක ආණ්ඩුකාරවරයෙකු, පළාතක අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, රජයේ සෑම නිලධරයෙකු, සේවකයෙකු හෝ සේවා නියුත්තකයකු හෝ පාරිශ්‍රමිකයක් ලැබුවද නොලැබුවද පළාත් සභාවක පළාත් පාලන ආයතනයක හෝ උපලේඛනගත ආයතනයක හෝ කොටස්වලින් 50%කට වැඩි ප්‍රමාණයක් ආණ්ඩුව විසින් දරුණු ලබන 1982 අංක 17 දරණ සමාගම්පනත යටතේ ස්ථානගත කරන ලද සමාගමක යම් සභාපතිවරයෙකු, අධ්‍යක්ෂවරයෙකු, අධිපතිවරයෙකු, සාමාජිකයෙකු, නිලධරයෙකු හෝ සේවා නියුක්තිකයෙකු, පළාත රාජ්‍ය සේවයේ සාමාජිකයෙකු, සෑම ජූරි සභිකයෙකු, සෑම බලයලත් මිනින්දෝරුවරයෙකු සහ යම් අධිකරණයක් විසින් හෝ වෙනත් යම් රජයේ නිසි බලධරයෙකු විසින් යම් කටයුත්තක් හෝ කාරණයක් තීරණය කිරීම හෝ වාර්තා කිරීම පිණිස යොමු කර ඇති සෑම බේරුම් කරුවෙකු හෝ වෙනත් තැනැත්තෙකුද ඇතුළත් වේ.

ඒ අනුව සාක්ෂිවලින් අනාවරණය වූ ලෙසට කොටස්වලින් 100%ක්ම රජය සතු වූ ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපති, අධ්‍යක්ෂ වරයන්, සාමාජිකයන්, නිළධරයන් සහ සේවා නියුක්තිකයන් සියලු දෙනා “රජයේ සේවකයන්”වේ.

“කුමන්ත්‍රණය” නමැති වරද දණ්ඩනීති සංග්‍රහයේ 113 ආ වගන්තිය යටතේ දඬුවම් ලැබියහැකි වරදක් වන අතර, එය වෙනත් යම් වරදක් සිදු කිරීමට හෝ ඊට අනුබලදීම හා සම්බන්ධ වේ.

“අනුබලදීම” දණ්ඩනීති සංග්‍රහයේ 102 වගන්තිය යටතේ දඬුවම් ලැබියහැකි වරදක් වන අතර, එයද වෙනත් වරදක් හා සම්බන්ධ වේ. වරදට අනුබල දෙන්නාට ඒ වරද සඳහා නියමිත දඬුවමෙන්ම දඬුවම් කළ යුතුය.

