BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, April 17, 2018

16 කල්ලියට ඇපත් නෑ : මට ශ‍්‍රිලනිපය එපා - මං පොහොට්ටුව හදනවා යැයි මහින්ද කියයි.

විශ්වාසභංගය හරහා "පන ගැට ගන්නට" උත්සාහ කරන 16 කණ්ඩායම ආණ්ඩුවේ "සිටීම" හෝ එයින් "ඉවත්වීම" යන කාරණා දෙකම කරන්නේ තමන්ගේ පෞද්ගලික උවමනා එපාකම්වලට අනුව මිස පළල් මහජන සුභ සිද්ධිය පතා නොවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන පීඨයේ අංශාධිපති ආචාර්ය චරිත හේරත් මහතා පවසයි.

16 කණ්ඩායම 2015 අගෝස්තු මාසයේ ආණ්ඩුවට ගියේ හෝ දැන් එයින් එලියට එන්නේ පළල් ශ්‍රීලනීප අභිලාසය නිසා නොව තමන්ගේ පෞද්ගලික අභිලාසයන් නිසා බව ඔහු අවධාරණය කර සිටියි.


තම කණ්ඩායම විපක්ෂයේ අසුන් ගන්නා බවටත් ඊට පසුව නව සංධානයකින් අලුත් ජනවරමක් ඉල්ලන බවටත් ශ්‍රීලනිප 16 කණ්ඩායමේ ප්‍රකාශක හිටපු අමාත්‍ය එස් බී දිසානායක මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් චරිත හේරත් මහතා එබව සඳහන් කර තිබේ.

ලාබෙට පැටලෙන්න එන්න එපා :
පොහොට්ටු පක්ෂයේ දේශපාලන උපදේශකයකු ලෙස සැලකෙන චරිත හේරත් මහතා ඔහුගේ FB පිටුවේ ඒ සම්බන්ධයෙන් මෙසේ විග්‍රහ කර තිබේ. 

''එස් බී දිසානායක මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් මාධ්‍ය මාධ්‍ය වාර්තා කර තිබුනි. එහි අදහස වන්නේ ඒ මහතා ඇතුලු ඊයේ පෙරෙදා ආණ්ඩුවෙන් ඉවත් වූ කණ්ඩායම විපක්ෂයේ අසුන් ගන්නා බවත් ඊට පසුව නව සංධානයකින් අලුත් ජනවරමක් ඉල්ලන බවත්ය. 

මෙ ප්‍රකාශය ගැන යම් අදහසක් පල කිරීම සුදුසු යැයි සිතුනේ මේ වැනි ප්‍රකාශ නිසා ආණ්ඩුවට විරුද්ධ පැත්තේ අය අතර යම් අපැහැදිලිතාවන් ඇතිවිය හැකි නිසාය. (මේ කාරණය ගැන මගේ නිරීක්ෂනයන් පදනම් වන්නේ එස්. බී.ගේ ඒ මේ කථාව මතය. ඒ නිසා ආණ්ඩුවෙන් එළියට එනවා යැයි කියන අනෙක් කාණ්ඩය ලාබෙට මේ සමග පැටලෙන්නේ නැතිව සිටින්නේ නම් වැදගත්ය)

කරුනු කීපයකින් මගේ අදහස ගොනු කරන්නේමි.

මහ බැංකු හොරකමට එරෙහිවීම ?
1. මුළින්ම කිව යුත්තේ මේ විශ්වාසභංගය හරහා "පන ගැට ගන්නට" උත්සාහ කරන කණ්ඩායම ආණ්ඩුවේ "සිටීම" හෝ එයින් "ඉවත්වීම" යන කාරණා දෙකම කරන්නේ තමන්ගේ පෞද්ගලික උවමනා එපාකම්වලට අනුව මිස පළල් මහජන සුභ සිද්ධිය පතා නොවන බව මගේ පිලිගැනීම බවයි. 

වෙනත් ලෙසකින් කීවෝතින් මේ කණ්ඩායම 2015 අගෝස්තු මාසයේ ආණ්ඩුවට ගියේ හෝ දැන් එයින් එලියට එන්නේ පළල් ශ්‍රීලනීප අභිලාසය නිසා නොව තමන්ගේ පෞද්ගලික අභිලාසයන් නිසා බවයි. 

2. මේ කණ්ඩායම අද කියන්නේ ඒ අය ආණ්ඩුවෙන් එළියට එන්නේ 'රනිල් ගේ මහ බැංකු හොරකමට එරෙහිවීම' යන කාරණය මුල් කරගෙන බවයි. 

ඒත් මෙතැන මේ අය නොකියන කාරණය වන්නේ මේ මහ බැංකු හොරකම සිදුවුනේ 2015 පෙබරවාරි මාසයේ බවත් මේ කණ්ඩායම ආණ්ඩුවට එක් වුනේ 2015 අගෝසතු මාසයේ බවත්ය. 

දැන් අගෝස්තු මාසය එන්නේ පෙබරවාරි මාසයට පසුව බව තේරුම් ගැනීමට විශේෂ බුද්ධියක් අවශ්‍ය වන්නේ නැති බව කිව යුතු නැත.

