BREAKING NEWS
latest

728x90

468x60

Sunday, April 08, 2018

පහුගිය මැතිවරණයේදී ආණ්ඩුව ඉල්ලං කෑවා! සජිත්ගෙන් හෙලිදරව්වක්

ජනතාව ඉල්ලන දේ ලබාදීම ආණ්ඩුවේ වගකීම බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අනුරාධපුර පලුගස්වැව,නවතිස් සමරුගම ගම්මානය ජනතා අයිතියට පත් කරමින් අමාත්‍යවරයා මේ බව කීවේය

අද දවස තුළ තවත් ප්‍රතිලාභීන් රැසකට අප සහන ලබා දෙනවා. පවුල් 25 කට නිවාස අයිතිය හිමි වනවා. ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 100 කට රුපියල් ලක්ෂ 112 ක් වටිනා “විසිරි නිවාස ණය” ලබා දෙනවා. තවත් ප්‍රතිලාභීන් 100 කට රුපියල් ලක්ෂ 200 ක් වටිනා “සොඳුරු පියස නිවාස ණය” ලබා දෙනවා. “ශිල්ප සවිය” වැඩසටහන යටතේ තරුණ තරුණියන් 100 දෙනෙකුට රුපියල් ලක්ෂ 38 ක් වටිනා වෘත්තීය උපකරණ කට්ටල, නිල ඇඳුම් ලබා දෙනවා. වකුගඩු රෝගීන් 50 දෙනෙකුට රුපියල් ලක්ෂ 124 ක් වටිනා නිවාස ආධාර ලබා දෙනවා. එමෙන්ම නිවාසලාභීන් සඳහා අඹ පැළ ලබා දීමද අද දින සිදු වනවා. “නවතිස් සමරුගම” උදා ගම්මානය ජනතා අයිතියට පත් වීමත් සමඟ මෙම ප්‍රදේශයේ ජනතාවට හිමිවන ප්‍රතිලාභ මේවායි.

මෙම සහන ලබා දීමට අපට මුදල් ලැබෙන්නේ මහ භාණ්ඩාගාරයෙන්. මහ භාණ්ඩාගාරයට මුදල් ලැබෙන්නේ රටේ ජනතාවගේ බදු මුදල් වලින්. බදු මුදල් සෘජු බදු සහ වක්‍ර බදු ලෙස කොටස් දෙකයි. සෘජු බදු යනු ආදායම් බද්ද වන අතර වක්‍ර බදු යනු වැට් එකයි. මෙමගින් උපයා ගන්නා මුදල් මහ භාණ්ඩාගාරයට ගොස් නැවත අපට ලැබෙනවා. ජනතාවට නිවාස සෑදීමට අප ලබා දෙන්නේ එම මුදලුයි. අප මහ භාණ්ඩාගාරයේ අයිතිකරුවන් නොවෙයි. අප හැසිරිය යුත්තේ එහි තාවකාලික භාරකරුවන් ලෙසටයි. මහ භාණ්ඩාගාරයේ අරමුදල් අපේ පෞද්ගලික බූදල් නොවෙයි. අමාත්‍යංශවල ඇති අරමුදල් සහ සම්පත්ද පෞද්ගලික දේවල් නොව ජනතාවගේ දේපළ බව අප සිහියේ තබා ගත යුතුයි.