ඒ අනුව 01, 03, 04, 06 දැන්වීම් ලත් පාර්ශවයන්ට පහත සඳහන් චෝදනා යටතේ නඩු පැවරීමට මෙම කොමිෂන් සභාව නිර්දේශ කරණු ලබයි.
රජයේ සේවකයන් වූ 01, 03, 04 දැන්වීම් ලත් පාර්ශවයන්, 06වන දැන්වීම් ලත් පාර්ශවය සමග එක්ව ආණ්ඩුවට අයුතු සහගත ලෙස හෝ නීති නීතිවිරෝධී ලෙස පාඩුවක් සිදුවිය හැකි බව දැන දැනම නැතහොත් 06වන දැන්වීම් ලත් පාර්ශවයට අයුතු සහගත ලෙස හෝ නීතිවිරෝධී ලෙස අර්ථලාභයක්, අනුග්‍රහයක් හෝ වාසියක් සැලසෙන බව දැන දැනම 2015 ජනාධිපතිවරණයට අදාළව මහින්ද රාජපක්ෂ නැමති 06වන දැන්වීම්ලත් පාර්ශවකාර ජනාධිපති අපේක්ෂක වරයාගේ මැතිවරණ ප්‍රචාරක දැන්වීම් විකාශනය කිරීමේදී ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට අයකරගතයුතුව තිබූ රුපියල් 102,158,058ක ප්‍රචාරක දැන්වීම් නොමිලයේ විකාශනය කිරීමෙන් “දූෂණය” නමැති වරද සිදුකිරීම සඳහා හෝ එකී වරද සිදු කිරීමට හෝ අනුබලදීම හෝ පොදු අරමුණක් සහිතව එකී වරද සිදුකිරීමට හෝ ඊට අනුබලදීමට හෝ එක් ක්‍රියාකිරීමට එකතුවීමෙන් එකී වරද සිදුකිරීමට හෝ ඊට අනුබලදීමට කුමන්ත්‍රණය කිරීමේ වරද සිදු කළ බවද, එකී කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් අනුව එකී දූෂණය නම් වරද සිදුවී ඇති බැවින් ඉහත 01, 03, 04, 06 දැන්වීම් ලත් පාර්ශවකරුවන් දණ්ඩනීති සංග්‍රහයේ 113 ආ සහ 102 යන වගන්ති සමග කියවියුතු 1998 අංක 20 දරණ පනතින් සංශෝධිත අල්ලස් පනතේ 70වෙනි වගන්තිය යටතේ දඬුවම් ලැබියයුතු වරදක් සිදු කර ඇති බවය.
රජයේ සේවකයන් වූ 01, 03, 04, දැන්වීම් ලත් පාර්ශවයන්, 06වන දැන්වීම් ලත් පාර්ශවය සමග එක්ව ආණ්ඩුවට අයුතුසහගත ලෙස හෝ නීතිවිරෝධී ලෙස පාඩුවක් සිදුවිය හැකි බව දැන දැනම නැතහොත් 06වන දැන්වීම් ලත් පාර්ශවයට අයුතු සහගත ලෙස හෝ නීතිවිරෝධී ලෙස අර්ථලාභයක්, අනුග්‍රහයක් හෝ වාසියක් සැලසෙන බව දැන දැනම 2015 ජනාධිපතිවරණයට අදාළව මහින්ද රාජපක්ෂ නැමති 06වන දැන්වීම් ලත් පාර්ශවකාර ජනාධිපති අපේක්ෂකවරයාගේ මැතිවරන ප්‍රචාරක දැන්වීම් විකාශනය කිරීමේදී ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂක වරයාගේ ප්‍රචාරක දැන්වීම් විකාශන කටයුතු සිදු කළ ස්පෙල් සොලියුෂන් නියෝජිත ආයතනයෙන් අයකරගත යුතු රුපියල් 2,467,812ක මුදලක් අයකර නොගැනීමෙන් “දූෂණය” නමැති වරද සිදු කිරීම සඳහා හෝ එකී වරද සිදු කිරීමට හෝ අනුබල දීම හෝ පොදු අරමුණක් සහිතව එකී වරද සිදු කිරීමට හෝ ඊට අනුබල දීමට හෝ එක්ව ක්‍රියාකිරීමට එකතුවීමෙන් එකී වරද සිදුකිරීමෙන් ඊට අනුබල දීමට කුමන්ත්‍රණය කිරිමේ වරද සිදු කළ බවද, එකී කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් අනුව එකී දූෂණය නම් වූ වරද සිදුවී ඇති බැවින් ඉහත 01,03,04,06 දැන්වීම් ලත් පාර්ශව කරුවන් දණ්ඩනීති සංග්‍රහයේ 113 ආ සහ 102 වන වගන්ති සමග කියවියයුතු 1998 අංක 20 දරණ පනතින් සංශෝධිත අල්ලස් පනතේ 70වෙනි වගන්තිය යටතේ දඬුවම් ලැබියයුතු වරදක් සිදු කර ඇති බවය.