3. ඊටත් අමතරව මේ කණ්ඩායම සමහරු 2015 දින සීයේ ආණ්ඩුවට ගියේත්, 2015 අගොස්තු මැතිවරනයට ලං වෙද්දී ආපසු ආවේත්, ආයිත් 2015 අගෝස්තු මැතිවරණයෙන් පසුව නැවතත් මෛත්‍රී හා රනිල් සමග ආණ්ඩුවට ගියෙත්, දැන් නැවතත් ආපසු මහින්ද ලගට එන්නේත් රට හමුවේ තමන් කරන කියන වැඩ ගැන කිසිම පැහැදිලි කිරීමක් සිදු කරමින් නොවන බවත් මෙහිදී විශේෂයෙන්ම කිව යුතු කාරණයක්ය. 

මේ සියලුම තීරණ ගන්නේ තම තමන්ගේ උන්නතිය සදහා මිස වෙන කාරණයක් සදහා නොවන බව මිස වෙන යමක් නොවේ.

4. අනෙක් කාරණය වන්නේ මේ ප්‍රකාශය කරන එස්. බී. දිසානායක මහතා කියු කාරණයක් වන්නේ 'රනිල් විශ්වාසභංගය දිනූ නිසා ශ්‍රී ලනීපයේ අය පැත්තකට වී දිනපු කෙනාට කර ගෙන යන්නට ඉඩදිය යුතු බව'ය. 

පැරදුනු කෙනාගේ ප්‍රජාතන්ත්‍රවාදය ?
දිනපු කෙනා පිලිගෙන පරුදුනු කෙනා පැත්තකට යාම ප්‍රජාතන්ත්‍රවාදය බව සැබෑය. ඒත් ඔය කියන එස්. බී. ම 2015 මහ මැතිවරණයේ පරාජයට පත් වූ බව අපි හැමෝම දන්නා කාරණයක්ය. 

ඒ පරාජය භාර ගෙන පැත්තකට වෙන්නේ නැතිව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යාම තේරුම් කරන්නේ මොන ප්‍රජාතන්තවාදයට අනුව දැයි මට නම් තේරෙන්නේ නැත. 

5. ධම්ම දිසානායක මහතාත් මමත් කීප විටක්ම අපගේ ලිපිවල ලියා ඇති පරිදි මේ හුගක් අය කරනවා යැයි පෙනෙන්නේ 'චන්දිකා බලවත් වූ විට ඇය ලගට වී මහින්දට බනින, මහින්ද බලවත් වූ විට ඔහු ලගට වී චන්දිකාට බනින, මෛත්‍රීපාල බලවත් වූ විට ඔහු ලගට වී මහින්දට බනින, නිකම් නිකම් කණ්ඩායමක් බව' තවත් වටයකින් පෙන්වීමය. 

දැන් ඉදිරියේ ඇත්තේ මේ කණ්ඩායමේ අයගේ කටවල් වලින් මහින්දගේ හොද නැවත වතාවක් කියන්නට පටන් ගන්නා යුගයක්ය. ඒ හරහා යලිත් වටයක් පාරලිමේන්තුවට ගියහොත් රනිල් හෝ සම්බන්ධන් සමග හෝ ඇමතිකමක් සදහා වෙන පැත්තකට පනින්නට මේ අය සුදානම් බව මගේ අදහසය. 

6. මම නම් කියන්නේ මේ කාණ්ඩය නැවත පැමිනෙනවා යැයි කියන දේවල් ප්‍රතික්ෂෙප නොකර සිටිම සුදුසු වුනත් මේ කියන ආකාරයේ පොදු සන්ධාන ගහන්න ඒකාබද්ධය හෝ පොදුජන පක්ෂය ඉක්මන් විය යුතු නැති බවය. 

මේ මොහොතේ රටේ මහින්ද බලවේගය දුර්වල නොවන පරිදි වැඩ කිරීම ඉතාමත් අවශ්‍යය. 

එස්. බී. වැනි අය කියන දේවල්වලට අනුව අපේ දේශපාලනය හසුරුවා ගැනීමට නොයා යුතු වනවා පමණක් නොව විශේෂයෙන්ම ඒකාබද්ධයේ නායකයින් මේ පිලිබදව වඩාත් අවධානයෙන් සිටිය යුතු බව මගේ අදහසය.

මහින්ද බලවේගයේ ආදරයක් ලැබුවෝ :
7. විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ සිටින නායකයන් වන දිනේශ්, විමල්, වාසු, ඩලස්, වෙල්ගම, ප්‍රසන්න, උදය වගේ අයට මහින්ද බලවේගයේ විශාල ආදරයක් තිබෙන බව අපි හැමෝම දන්නා කාරණයක්ය. 

මේ නායකයන්ට ජනතාව ආදරය කරන්නේ මහින්ද බලවේගය පෙරට ගෙන ඒම සහ එස්. බී. ලා වැනි අය විසින් පසුගිය වසර තුන පුරාවට අපේ බලවේගයට එල්ල කළ පහරවලට ප්‍රතිපුහාර දෙමින් ශක්තිමත් නායකත්වයක් දුන් නිසාය. 