රටේ පාලන තන්ත්‍රයේ වගකීම ජනතාව අපට ලබා දී ඇත්තේ අවුරුදු 5 කට හෝ 6 කට පමණයි. ජනතාව විසින් එසේ ලබා දෙන අවසර පත්‍රය අප වසර පහෙන් පහට, හයෙන් හයට අළුත් කර ගත යුතුයි. මැතිවරණ පැවැත්වෙන්නේ ඒ සඳහායි. අප නිසි ලෙස වැඩ කළොත් අපේ බලපත්‍රය අළුත් වනවා සේම නිසි ලෙස වැඩ සිදු නොකළොත් එම බල පත්‍රය අහෝසි වනවා. එය හොඳින් මතක තබා ගත යුතුයි. අද පක්ෂ විපක්ෂ සියළු දෙනාම උත්සහ කරන්නේ මෙම බල පත්‍රය ලබා ගැනීමටයි. මෙම බල පත්‍රය පිළිබඳව තීන්දු තීරණ ගන්නේ පාලකයින් වන අප නොව රටේ සිටින ලක්ෂ 60 ක් පමණ වන ජනතාව විසිනුයි. අප සෑම විටම රටේ පුරවැසි පරපුරේ අයිතීන් ආරක්ෂා කළ යුතුයි. ඔවුන්ගේ ඉල්ලුමට සැපයුම ලබා දිය යුතුයි. මෙම බල පත්‍රය අපට ලබා ගැනීමට හැකි වන්නේ එවිටයි. දේශපාලඥයින් වන අප හැම විටම සිතිය යුත්තේ තමන්ගේ බල පත්‍රය සහ තමන්ගේ තැන පිළිබඳව නොව රටේ ජනතාව සහ රට ගැන සිතීමයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මගේ විරුද්ධවාදියෙකු වුවත් මා ඔහුට ගරු කරනවා. ඒ යුධ ජයග්‍රහණය නිසයි. ජනතාව විසින් ලබා දෙන බල පත්‍රය තාවකාලිකව ලබා ගන්නවා වෙනුවට එතුමා එය සදාකාලිකවම ලබා ගැනීමට උත්සහ කළා. ඒ වෙනුවෙන් ව්‍යවස්ථාවද වෙනස් කර වසර දෙකකට පෙර ජනාධිපතිවරණයක් පවත්වා ඉල්ලං කෑවා. පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ජනතාව අපට බලය ලබා දුන්නා. අප වසර 3 ක් ආණ්ඩුව සිදු කළා. නමුත් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කිසිඳු සැළැස්මක්, වැඩපිළිවෙලක්, දර්ශනයක් නොමැතිව මැතිවරණයට ඉදිරිපත් වී වත්මන් ආණ්ඩුවද ජනතාවගෙන් ඉල්ලං කෑවා.

ජනතාව ඉල්ලන දේ ලබා නොදුන්නොත් හැමදාම අපට සිදු වන්නේ ඉල්ලං කන්නයි. අප ජනතාවට පොහොර සහනාධාරාය ලබා දුන්නේ නැහැ. පාසල් නිල ඇඳුම වෙනුවට වවුචර් පත් ලබා දුන්නා. මේවා සිදු කරන විට මා විරුද්ධ වුණා. කවුරුත් ඒවා ගණන් ගත්තේ නැහැ. අවසානයේ අපට සිදු වුණේ ඉල්ලං කන්නටයි. සමහරු කියනවා මම ඉල්ලන්න යනවා කියලා. මම කිසිවක් ඉල්ලන්නේ නැහැ. ඉල්ලං කන්නෙත් නැහැ. අපට එසේ ඉල්ලීම් කරන්නට අයිතියක් නැහැ. නමුත් ජනතාව ඉල්ලන දේ දිය යුතුයි. නැත්නම් සිදු වන්නේ ඉල්ලං කන්නටයි.

ඉදිරියේදී මැතිවරණ පෝළිමක් පැමිණෙනවා. එම නිසා අප සදාචාරසම්පන්න දේශපාලන ක්‍රමවේදයක නිරත වෙමින් ජනතාවගේ හද ගැස්ම අවබෝධ කර ගත යුතුයි. නායකයින් නම්‍යශීලි විය යුතුයි. වරද නිවැදරි කර ගැනීම සාමාන්‍ය දෙයක්. විභාගයක් වුවද එක් වරක් අසමත් වුවොත් අනෙක් වර සමත් විය හැකියි. අප සෑම විටම රටේ ජනතාවට සැළකිය යුතුයි. ඔවුන්ට සහනාධාර ලබා දිය යුතුයි. ඔවුන්ගේ නිවාස, ඉඩම් සහ රැකියා අවශ්‍යතාවන් පිළිබඳව සොයා බලා විසඳුම් ලබා දිය යුතුයි. අප ගොවි, ගුරු, කම්කරු සහ රාජ්‍ය සේවකයින් රැක ගත යුතුයි. එසේ නොමැතිනම් සිදු වන්නේ ඉල්ලං කෑමටයි. මා සෑම විටම කටයුතු කරන්නේ ඉල්ලං කන්නේ නැතිව වැඩ සිදු කිරීමටයි. මෙයින් අප පාඩමක් ඉගෙන ගත යුතුයි.

මෙරට සිටින පවුල් ලක්ෂ 60 ටම කවන්නට මා ඉදිරිපත් වනවා. මා ඔවුන්ට කවන්නේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය නැමැති හැන්දෙන්. එම හැන්දෙන් මා බෙදන්නේ රටේ පොඩි මිනිසාටයි. ඒ සඳහා ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ මුදල් ඇමතිතුමා මට අවශ්‍ය සහය ලබා දෙනවා. කිසිවකු බාධා නොකර සිටියහොත් මට එය සිදු කිරීමට පුළුවන්. ජනතාවට වැඩි වැඩියෙන් සහන ලබා දීම, ප්‍රතිලාභ ලබා දීම මාගේ ඒකායන අරමුණයි.
« PREV
NEXT »