රජයේ සේවකයන් වූ 01, 03, 04, දැන්වීම් ලත් පාර්ශවයන් සහ 06වන දැන්වීම් ලත් පාර්ශවය විසින් මෛත්‍රීපාල සිරිසේන යන අයට අයුතු සහගත ලෙස හෝ නීතිවිරෝධී ලෙස පාඩු සිදුවිය යුතු බව දැන දැනම 2015 ජනාධිපතිවරණයේ මැතිවරණයේ ප්‍රචාරක දැන්වීම් විකාශනය කිරීම සඳහා ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වූ එම අයගේ ප්‍රචාරක දැන්වීම් සඳහා අනෙක් ජනාධිපතිවරණ ප්‍රධාන අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක දැන්වීමකට අය කළ මුදල මෙන් දෙගුණයක් අයකිරීමෙන් “දූෂණය” නමැති වරද සිදු කිරීම සඳහා හෝ එකී වරද සිදු කිරීමට හෝ අනුබල දීම හෝ පොදු අරමුණක් සහිතව එකී වරද සිදු කිරීමට හෝ ඊට අනුබල දීමට හෝ එක්ව ක්‍රියාකිරීමට එකතුවීමෙන් එකී වරද සිදුකිරීමට හෝ ඊට අනුබල දීමට කුමන්ත්‍රණය කිරිමේ වරද සිදු කළ බවද, එකී කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් අනුව එකී දූෂණය නම් වූ වරද සිදුවී ඇති බැවින් ඉහත 01,03,04,06 දැන්වීම් ලත් පාර්ශව කරුවන් දණ්ඩනීති සංග්‍රහයේ 113 ආ සහ 102 වන වගන්ති සමග කියවියයුතු 1998 අංක 20 දරණ පනතින් සංශෝධිත අල්ලස් පනතේ 70වෙනි වගන්තිය යටතේ දඬුවම් ලැබියයුතු වරදක් සිදු කර ඇති බවය.
රජයේ සේවකයන් වූ 01, 03, 04, දැන්වීම් ලත් පාර්ශවයන්, 06වන දැන්වීම් ලත් පාර්ශවය සමග එක්ව ආණ්ඩුවට හෝ යම් තැනැත්තෙකුට අයුතුසහගත ලෙස හෝ නීතිවිරෝධී ලෙස පාඩුවක් සිදුවිය හැකි බව දැන දැනම නැතහොත් යම් තැනැත්තෙකුට අයුතු සහගත ලෙස හෝ නීතිවිරෝධී ලෙස අර්ථලාභයක්, අනුග්‍රහයක් හෝ වාසියක් සැලසෙන බව දැන දැනම 2015 ජනාධිපතිවරණයට අදාළව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අපේක්ෂක වරයාගේ මුදල් ගෙවූ රුපියල් 9,466,000ක් වටිනා ජනාධිපතිවරණ ප්‍රචාරක දැන්වීම් සාධාරණ හේතුවක් නොමැතිව අයුතු සහගත ලෙස හෝ නීතිවිරෝධී ලෙස ස්වාධීන රූපවාහිණි මාධ්‍ය ජාලයේ විකාශනය නොකර එම මුදල් ආපසු ගෙවීමෙන් ආණ්ඩුවට පාඩුවක් සිදු කිරීමෙන් “දූෂණය” නමැති වරද සිදු කිරීම සඳහා හෝ එකී වරද සිදු කිරීමට හෝ අනුබල දීම හෝ පොදු අරමුණක් සහිතව එකී වරද සිදු කිරීමට හෝ ඊට අනුබල දීමට හෝ එක්ව ක්‍රියාකිරීමට එකඟවීමෙන් එකී වරද සිදුකිරීමට හෝ ඊට අනුබල දීමට කුමන්ත්‍රණය කිරිමේ වරද සිදු කළ බවද, එකී කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් අනුව එකී දූෂණය නම් වූ වරද සිදුවී ඇති බැවින් ඉහත 01,03,04,06 දැන්වීම් ලත් පාර්ශව කරුවන් දණ්ඩනීති සංග්‍රහයේ 113 ආ සහ 102 වන වගන්ති සමග කියවියයුතු 1998 අංක 20 දරණ පනතින් සංශෝධිත අල්ලස් පනතේ 70වෙනි වගන්තිය යටතේ දඬුවම් ලැබියයුතු වරදක් සිදු කර ඇති බවය.

