BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, February 13, 2018

මිලියන හයකටත් වඩා ජනතාව රාජපක්ෂ පාලනයකට එරෙහිව ඡන්දය දුන්නා - Mangala Samaraweera

පැවැති පළාත් පාලන මැතිවරණයෙන් රටේ ජනතාවගෙන් මිලියන හයකට අධික ජනතාවක් රාජපක්ෂ පාලනය නැවත පැමිණීමට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර ඇතැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

2015 ජනවාරි පැවති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට මිලියන 5ක් ඡන්දය ප්‍රකාශ කළද මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ඔහුගේ ඡන්ද ප්‍රමාණය අඩු වී පසුබෑමකට ලක් වී ඇතැයි ඇමැතිවරයා සඳහන් කරයි. එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

2015 ජනවාරි 8 වන දින මෙරට බහුතර ප්‍රගතිශීලීන්ගේ සම්මුතියෙන් ඉදිරිපත්වන ලද ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන ලද දර්ශනයට ශ්‍රී ලාංකිකයෝ 51%ක් තම ඡන්දය පළ කළහ. මෙරට පැවති ඒකාධිපති ආඥාදායකත්වයේ කාලය අවසන්ව ඇත. මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිස්ථාපිත කිරීම සඳහා එක් වූ සියලු දෙනා එක පවුලක් හෝ ඔවුන්ගේ අතවැසියන්ට පමණක් සේවා සපයන රජයක් වෙනුවට පොදු මහජනතාවට සේවය කරන රජයක් පවත්වා ගැනීම සඳහා යළි එකාවන්ව පෙළ ගැසිය යුතුය. එදින එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීන් කිහිප දෙනෙක්, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිස් කොංග්‍රසය, දෙමළ ජාතික සංධානය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ සහ 30ට අධික දේශපාලන කණ්ඩායම් සහ පුද්ගලයන් පිරිසක් විසින්, භීතිය වෙනුවට නීතිය රජයන සමාජයක් උදෙසා වූ තම දැක්ම බෙදා හදා ගත්හ.

රාජ්‍ය සේවය ස්වාධීන කිරීම, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ නීති පද්ධතිය තුළ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් අපි ව්‍යවස්ථාව සංශෝධනයක් ඇති කිරීමට පොරොන්දු වීමු.

අද මහජනතාව විසින් අප පොරොන්දු වූ කාරණා අවශ්‍ය පමණ ඉටු නොකළ බව ඡන්ද ප්‍රතිඵලයෙන් පවසා ඇත.

අබලන්ව පැවති යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය යළි ගොඩනැංවීම සඳහා කඩිනම් සහ ස්වාධීන ක්‍රියාමාර්ග ගැනීමට අප පසුගිය වසර තුන තුළදී කටයුතු කළෙමු. සංකීර්ණ අපරාධ, මිනීමැරුම් සහ වංචා විමර්ශනය කිරීම සඳහා අවශ්‍ය වූ උපකරණ සහ තාක්ෂණය ලබා දී පොලිසිය බල ගැන්වීමට අප කටයුතු කළෙමු.

වැරැද්දක් පිළිබඳ චෝදනාවක් ලද විගස අමාත්‍යවරුන් සිය ධුරයෙන් ඉවත් විය යුතු බව බල කළ ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම රජය බවට අප පත් වීමු.

ඇත්ත වශයෙන්ම, රජයේම පාර්ශ්වකරුවන් සම්බන්ධ චෝදනා පිළිබඳව විමර්ශනය කර ස්වාධීනව නීතිය ක්‍රියාත්මක වීමට ඉඩ විවර කළ ප්‍රථම රජය බවට පත් වීමු.

නමුත් ජනතාව අප සිදුකළ ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව පවසා ඇත.

ජනතාවගෙන් මෙම පණිවුඩය එජාපයට තදින්ම දැනී ඇති අතර අප වසර තුනකට පෙර වූ පොරොන්දු ඉටුකිරීමටත්, මහජන විශ්වාසය පවත්වා ගැනීමටත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අපි කැපවී සිටිමු. අපි ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතාවේ මෙම නව පරිච්ඡේදය ආරම්භ කරන විට, පසුගිය සෙනසුරාදා අප දුටු විශිෂ්ට කාරණා දෙකක් පිළිබඳව ශ්‍රී ලාංකිකයන්ට ආඩම්බර විය හැකිය.

පළමුවැනි කාරණය වූයේ ස්වාධීන මැතිවරණ කොමිසම සහ පොලිසියේ අනුග්‍රහය යටතේ මැතිවරණයක් පැවැත්වීමයි. රාජ්‍ය සේවකයන්, අරමුදල්, සම්පත් සහ රාජ්‍ය මාධ්‍ය ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රයෙන් තොරව හැසිරවීම මින් පෙර මෙරට කිසිඳු රජයක් විසින් සිදු කර නොමැත. මෙම ස්වාධීන ආයතන යටතේ අප අපගේ මැතිවරණයට බාධා කරන දූෂණය, බිය ගැන්වීම් හා ප්‍රචණ්ඩත්වය පිළිබඳ අවසන් වතාවට ශ්‍රී ලංකාව දැක තිබේ. මෙම ස්වාධීන ආයතන යටතේ අප, අපගේ මැතිවරණයට බාධා කරන දූෂණය, බිය වැද්දීම් සහ ප්‍රචණ්ඩත්වය පිළිබඳ ශ්‍රී ලංකාවාසීන්ගේ පිළිකුල් අත්දැකීම්හි අවසානය සනිටුහන් කරමු.

2015 ජනවාරි මාසයේදී සිය ජනාධිපතිවරණ සටන තුළදී මිලියන 5.77ක් (47.6%) ඡන්ද ලබා ගැනීමට සමත් වූ ඒ මහින්ද රාජපක්ෂම, පසුගිය සතියේ පැවති මැතිවරණයේදී ඡන්ද මිලියන 4.95ක් වත් ලබා ගැනීමට අසමර්ථ වූ බව ඉතා පැහැදිලි කාරණයකි. අප වෙනුවෙන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ 46%ක් වූ ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් පමණක් නොව, නැවත රාජපක්ෂ පාලනයක් පැමිණීම වැළැක්වීම උදෙසා ඡන්දපොළට ගිය මිලියන 6.1ක් වූ (55.3%) සමස්ත බහුතර පුරවැසියන් පිළිබඳව අත් නොහැරිය හැකි භාරධුර වගකීමක් එක්සත් ජාතික පක්ෂය පිට පැටවී ඇත. පොරොන්දු සහ වගකීම් නිවැරදිව ඉටු කිරීම මඟින් අපගේ ඡන්දදායකයන් පිරිස තවදුරටත් නංවා ගනිමින් අවංක සහ ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන කණ්ඩායම් සමඟ අත්වැල් බැඳ අපගේ මාතෘ භූමිය ඔසවා තැබීමත් මැර බලයෙන් පාලනය කරන යුගයක් නැවත ශ්‍රී ලංකාවට ලැබීම වැළැක්වීමත් අපේ ප්‍රමුඛ වගකීම වේ. මේ අපගේ අභිප්‍රාය වන අතර අප අසමත් නොවිය යුතුය. මන්ද අපගේ ප්‍රජාතන්ත්‍රවාදය, අපගේ ජනරජය අපගේ එම අභිප්‍රාය මත රඳා පවතී.


« PREV
NEXT »