BREAKING NEWS
latest

728x90

468x60

Saturday, May 05, 2018

ක්‍රීඩා ඇමැතිගේ පළමු මාධ්‍ය හමුවේදීම වගකීම් පැහැරහැරි නිලධාරීන්ට එරෙහි විනය ක්‍රියා මාර්ග

ක්‍රීඩා ඇමැති ලෙස පැවැත්වූ පළමු මාධ්‍ය හමුවේදීම මතුවූ ප්‍රශ්නයකට අවධානය යොමුකරමින් ඒ හා සම්බන්ධ සියලුම නිලධාරීන්ට එරෙහි විනය ක්‍රියාමාර්ග ගන්න බව ඇමැති අධිනීතීඥ ෆයිසර් මුස්තාපා මහතා පවසයි. කොරියාවේ පැවැති ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලියේදී ක්‍රීඩා අමාත්‍යාංශයට සම්බන්ධ නිලධාරිණියකගේ ක්‍රියා කළාපය පිළිබඳව පසුගිය වසරේ ජූලි මාසයේදී විමර්ශන වාර්තාවකින් කරුණු හෙළිවී තිබියදී ඒ පිළිබඳ පියවර නොගැනීමට එරෙහිව ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් එම අවස්ථාවේම නිදහසට කරුණු විමසා විනය ක්‍රියා මාර්ග ගැනීමේ තීරණයට එළැඹියේය.

ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ පැවැති ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතාගේ පළමු මාධ්‍ය හමුව පැය දෙකකට ආසන්න කාලයක් පැවැත්වුණි.

ක්‍රීඩා ඇමැතිවරයා ලෙස පුද්ගලවාදයෙන් තොරව ප්‍රතිපත්තියට තැනදී කටයුතු කිරීම එකම අරමුණ බව හෙතෙම මෙහිදී අවධාරණය කළේය. “මගේ පුදගලවාදී දෘෂ්ඨිකෝණයක් නෑ. මට අවශ්‍ය යහපත් ප්‍රතිපත්තියක් පමණයි. පදක්කම් දිනන්න පුලුවන් අය හැරෙන්නට ජාත්‍යන්තර තරගවලදී මුදල් නාස්ති කර ප්‍රතිඵලයක් නැති අය යවන්න අවශ්‍ය නෑ. රටේ මුදල් අනවශ්‍ය පරිදි නාස්ති කිරීම මගේ ප්‍රතිපත්තිය නොවෙයි. කණ්ඩායමක් විදෙස් තරගාවලියකට යැවීමට පෙර එහි ගුණාත්මකභාවය පිළිබද පූර්ණ අවධානයක් යොමු කරනවා. සංඛ්‍යාත්මකව නොව මා තීරණ ගන්නේ ව්‍යුහාත්මකව කල්පනා කරලයි. ඇතැම් අවස්ථාවලදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වඩා නිලධාරීන් විදෙස් සංචාරවලට යනවා. එසේ විය යුතු නෑ. මා කැබිනට් මණ්ඩලයට යොමු කරනවා මේ කරුණු ගැන ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමට. ක්‍රීඩාව දියුණු කිරීමට මා වෙත ලැබෙන සියලු හොඳ යෝජනා මා භාර ගැනීමට සූදානම්” ඇමැතිවරයා පැවැසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මේ මස 31වැනි දිනට කලින් පැවැත්වීමට ඇති හැකියාව නිතිපතිවරයාගෙන් විමසා ඇතැයි ද ඇමැතිවරයා මෙහිදී සදහන් කළේය. ක්‍රිකට් නිලවරණය කැදවීමේදී තිකාෂණික දෝෂයක් ඇතිවී තිබූ හෙයින් නිලවරණ කමිටුව නැවැත පත් කිරීමට සිදුවු බව මුස්තාපා මහතා පැවැසීය. කිසිඳු අයුරකින් නිලවරණ කල් දැමීම තම ප්‍රතිපත්තිය නොවන බව ඒ මහතා පැවැසීය.

“ක්‍රිකට් ඡන්දය මැයි 31ට පෙර පැවැත්වීමට හැකියාව ලැබෙයි කියා මගේ විශ්වාසයයි. අතුරු කමිටු පත් කිරීමට මගේ කිසිදු කැමැත්තක් නෑ. ක්‍රීඩා සමාජවල මහජන කැමැත්ත ඇතිව නිලතල පත්වලට එන අය වෙනුවට අතුරු කමිටු දැමීමට පෙර දහස්වර කල්පනා කළ යුතු වෙනවා. පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය අප අනුගමණය කරනවා නම් ක්‍රීඩා ක්ෂේත්‍රයේත් ඒ ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතුයි” ඇමැතිවරයාගේ අදහස විය.

ක්‍රීඩා පනත අවශ්‍ය පරිදි සංශෝධනය කරමින් ක්‍රීඩා සංගම්වලට නිදහසේ වැඩ කිරීමේ අයිතිය තහවුරු කිරීමට ද ඇමැතිවරයා බලාපොරොත්තු පළ කළේය. ක්‍රීඩා ඇමැතිවරයා සතුව ඇති අභිමතය පරිදි කටයුතු කිරීමේ බලය තවදුරටත් අවශ්‍ය ද යන්න කල්පනා කළ යුතු කාලය එළැඹ ඇතැයි ද සදහන් විය.

“ක්‍රීඩා ඇමැතිවරයා ක්‍රීඩා කණ්ඩායමක් තේරීමේදී අවසන් අනුමැතිය දෙන පුද්ගලයා බවට පත්ව තිබෙනවා. ඒ වාගේම ක්‍රීඩා තේරීම් කමිටු නම් කිරීමේ බලයත් ඇමැතිවරයා සතුව තිබෙනවා. ඇමැතිවරයට පරිපාලනය ගැන අවබෝධය තිබුණත් ක්‍රීඩා කිරීම ගැන ලොකු අවබෝධයක් නැති වෙන්න පුලුවන්. එවැනි තත්ත්වයක් තුළ ක්‍රීඩා කණ්ඩායම් තේරීමේ බලය හා තේරීම් කමිටු නම් කිරීමේ බලය ඇමැතිවරයාට තිබිය යුතු ද යන්න විශාල කතිකාවක් මගින් නැවැත සලකා බැලිය යුතුයි. මගේ අදහස නම් මෙවැනි කටයුතු ස්වාධීන මන්ඩලයක් හරහා සිදුවිය යුතු බවයි” ක්‍රීඩාව දේශපාලනීකරණය කළ යුතු නැතැයි ෆයිසර් මුස්තාපා මහතා මාධ්‍යවේදීන් හමුවේ අවධාරණය කළේය.
« PREV
NEXT »