ඉහත කී වරදවල් සිදු කර ඇති පුද්ගලයින්ට එරෙහිව සාපරාධී නීති කෘත්‍ය ඇරඹීම සළකා බැලීමට සහ ඔවුන්ට විරුද්ධව නියමිත අධිකරණයේ නඩු කටයුතු පැවරීම සළකා බැලීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අවකාශය සලස්වනු පිණිස මෙම පෙත්සමට අදාළ විමර්ශනයේදී සටහන් කරන ලද ප්‍රකාශ සහ පරීක්ෂණයට අදාල සාක්ෂිද, සළකුණු කරන ලද ලේඛනද ඇතුළත් ගොනු පිටපත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමට මෙම කොමිෂන් සභාව විසින් තීරණය කරන ලදී…”

“… වරදවල් සහ වැරදි ක්‍රියාවන් සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග.

2015 මාර්තු 06 දිනැති අංක 1904/57 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් අතිගරු ජනාධිපති තුමා විසින් මෙම කොමිෂන් සභාව පත් කිරීමේ අරමුණු අතර වරදවල් සහ වැරදි ක්‍රියාවල් සිදු කර තිබීම සම්බන්ධයෙන් වගකිවයුතු තැනැත්තන්ට එරෙහිව ගතයුතු යම් ක්‍රියාමාර්ග වෙතොත් ඒ පිළිබඳව කොමිෂන් සභාවේ නිර්දේශ සහ එබඳු වරදවල් හා වැරදි ක්‍රියාවන් ඉදිරියේ සිදුවීම වලක්වාලීමේ අරමුණෙන් කරනු ලබන නිර්දේශ අතිගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ යුතුය…”

“… වරදවල් සහ වැරදි ක්‍රියාවන් සම්බන්ධයෙන් වගකිවයුතු තැනැත්තන්ට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග.

දූෂණය, දූෂණයට කුමන්ත්‍රණය කිරීම, දූෂණයට අනුබලදීම යන වැරදිවලට වගකිවයුතු 01,03,04,06 දැන්වීම් ලත් පාර්ශවයන්ට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කර අධිකරණයේ නඩු කටයුතු පැවැත්විය යුතු බවට මීට ඉහතදී නිර්දේශ කර තිබේ.

ඊට අමතරව ස්වාධීන රූපවාහිනී සේවයේ සේවකයන් වන 01,03,04, දැන්වීම් ලත් පාර්ශවයන් සමහරෙක් තවමන් එම ආයතනතුළ සිටින අතර, සමහරෙකු තාවකාලිකව වැඩ තහනමට ලක්ව තිබේ. මෙම කොමිෂන් සභාව විසින් මෙම සිද්ධිය සම්බන්ධව පූර්ණ පරීක්ෂණයක් පවත්වා ඉහත සඳහන් තීරණ සහ නිර්දේශ ලබාදී තිබේ. ඒ අනුව මෙම 01,03,04 දැන්වීම් ලත් පාර්ශවයන් තවදුරටත් ස්වාධීන රූපාවාහිනී ආයතනයේ හෝ වෙනත් රාජ්‍ය ආයතනයක රැකියා කිරීම, තනතුරු දැරීම හෝ වගකීම් දැරීම නුසුදුසු බව මෙම කොමිෂන් සභාවේ මතයයි.

06වන දැන්වීම් ලත් පාර්ශව කරු මෙම කොමිෂන් සභාවට ඉහත කී අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පැවරී ඇති බලතල ප්‍රකාරව එහි විශය පතය තුළට ඇතුළත් වී ඇත්තෙ දේශපාලන පදවි දැරූ හෝ තවදුරටත් දරමින් සිටින පුද්ගලයන්ගේ ගණයටය.

“දූෂණය” අද මුළු රටම වෙලාගත් ව්‍යසනයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ දූෂණයට හෝ වෙනත් අපරාධ නඩුවකට අධිකරණයේදී වරදකරුවී දඬුවම් ලැබූ අයෙකු මහජන නියෝජිතයෙකු වශයෙන් තේරීපත්වීමේදී ඇති නුසුදුසුකම් පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවෙහි 89වන ව්‍යවස්ථාවේ සඳහන් වේ.

