BREAKING NEWS
latest

728x90

468x60

Friday, March 02, 2018

තඹුත්තේගම 50ක්‌ රිමාන්ඩ් 9 කට ඇප දෙයි

තඹුත්තේගම නගරයේ පෙරේදා (28 වැනිදා) පැවැති විරෝධතාවක්‌ අතරතුර, අධිකරණ නියෝග කඩකරමින් අයුතු ජනරාශියක නියෑළී කලහකාරී ලෙස හැසිරෙමින් තඹුත්තේගම මූලස්‌ථාන පොලිසියේ දේපළවලට පහරදී අලාභ සිදු කිරීම ඇතුළු චෝදනා මත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරුවන් 59 දෙනකු අතරින් 50 දෙනකු මේ මස 5 වැනිදා දක්‌වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙසත් සෙසු සැකකරුවන් 09 දෙනා රුපියල් ලක්‌ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙසත් තඹුත්තේගම මහෙස්‌ත්‍රාත් චමිලා නදීශානි මහත්මිය පෙරේදා (28දා) නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්‌වෙන වාර්තාවක්‌ ලබන 5 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්‌ත්‍රාත්වරිය විසින් තඹුත්තේගම මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක සමන් ප්‍රියන්ත මහතාට නියෝග කරනු ලැබුවාය.

සැකකරුවන් සියලු දෙනා ඕනෑම ඇප කොන්දේසියක්‌ මත මුදාහරින්නැයි ඔවුන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥයන් දීර්ඝ ලෙස කරුණු දක්‌වමින් කළ ඉල්ලීම් සියල්ල තරයේ ප්‍රතික්‌ෂේප කරමින් මෙම නියෝගය කෙරිණි.

අධිකරණ නියෝග කඩකරමින් නීති විරෝධීව අයුතු ජනරාශියක නියෑළෙමින් මහජන සාමය කඩ වන අයුරින් පාදෙනිය - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරෙමින් තඹුත්තේගම මූලස්‌ථාන පොලිසියේ දේපළවලට හානි කළ බවට මෙම සැකකරුවන් 59 දෙනාට අධිකරණය හමුවේ චෝදනා එල්ල වී තිබේ.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් තඹුත්තේගම පොලිසිය සඳහන් කළේ පුද්ගලික අංශයක්‌ මගින් රාජාංගනය ජලාශයේ ජලය යොදා ගෙන ඇරඹීමට නියමිත බව කියන ජල ව්‍යාපෘතියකට විරෝධය පළ කරමින් විශාල පිරිසක්‌ ඉකුත් 28 දා දහවල් තඹුත්තේගම නගරයේ විරෝධතාවක නිරත වූ බවයි.

මෙම විරෝධතාවට එක්‌ වූ පිරිස්‌ කලහකාරී ලෙස හැසිරීම නිසා අනුරාධපුර - කුරුණෑගල - පාදෙනිය මාර්ගයේ වාහන ගමනාගමනයට සහ තඹුත්තේගම නගරයේ දෛනික කටයුතුවලට මෙන්ම සාමාන්‍ය ජන ජීවිතයට ද දැඩි බාධා එල්ල වූ බව පොලිසිය අධිකරණයට කීවේය.

පසුව අදාළ විරෝධතාව අත්හිටුවමින් තඹුත්තේගම මහෙස්‌ත්‍රාත් අධිකරණය මගින් විරෝධතාකරුවන්ට එරෙහිව තහනම් නියෝගයක්‌ නිකුත් කළ බවත්, එම නියෝගය ද නොතකා විරෝධතාකරුවන් අයුතු ජනරාශියක නියෑළෙමින් තවදුරටත් මහජනයාට පීඩා වන අයුරින් නීති විරෝධීව අඛණ්‌ඩව කලහකාරී ලෙස හැසිරෙමින් තඹුත්තේගම පොලිසියේ දේපළවලට හානි කළ බවත් අධිකරණයට සැළ කළ පොලිසිය එම අවස්‌ථාවේ කලහකාරීව හැසිරුණු විරෝධතාකරුවන් පාලනය කිරීමට පොලිසියට කඳුළු ගෑස්‌ ප්‍රහාර එල්ල කිරීමට සිදු වූ බවද කියා සිටියේය. 

පැමිණිල්ල වෙනුවෙන් තඹුත්තේගම සහකාර පොලිස්‌ අධිකාරි පරාක්‍රම ඒකනායක මහතාගේ උපදෙස්‌ මත තඹුත්තේගම මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක සමන් ප්‍රියන්ත මහතා ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ පෙනී සිටියහ. සැකකරුවන් වෙනුවෙන් නීතිඥ උත්තරා අබේසිංහ මහත්මිය පෙනී සිsටියාය.

උතුරුමැද සහ වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ජගත් අබේසිරි ගුණවර්ධන සහ උතුරුමැද නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රතාප් සෙනරත් සඳුන්ගහවත්ත යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත අනුරාධපුර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි තිළිණ හේවාපතිරණ මහතාගේ සෘජු අධීක්‌ෂණය යටතේ තඹුත්තේගම සහකාර පොලිස්‌ අධිකාරි පරාක්‍රම ඒකනායක සහ අනුරාධපුර සහකාර පොලිස්‌ අධිකාරි චූලනී වීරරත්න යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් තඹුත්තේගම මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක සමන් ප්‍රියන්ත හා සැරයන් (29477) සරත් ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‌ෂණ පවත්වති.
« PREV
NEXT »