BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, January 02, 2018

ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණය ශ්‍රීලනිපය හකුළා ගෙනලු

සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඊයේ (01දා) සිට ඉවත් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අමාත්‍යවරුන් ගෙන තිබූ තීරණය හකුළා ගෙන ඇති අතර, පළාත් පාලන මැතිවරණය දෙස බලා ඉදිරි තීරණ ගැනීමට ඔවුන් එකඟ වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය.ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, එක්සත් ජාතික පක්‍ෂය සමග එක්ව සම්මුතිවාදී ආණ්ඩුවක් සඳහා එකඟතාවට පැමිණි ගිවිසුම පසුගියදා (31දා) දිනයෙන් අවසන් විය.

මේ අතර සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරි වසර තුන තුළද පවත්වාගෙන යෑමේ වැදගත්කම ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අමාත්‍යවරුන් පෙන්වා දී ඇති අතර, ඒ වෙනුවෙන්ද මේ දිනවල සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා වේ. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීමේදී ගන්නා ක්‍රියාමාර්ග සහ ආණ්ඩුවේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා වට කිහිපයක්ම පසුගිය දින කිහිපය තුළ පවත්වා ඇති අතර, මැතිවරණයට බලපෑම් කිරීමට විධායක ජනාධිපති ධුරයට හැකි බවද සාකච්ඡා වූ බව ජනාධිපතිවරයාට සමීප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සඳහන් කළේය.

මේ අතර සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත්ව එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවන ලෙස එක්සත් ජාතික පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් අවස්ථා කිහිපයකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත.

පළාත් පාලන මැතිවරණය අවසන් වනතුරු ආණ්ඩු පෙරළියක් සිදුනොවන බවත්, එබැවින් පළාත් පාලන මැතිවරණය අවසන් වනතුරු ආණ්ඩු පෙරළියක් ගැන කතා නොකරන ලෙසත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.

එමෙන්ම කිසියම් අවස්ථාවකදී ආණ්ඩු පෙරළියක් සිදුවුව හොත් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමේ අවස්ථාව තිබෙන බවටත්, ඒ සඳහා සහාය දීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන්ද සිටින බවටත් අග්‍රාමත්‍යවරයා විසින් පසුපෙළ මන්ත්‍රීවරුන්ට සහතිකයක්ද ලබාදී ඇතැයිද වාර්තා වේ.

සම්මුතිවාදී ආණ්ඩුවේ ගිවිසුම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගෙන් කළ විමසීමකදී අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට මෙතෙක් තීරණය කර නොමැති බවයි. 

එමෙන්ම නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් වීම පිළිබඳ මධ්‍යම කාරක සභාව රැස්ව තීරණය කළ යුතු බවත්, මෙතෙක් එවැන්නක් සිදුනොවූ බවත්ය. පළාත් පාලන මැතිවරණයෙන් පසුව බොහෝ දුරට එය සිදුවීමට ඉඩ ඇතැයිද අමාත්‍යවරයා පවසා සිටියේය.
« PREV
NEXT »