BREAKING NEWS
latest

728x90

468x60

Friday, May 18, 2018

විග්නේෂ්වරන්, මිය ගිය අය සමරා, උතුරේ ස්මාරකයක් විවෘත කරයි

යුද්ධයෙන් මිය ගිය උතුරේ දෙමළ ජනතාව සිහි කර සමරු ස්මාරකයක් උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් මුලතිව් – වෙල්ලමුල්ලි වයික්කාල් මුහුදු තීරයේදී අද විවෘත කෙරුණා.

කෙසේ වෙතත්, නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර තණමල්විල ප්‍රදේශයේ අද පැවති උත්සවයකින් අනතුරුව කියා සිටියේ මෙවැනි සැමරුම් සඳහා කිසිදු නීත්‍යානුකූල අවසරයක් ලබාදී නොමැති බවයි.

මුලතිව් – වෙල්ලමුල්ලි වයික්කාල් මුහුදු තීරයේ පැවති සැමරුම් උත්සවයට සහභාගිවීම සඳහා උතුර පළාත් සභාවේ පිරිසක් සහ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් එම විශ්වවිද්‍යාලයේ සිට වෙල්ලමුල්ලි වයික්කාල් දක්වා රථ පෙළපාලියකින් ගමන් කළා.

මේ, එම සැමරුමට එක්වෙමින් අදහස් දැක්වූ උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පළ කළේ මෙවන් අදහසක්.

‘‘එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ තීරණයන් හරහා ජාත්‍යන්තරය ඉදිරියේ එකඟ වුණ, දෙමුහුන් පරීක්ෂණ යාන්ත්‍රණය ලංකා රජය අද වෙනකොට ප්‍රතික්ෂේප කරලා තියෙනවා. පසුගිය අවුරුදු 70ක කාලයේ පැවති රජයන් විසින් දෙමළ ජනතාව රවට්ටලා කියලා ජාත්‍යන්තරය දැන්වත් තේරුම් ගන්න ඕනි. මේ අතීතය දිහා බලන කොට ජාත්‍යන්තරයේ මැදිහත්වීම නැතුව ජාතික ප්‍රශ්නයට විසදුම් සොයන්න හැකියාවක් නැහැ. ත්‍රස්තවාදී පනත යටතේ අත්අඩංගුවට ගත් දෙමළ අය චෝදනා නැතිව තවමත් රැදවුම් කදවුරුවල ඉන්නවා. යුද්ධයේදී මේ භූමිය තුළ මිය ගිය සියලූම අපගේ ඥාතීන් වෙනුවෙන් මම මගේ ශෝකය පළ කරනවා.’’

මේ අතර, යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් මිය ගිය දෙමළ වැසියන් සිහිපත් කරමින් සැමරුම් උත්සවයක් අද සංවිධානය කර තිබුණා.

එමෙන්ම උතුර පළාතේ බොහෝ පාසල්වල පළාත් ධජය අඩකුඹු කර තිබූ බවයි වාර්තා වන්නේ.

යුද්ධයෙන් මිය ගිය ජනතාව සිහි කරමින් අද දිනයේ එලෙස පළාත් ධජය අඩකුඹු කරන ලෙස උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේෂ්වරන් ඊයේ නිවේදනයක් නිකුත් කරමින් උතුරු පළාතේ සියලූම පාසල්වල විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබුණා.

කෙසේ වෙතත්, එවැනි සැමරුම් සඳහා රජය කිසිදු නීත්‍යානුකූල අවසරයක් ලබාදී නොමැති බවයි නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර කියා සිටියේ.
« PREV
NEXT »