BREAKING NEWS
latest

728x90

468x60

Saturday, March 31, 2018

විශ්වාසභංගය මට ආශිර්වාදයක් බය නැති අගමැති කියූ කථාව

අගමැති රනිල්ගේ ඇතැම් ක්‍රියා කලාප විවේචනය කරමින් ඔහු එජාප නායකත්වයෙන් යා යුතු බවට පලාත් පාලන මැතිවරණ පසුබෑමෙන් පසු පලමු විරෝධතාව පැමිණියේ එජාපය පැත්තෙනි.රංග බණ්ඩාර වසන්ත සේනානායක ඇතුලු පිරිසක් එලිපිට ඒ බව ප්‍රකාශ කලා පමණක් නොව රංග බණ්ඩාර වරෙක කීවේ රනිල්ට එරෙහිව විශ්වාසභංගයක් පවා ගෙන ඒමට තමන් පසුබට නොවන බවය.

එජාප ප්‍රතිසංස්කරණ වහාම සිදුකල යුතු බවත් නායකත්වයේ මිතුරන් හා වයෝවෘද අය සතු එජාපය පක්ෂයේ තරුණ පරපුරට ලබා දිය යුතු බවට එජාපය මහ ලේකම් කබීර් හෂීම්ගේ ප්‍රධානත්වයෙන් එජාපයේ ප්‍රබලයන් රැසක් රැස්වී දීර්ඝ ලෙස සාකච්ඡාවක් ද කලහ.

එහෙත් එජාපය පැත්තෙන් ආවේ රනිල් අගමැති ධූරයේ දිගටම රැදෙමින් එජාප ප්‍රතිසංස්කරණපමණක් සිදු කල යුතු වුවත් ඒකාබද්ධ විපක්ෂය එජාප අභ්‍යන්තර ආරවුල කියවා තේරුම් ගෙන තිබුණේ වැරදි ආකාරයටය.ඒ තුල ඔවුන් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කලේ එජාපයේ බහුතරයක සහාය ඊට ලැබෙනු ඇතැයි යන විශ්වාසය තුලය. සියල්ල කණපිට හැරවූණේ එතනදීය.

ඒකාබද්ධයේ ලණු කෑම….

“ එජාප ප්‍රතිසංස්කරණ අපි විසදා ගනිමු. ඒත් විපක්ෂය හදන්නේ බොරදියේ මාළු බාන්නයි. අගමැති ඉවත් කරන්න විශ්වාසභංග ගෙනැවිත් එජාප අයගේත් සහය ලබා ගෙන එය ජයගෙන අනතුරුව කතානායක මෙන්ම ආණ්ඩුවද පලවා හැරලා බලය ඩැහැගැනීම ඔවුන්ගේ අරමුණයි. එජාපය එම ලණුව නොකා අගමැති මෙන්ම ආණ්ඩුව රැක ගැනීමට පෙරමුණ ගනිමු” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රමුඛ ආණ්ඩුවේ නායකයන් එජාප මැති ඇමතිවරු හා එජාප පසුපෙළ දැනුවත් කලේ ඒ පදනමින්‍ ය.

ඒ විග්‍රහය තුළ එජාපයේ සියලු දෙනා අගමැති මෙන්ම ආණ්ඩුව රැකගැනීමට කැපවන බව ප්‍රකාශ කලේ ඒකමතිකවය. එහෙත් අගමැතිට එරෙහි විශ්වාසභංගයක් ගෙනෙන බව රටට කියා තිබූ ඒකාබද්ධයට පය පසුපසට ගැනීම සිදුකළහොත් විශාල පරාජයක් නිසා විශ්වාසභංගය කෙටුම්පත් කළහ. ඊට ජී.එල්. හා ගම්මන්පිළ මෙන්ම භාහිර නීති සහායද ගෙන තිබේ. මෙම කටයුත්ත සිදුකළ යුතු බවට බල කළ අනිත් තැනැත්තන් වූයේ වීරවංශ දිනේෂ් ඇතුලු පිරිසකි. ඒ තුළ චෝදනා 14කින් යුතු විශ්වාසභංගයට අත්සන් ලබාගැනීම ඇරැඹින. ඊට දිනේෂ් පළමු අත්සන යෙදීය. ඒකාබද්ධයේ සියලු දෙනාද අත්සන් කළහ. එහෙත් මහින්ද රාජපක්ෂ ඊට අත්සන් තැබීම ප්‍රතිකේෂ්ප කිරීම විශේෂ සිද්ධියක් විය. බැසිල් රාජපක්ෂද විශ්වාසභංගයට එරෙහි ස්ථාවරයක හිඳ තිබේ.