89 (ඈ) යන ව්‍යවස්ථාව ප්‍රකාරව යම් කිසි තැනැත්තෙකු අවුරුදු 2කට නොඅඩු කාලයක් බන්ධනාගාර ගත කිරීමෙන් දඬුවම් කළ හැකි වරදකට කවර වූ හෝ අධිකරණයක් විසින් වරද කරනු ලැබීමෙන් පසුව නියම කරන ලද මාස 06කට නොඩු කාලයකට කවරවූ හෝ ආකාරයක බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් විඳිමින් සිටියි නම් නැතහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ එම දඬුවම සම්පූර්ණයෙන්ම විඳ සිටියේනම් නැතහොත් මරණීය දණ්ඩනයට යටත්ව සිටියි නම් නැතහොත් එවැනි දණ්ඩන නියමයක් ක්‍රියාවේ යෙදවීම වෙනුවට 06මාසයකට නොඅඩු කාලයකට බණ්ධනාගාර ගත කිරිමේ දඬුවමක් විඳිමින් සිටියි නම් නැතහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ එම දඬුවම සම්පූර්ණයෙන්ම විඳ සිටියේනම් ඒ තැනැත්තා ජනාධිපතිවරයා තෝරාපත්කරගැනීමේ ඡන්ද විමසීමකදී හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තොරාපත්කරගැනීමේ මැතිවරණයකදී හෝ ඡන්ද හිමියෙකු වීමට හෝ ජනමත විචාරණයකදී ඡන්ද දීමට හෝ සුදුස්සෙක් නොවන්නේය යනුවෙන් සඳහන් වේ.

ඊට අමතරව 89 (ඉ) (iv) ව්‍යවස්ථාව ප්‍රකාරව යම්කිසි තැනැත්තෙකු අල්ලස් පනතේ විධි විධාන යටතේ හෝ මතු පනවනු ලබන්නා වූද, අල්ලස් පනතට අනුරූප වන්නා වූද, යම් කිසි නීතියක විධිවිධාන යටතේ හෝ අල්ලස් චෝදනාවකට වරදකරු කරණු ලැබුව හොත් හෝ වරද කරු යයි තීරණය කරණු ලැබුව හොත් හෝ අන්තම වරද එසේ වරද කරු කරණු ලැබූ හෝ වරද කරු යයි තීරණය කරණු ලැබූ දින පටන් සත් වර්ශයක් ඉකුත් වී ඇත්නම් ඒ තැනැත්තා ජනාධිපතිවරයා තෝරාපත්කිරිමේ ඡන්ද විමසීමකදී හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තොරාපත්කරගැනීමේ මැතිවරණයකදී හෝ ඡන්ද හිමියෙකු වීමට හෝ ජනමත විචාරණයකදී ඡන්ද දීමට හෝ සුදුස්සෙක් නොවන්නේය.

වරදකට වරදකරු කිරීමෙන් මහජන නියෝජිතයෙකු වශයෙන් පත් කිරීමට නුසුදුසුවන ඉහත සීමාවන් සළකා බැලීමේදී පෙනී යන්නේ සිරදඬුවම් විඳි දේශපාලනඥයෙකුට වුවද සත් වසරකින් පසුව නැවත මහජන නියෝජිතයෙකු වශයෙන් තේරී පත්වීමට අවස්ථාව ඇති බවයි. නමුත් මෙම කොමිෂන් සභාවේ අදහස් වන්නේ අපරාධ ක්‍රියාවකට විශේෂයෙන් “දූෂණය” වැනි වරදකට වරදකරු වූ දේශපානඥයෙකු සත් වසරකින් පසුව වුවද මහජන නියෝජිතයෙකු වශයෙන් තේරීපත්වීම නොසුදුසු බවය.

දේශපානඥයෙකු ව්‍යවස්ථාදායකයේ නියෝජිතයෙක් වන්නේ රටට සහ ජනතාවට සේවය කිරීම උදෙසාය. රටේ මුල් පුරවැසියා වන ජනාධිපතිවරයා ඊටත් වඩා භාරධූර අන්දමින් වගකිවයුතු මහජන නියෝජිතයෙකි. දූෂණය නමැති වරදට පුද්ගලයෙකු වරදකරු වන්නේ රජයේ සේවකයෙකු වශයෙන් තමාට පැවරී ඇති බලතල ක්‍රියාත්මක කිරීමේදීය. එසේම දූෂණය නමැති වරද සිදු කිරීමේදී ආන්ඩුවට අයුතු සහගත ලෙස හෝ නීතිවිරෝධී ලෙස පාඩු සිදුකිරීමද ඇතුළත් වේ.