එස්. බී. ලාට එරෙහිවීම නිසා ජනතාවගෙන් ලැබුනු ආදරය එස්. බී. ලා 'ඇගේ දා ගැනීමෙන්' විනාශ කර නොගැනීමට මේ අපේ නායකයන් වග බලා ගත යුතු බව කියන්නේ අමනාපයකින් නොවන බව තේරුම් ගත යුතුය.


8. ඒ වගේම කිවයුත්තේ පොදුජන පක්ෂයේ නායකතිවය දරන බැසිල් රාජපක්ෂ ජී එල් පීරිස් වැනි අය මේ මොහොතේ ගමේ තියෙන මහින්ද බලවේගයේ සමහරුන් තුළ තියෙන සැක සංකාවන් දුරුවන පරිදි වැඩ කිරීම අත්‍යාවශ්‍ය බවය. 

එස්. බී. ලාගේ දේශපාලන සුදුව !
9. එස්. බී. ලා වැනි අය කරන්නේ පක්ෂයෙන් පක්ෂයට, නායකයාගෙන් නායකයාට, හා ආසනයෙන් ආසනයට පලා යාමය. ඔහු පටන් ගත්තේ කොමිනුෂ්ට් පක්ෂයෙන්ය. ඊලගට ශ්‍රීලනීපයේය. ඊලගට එජාපයේය. ඊලගට නැවත් මහින්දගේ ශ්‍රීලනීපයේය. ඊලගට නැවත මෛත්‍රීගේ ශ්‍රී ලනීපයේය. ඊලගට ඒකාබද්ධ විපක්ෂයේය. 

ආණ්ඩු විදියට ගත්තත් ඔහු ගේ ගමන් මග මේ වගේමය. පටන් ගන්නේ චන්දිකාගේ රජයෙන්ය. ඊට පසුව රනිල්ගේ 2003 රජයේය. ඊලගට මහින්දගේ 2010 රජයේය. ඊලගට මෛත්‍රීගේ 2015 යහපාලන දින සීයේ රජයේය. ඊලගට රනිල්ගේ 2015 සමගි සන්ධාන රජයේය. 

ඊලගට මොන රජයේද කියා දන්නේ දෙවියෝ පමණක්ය. ආසන විදියට ගත්තත් මේ තත්වය එසේමය. පටන් ගත්තේ හගුරන්තෙනිනි. ඊලග යටිනුවරය. දැන් ඉන්නේ හේවාහැටය. 

මේ දේශපාලන සුදුව නැවැත්විය යුතු යැයි නුවර ජන්ද දායකයෝ සිතුවේ පසුගිය මැතිවරණයේයදීය. 

ඒත් එය කරන්නට ශ්‍රීලනිපයේ නායකයෝ ඉඩ දුන්නේ නැත. මහනුවර ශ්‍රීලනීප පාක්ෂිකයින් පසුගිය ජන්දයේදී පෙන්වූ බුද්ධිමත්භාවය මහින්ද බලවේගියේ සියලුම ක්ෂේත්‍රවල සිටින අපි හැමෝම අවධානයට ගැනීම වැදගත් වන්නේ එසේ අවධානයට නොගතහොත් ජනතාව එස්. බී. ලාට දුන් බේතම අපි හැමෝටම දිය හැකි නිසාය.''

මට ශ‍්‍රිලනිපය එපා.. මං පොහොට්ටුව හදනවා.. ශ‍්‍රිලනිපය ඔබලා හදාගන්න

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයක් ගොඩ නැගීමට තමනට කිසිදු උවමනාවක් නැති බවත් තමන් ඉදිරියේදීත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත.

ඔහු මේ බව පවසා ඇත්තේ පසුගියදා ඇමති ධුරයන්ගෙන් ඉල්ලා අස්වූ ශ‍්‍රිලනිප 16 දෙනාගෙන් කිහිප දෙනෙකු ඔහු මුණ ගැසීමට පැමිණි අවස්ථාවේදීය.

තමන් ගන්නා ලද දේශපාලන ක‍්‍රියාමාර්ගයන් 50 ලක්‍ෂයක ජනතාවක් අනුමත කර ඇති බව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පෙන්වා දී ඇති නිසා තව දුරටත් තමන් ශ‍්‍රීලනිපයක් ගැන කිසිදු උනන්දුවක් නොදක්වන බවද ඔහු අවධාරණය කර තිබේ

නමුත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගොඩ නැගීමේ කටයුත්ත එම පිරිසට කර ගන්නා ලෙසත් එම උත්සාහයට තමන් සුබ පතනා බවත් හිටපු ජනාධිපතිවරයා පවසා ඇත.

කෙසේ වෙතත් ඉදිරියේදී ගොඩ නැගෙනා සන්ධානයක් හෝ පෙරමුණක් සදහා අවස්ථාව විවෘතය පවතින බවද රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් කියා ඇත.

කෙසේ වෙතත් ආණ්ඩු විරෝධී විපක්‍ෂ සටනට මෙම කණ්ඩායම සාදරයෙන් පිලිගන්නා බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කර ඇත.
« PREV
NEXT »