“මේක ගෙනත් පැරදුණොත් අපි ඡන්දෙන් ලැබූ ජය යට යනවා. ඒ නිසා මුලින් එජාප අයගේ අත්සන් අරගෙන අපේ අයට අත්සන් කරන ලෙස බැසිල් කියා තිබෙනවා. ඒත් ගම්මන්පිලලා වීරවංශලා කියල තියෙන්නේ අපි අත්සන් කරලා බාරදුන්නම එජාප අය වෙලාවට ඡන්දය දේවි කියලලු. අන්තිමේ ඔවුන්ට උතුර දකුණ සොයාගන්න බැරි තරමට හිරවෙලා තමයි විශ්වාසභංගය භාරදීල තියෙන්නෙ” ගයන්ත කරුණාතිලක කීවේ තමන්ට ලැබුණු තොරතුරක් මතය.

මහින්ද බලෙන් ඇදගෙන ගිහින්…

“මහින්ද අත්සන් කළෙත් නෑ. කතානායකට භාරදෙන එක මඟ හරින්නත් හැදුවම මහින්දව බලෙන්ම ඇදගෙන ගිහින් කියල ආරංචියි. නවීන් දිසානායක කීවිට සියලුදෙනාම කොක්හඬලෑහ.

බ්‍රහස්පතින්දා අගමැතිවරයා අරලියගහ මැදුරට පැමිණ ඉතා සැහැල්ලුවෙන් පැමිණ සිටි මැති ඇමතිවරු හා කතාබහ කරනවිට මෙම කරුණු එළිවිය.

“ලෝකෙ ඔළුව උඩට වැටුනත් අගමැතිතුමාට ගානක් නැහැනේ. විශ්වාසභංගයක් එනකොට වෙන ඕනෑම කෙනෙක් “ෂොක්” වෙනවා” ලක්ෂ්මන් කිරිඇල්ල කීවිට අගමැතිවරයා මද සිනහවක් පෑවා මිසක කිසිවක් කීවේ නැත.

“චෝදනා 14න් 12 කම අමුවෙන්ම මඩගහන හොර ලේබල් අලවන ඒවා බව පේන නිසා මේ ගැන නීතිපතිට යවලා මතයක් විමසනවාද” ගයන්ත කරුණාතිලක විමසුවේ අගමැතිගෙනි.

“ නීතිපතිට යවල කාලය මරන්න ඕන නෑ. පුළුවන් තරම් ඉක්මනින් විශ්වාසභංගය විවාදයට හා ඡන්දයට දාන්නයි මට අවශ්‍ය. ” අගමැති කීවේ සැහැල්ලුවෙනි.

“ ඒකාබද්දෙ අය හිතුවෙ අපේ විජේදාස, රංග බණ්ඩාර , වසන්ත සේනානායක තෙවරප්පෙරුම ඇමතිවරුත් අත්සන් කරාවි කියලයි. අන්තිමේ එයාල සවුත්තු වුණා විතරයි. ” පී. හැරිසන් කීය.

“ විශ්වාසභංගය අගමැතිතුමා පහසුවෙන් දිනන බව ඒකාබද්දෙ අයට දැන් තේරිලා තියෙන්නෙ. මේක ගේන්නෙ දිනන්නම නෙවෙයි කියල එයාලම දැන් කියාගෙන යනවා. ” දයා ගමගේ කීවේ සිනා මැදය.