මෙම පරීක්ෂණයට අදාළ සිද්ධියේ 06වන දැන්වීම් ලත් පාර්ශව කරු විසින් පත් කරන ලද සභාපතිවරයා වන 01 වන දැන්වීම් ලත් පාර්ශවකරු 100%ක් රජයේ කොටස් ඇති ස්වාධීන රූපවාහිනී ආයතනය තමන්ගේ පුද්ගලික දේපලක් ලෙස සළකා රජයට පාඩු කරමින් මෙම දූෂණය නැමති වරද සිදු කර ඇති බව පෙනී යයි. 06වන දැන්වීම් ලත් පාර්ශවයද ඒ ආකාරයෙන්ම දූෂණයට කුමන්ත්‍රණය කිරීමේ වරද සිදු කර ඇත. 03 සහ 04වන දැන්වීම් ලත් පාර්ශවයන්ද දූෂණය නමැති වරද සහ දූෂණයට අනුබලදීමද, දූෂණයට කුමන්ත්‍රණය කිරීමද, විවිධ අවස්ථා යටතේ සිදු කර ඇති බව පෙනී යයි. මෙවැනි වැරදි සිදු කළ අය රට වෙනුවෙන් සහ රටේ ජනතාව වෙනුවෙන් සේවයක් සිදු කෙරෙතැයි අපේක්ෂා කළ නොහැක.

ඒ අනුව වසර 07කින් පසුව හෝ එවැනි වරදවලට වරදකරු වූ දේශපාලනඥයින්ට ව්‍යවස්ථාදායකයේ නියෝජිතයන් වශයෙන් හෝ ව්‍යවස්තාපිත මණ්ඩලයන්හි නිලධරයන් වශයෙන් පත්වීමට අවස්ථාව ලබාදීම නොසුදුසු බව මෙම කොමිෂන් සභාවේ අදහසයි. ඒ අනුව මේ කොමිෂන් සභාව නිර්දේශ කරුනු ලබන්නේ ඉහත ව්‍යවස්ථාවල දක්වා ඇති ලෙසට වැරදි කරුවන් වූ අය එසේ වරද කරු කිරීමෙන් පසු කිසිම අවස්ථාවක මහජන නියෝජිතයන් වශයෙන් පත්වීම හෝ මහජන නියෝජිතයන් වශයෙන් පත්වීම සඳහා අපේක්ෂකයන් වශයෙන් ඉදිරිපත් වීම නුසුදුසුබවට වන නීති සම්පාදනය කිරීම අවශ්‍ය බවය…”

“… වරදවල් සහ වැරදි ක්‍රියාවන් ඉදිරියේදී සිදුවීම වලක්වාලීමේ අරමුණෙන් කරනු ලබන නිර්දේශ.

මෙම පරීක්ෂණයේදී හෙළිදරව් වූ කරුණක් වන්නේ බලයේ සිටි ජනාධිපතිවරයෙකු ජනාධිපතිවරයා වශයෙන් සිටියදීම නැවත ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වන අවස්ථාවක රාජ්‍ය මාධ්‍යවලට බලපෑම් සිදු කරන ආකාරයයි. මෙරටෙහි පවතින මාධ්‍ය අතුරින් මුළු රටේම ප්‍රධාන වශයේන ප්‍රචලිතව ඇත්තෙ රාජ්‍ය මාධ්‍යයයි. රාජ්‍ය මාධ්‍යවන රූපවාහිනිය හා ස්වාධීන රූපවාහිනී සේවය මුළු රටේම ව්‍යාප්ත වී විශේෂයෙන්ම අද ගම්බද ජනතාවට වඩාත් සමීප වූ රූපවාහිනී නාලිකා වේ. ඒ අනුව මැතිවරණයක් පැවැත්වෙන කාලවකවානුවකදී මෙම රාජ්‍ය මාධ්‍ය මගින් රටේ ජනතාව ලබාදියහැකි පණිවිඩය ඉතා ප්‍රබලය. ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයක් මේ රටේ ඇති කිරීමටනම් රාජ්‍ය මාධ්‍ය හැකිතාක් දුරට ස්වාධීනව, දේශපාශලන පක්ෂපාතීත්වයෙන් තොරව කටයුතු කිරීම වැදගත් වේ. විශේෂයෙන් මැතිවරණයක් පැවැත්වෙන කාලවකවානුවකදී මෙම අවශ්‍යතාවය වඩාත් කැපී පෙනෙයි. මෙරටෙහි පවතින් දේශපාලන වාතාවරණය අනුව කුමණ රජයක් බලයේ පැවතියත්, රාජ්‍ය මාධ්‍ය තම දේශපාලන අවශ්‍යතා සඳහා යොදාගැනීමේ වැඩි නැඹුරුවක් පවතියි. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ මැතිවරණයකදී ජනතාවගේ ඡන්ද අයිතිය පාවිච්චි කිරීම කෙරෙහි කිසියම් හෝ බලපෑමක් රාජ්‍ය මාධ්‍ය මගින් සිදු කරන්නේනම් ඒවා වැලැක්වීමට කටයුතු කළ යුතුව ඇත.

