BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, January 30, 2018

බැඳුම්කර හොරුන්ට නඩු දාන්න නව නීති - ඊයේ පක්‍ෂ නායක හමුවේදී තීරණය කරයි

බැඳුම්කර කොමිෂන් වාර්තාවට අදාළ වරදකරුවන්ට දඬුවම් කිරීම සඳහා නව නීති සම්පාදනයට හා කෙටුම්පත් සංශෝධනයට පියවර ගැනීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ පක්‌ෂ නායක රැස්‌වීමේදී තීරණය කර ඇත.

එමෙන්ම වරදකරුවන්ට නඩු පැවරීම හා අදාළ සියලු නිර්දේශ ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ අංශ ප්‍රධානීන් සතියකට වරක්‌ රැස්‌වීමටද මෙහිදී තීරණය වී ඇත.

මේ පිළිබඳව ජනපති ලේකම් කාර්යාලය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය.

කොමිසමේ නිර්දේශයට අනුව ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය නව නීති සම්පාදනයට හා පවතින නීති සංශෝධනය කිරීමට ද එහිදී අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය මගින් මාධ්‍ය නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී. එම නිවේදනයෙන් වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවට අදාළ ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීමේ විශේෂ පක්‍ෂ නායක රැස්‌වීමක්‌ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29 දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

අදාළ නඩු පැවරීම සහ රජයට සිදුවූ අලාභය නැවත අයකර ගැනීම සඳහා ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක්‌ කෙරිණි.

ඊට අදාළව මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින වැඩපිළිවෙල පිළිබඳ මෙහිදී නීතිපතිවරයා මහ බැංකු අධිපතිවරයා මෙන්ම අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළහ.

කොමිෂන් නිර්දේශවලට අනුව එහි ඉදිරි පියවර සඳහා අවශ්‍ය නව නීති සම්පාදනය සහ පවතින අණපනත්වල සංශෝධනවලට අදාළව කෙටුම්පත් මේ වන විට සකසමින් පවතින බවද මෙහිදී සඳහන් කෙරිණි.

අල්ලස්‌ හෝ දූෂණ චෝදනා කොමිෂන් සභා පනත 1994 සිට මේ දක්‌වා සංශෝධනය වී නොමැති අතර ඊට අදාළ නීති කෙටුම්පත් සකස්‌ කිරීම මේ වන විට අවසන් අදියරේ පවතී. එය ඉදිරි සති කිහිපය තුළ කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද සඳහන් කෙරිණි.

කොමිෂන් සභාවේ නිගමනයන් හා නිර්දේශ මත ශ්‍රී ලංකා මහ බැංකුවේ කළයුතු වෙනස්‌කම්වලට අදාළව ද නව සැලැස්‌මක්‌ මේ වන විට සකස්‌ කරමින් පවතින බව මහ බැංකු අධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

මහ බැංකු බැඳුම්කර වාර්තාවේ පිටු අඩුවීමක්‌ සිදුව ඇති බවට පළවන අදහස්‌ පිළිබඳව ද කරුණු ඉදිරිපත් කරමින් නිලධාරීන් පෙන්වා දුන් එහි පිටු අඩුවීමක්‌ සිදුව නොමැති අතර ඊට අදාළ ලිපි ලේඛන විශාල ප්‍රමාණයක්‌ පවතින බවත් ඒ අතර අදාළ නඩු කටයුතු ක්‍රියාත්මක වන තුරු රහස්‍ය භාවය ආරක්‍ෂා කළ යුතු ලිපි ලේඛන පවතින බැවින් ඒවායේ රහස්‍ය භාවය සුරැකීමට සිදුව ඇති බවත්ය.

අදාළ පුද්ගලයන්ට නඩු පැවරීම, රජයට සිදුවූ අලාභය නැවත අයකර ගැනීම සහ කොමිසමේ සියලු නිර්දේශ අඛණ්‌ඩව, කාර්යක්‍ෂමව ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මකවීම පිළිබඳව ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ අංශ ප්‍රධානීන් සතියකට වරක්‌ ප්‍රගති සමාලෝචන රැස්‌වීමක්‌ පැවැත්වීමට කටයුතු කරනු ලබන බවද මෙහිදී සඳහන් කෙරිණි.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය, එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය, එක්‌සත් ජාතික පක්‍ෂය, හෙළ උරුමය, ඊළාම් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා ලිබරල් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා කම්කරු කොංග්‍රසය, ශ්‍රී ලංකා කොමියුනිස්‌ට්‌ පක්‍ෂය ඇතුළු පක්‍ෂ රැසක්‌ නියෝජනය කරමින් පක්‍ෂ නායකයින් සහ නියෝජිතයෝ මීට එක්‌ව සිටියහ.
« PREV
NEXT »