“ ආණ්ඩුවට විරුද්ධව මේකට අත්සන් කරපු ශ්‍රීලනිපයේ පුංචි නිලමෙ මුතුහෙට්ටිගම ටී.බී.ඒකනායකල දැන් තනතුරු වලින් ඉවත් කිරීම ජනාධිපතිතුමාගෙ වගකීමයි. ” බදුලු දිසා මන්ත්‍රී චමින්ද විජේසිරි කී විට සියලු දෙනා එය අන්මත කලහ.

“ ජවිපෙ විශ්වාසභංගයට සහාය දෙන තත්වයක් තියෙන්නෙ. පරණ හොරු රැක්කාය කියන චෝදනාවත් මේකට නොදැම්මෙ ඇයි කියල ජවිපෙ තර්ක කිරීම නිසා ඒකාබද්දෙ අයට කට උත්තර නැති වෙලා. ” නවීන් දිසානායක කීවේ එවැන්නකි.

“ ජවිපෙ තමයි පොදු අපේකෂකයා තෝරන්නයි යහ පාලනය ගේන්නයි ලොකුම උනන්දුව දැක්වූවේ. දැන් ඔවුන් පරණ හොරු ගේන විශ්වාසභංගයට සහාය දුන්නොත් ආණ්ඩුව එක්ක එකතුවෙලා රටට හොද දේවල් කරන්න කරන ජවිපෙ උත්සාහය පලුදු වේවි. එහෙම වුනොත් ආණ්ඩුව එක්ක රටේ යහපතටවත් ඔවුන්ට යමක් කරන්න බැරි වේවි. ඒ නිසා එදා බැනපු පරණ හොරු එක්කයි මීට පස්සෙ ජවිපෙට යන්න වෙන්නේ. ” ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

“ ශ්‍රීලනිපයේ ප්‍රධානීන් මේ විශ්වාසභංගයට සහය දිය යුතු බවටයි මුලින් ඉදල තියෙන්නේ. ඒත් මේක අන්තිමේ මහින්දට වාසි වෙන නිසාත් එතනදී ජනාධිපතිතුමා දෝෂාභියෝගයකට ලක් කරන්නත් මේ අය ක්‍රියා කරාවි කියන එක තේරුම් අරගෙන රිවස් ගිහින් කියලයි කියන්නෙ. එස්.බී. තිලංග දයාසිරි අත්සන් නොකළෙත් ඒකලු” චමින්ද විජේසිරි කී දේ කාගේත් අවධානයට යොමුවිය.

“එජාප ප්‍රතිසංස්කරණයත් විශ්වාසභංගය නිසා ටිකක් යටගියා. මේ පාර කෘත්‍යාධිකාරියේ ඒ ගැන කතාකරන්න හිටියත් විශ්වාසභංගය ගැන කතාකරන්න මෙවර රැස්වීම වෙන්කරමු” ලක්ෂ්මන් කිරිඇල්ලගේ යෝජනාවට අගමැතිගේද එකඟත්වය හිමිවිය.

“දැන් ආණ්ඩුවක් නෑ කියල කියන අයත් ඉන්නවානේ. විශ්වාසභංගය දිනුවට පස්සේ ආණ්ඩුවක් තියෙන බව විතරක් නෙවෙයි ආණ්ඩුව කොච්චර ශක්තිමත්ද කියලත් රටට දැනේවි. දිනපු දවසට පසුදා ඉදලා ආණ්ඩුවේ නව වැඩ පිලිවෙල ශක්තිමත්ව ක්‍රියාත්මක කරන්න පුළුවන් නිසා මේ විශ්වාසභංගය මටයි ආණ්ඩුවටයි ලොකු ආශිර්වාදයක් වේවි.” අගමැතිවරයා විග්‍රහ කලේය.
« PREV
NEXT »