මේ අනුව මැතිවරණයක් පැවැත්වෙන කාලසීමාවේදී රාජ්‍ය මාධ්‍ය අධීක්ෂණය කිරීමට සහ නියාමනය කිරීමට ඒ සඳහා අවශ්‍ය බලතල ඇති අධිකාරියක් හෝ ස්වාධීන කොමිෂන් සභාවක් පත් කිරීම සුදුසු බව මෙම කොමිෂන් සභාවේ නිර්දේශයයි. ස්වාධීන කොමිෂන් සභාවක් පත්කරන්නේනම් ව්‍යවස්ථාධායක සභාව මගින් එම කොමිෂන් සභාව පත් කළ හැකි අතර, ඊට නිසි බලතලද ලබාදීම වැගත් වේ. මැතිවරණයක් පැවැත්වෙන කාලසීමාවකදී මාධ්‍ය නියාමනය කිරීමට මැතිවරණ කොමසාරිස්වරයාට බලය ඇති නමුත්, ප්‍රායෝගික තත්වය පරීක්ෂා කිරීමේදී එම බලතල ක්‍රියාත්මක කිරීම තුළින් රාජ්‍ය මාධ්‍ය ස්වාධීන ලෙස හැසිරවීමේ හැකියාව ඉතාම අල්ප බව පැහැදිළිව පෙනෙන කරුණකි. ඒ නිසා රාජ්‍ය මාධ්‍ය නියාමනය කිරීම සඳහා පත්කරනු ලබන අධිකාරිය හෝ ස්වාධීන කොමිෂන් සභාවට අවශ්‍ය බලතල ලබාදීමද වැදගත් වේ. ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවන්නේනම් පනතක් මගින් එය ඇති කිරීම සිදු කළ යුතු අතර, මැතිවරණ කාලසීමාවලදී එම කොමිෂන් සභාව ක්‍රියාත්මක විය හැකිය. කොමිෂන් සභාවක සාමාජිකයන් පත් කිරීම ව්‍යවස්ථාධායක සභාව මගින් සිදු කළ හැකිය. ඒ අනුව රාජ්‍ය මාධ්‍ය ඔස්සේ සිදුවන මෙවැනි දූෂිත ක්‍රියා අවම කර ගැනීමට මෙවැනි පියවරක් ගැනීම තුළින් හැකිවන බව මෙම කොමිෂන් සභාවේ නිර්දේශයයි….”

ඉහත කී සිද්ධිය සම්බන්ධව මෙම කොමිෂන් සභාව විසින් පවත්වන ලද පරීක්ෂණය සම්බන්ධව 2016 අප්‍රේල් මස 28 දිනැති අවසන් වාර්තාව ඔබ තුමා වෙත මේවනවිට බාරදි ඇත. එකී වාර්තාව මෙම අවසන් වාර්තාවේ කොටසක් ලෙස සැලකිය හැකිය.


ඒ අනුව මෙම වාර්තාව යොමු කර වසර දෙකකට ආසන්න වෙමින් පැවතියද එහි නිර්දේශ කිසිවක් මෙතෙක් ක්‍රියාත්මක කර නැත.
« PREV
NEXT »