BREAKING NEWS
latest

728x90

468x60

Thursday, May 17, 2018

'රාජ්‍ය මාධ්‍ය ආණ්ඩුවේ හොරනෑවක් කරන්න එපා'' - මංගල

පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මෙන් රාජ්‍ය මාධ්‍ය ආණ්ඩුවේ හොරනෑවක් ලෙස යොදා නොගන්නා ලෙස මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම්දී සිටියි.

ඇමතිවරයා එබව සඳහන් කලේ අලුතින් නම් කල රජයේ මාධ්‍ය ආයතන ප්‍රධානින් වෙත පත්වීම් ලිපි ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය අමාත්‍යංශයේ ඊයේ (16) පැවති සුහද හමුවේදීය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා හා නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාද එක්ව සිටියේය.

ශ්‍රී ලංකා රුපවාහිනි සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ස්වාධින රුපවාහිනී සේවය හා සැලසිනේ ආයතන වෙනුවෙන් පත්කළ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සියලු දෙනාම පාහේ මෙහිදී සිය පත්වීම් ලිපි බාරගනු ලැබිය.

ඇමති ස්වයං විවේචනයක :

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මංගල සමරවීර මහතා, පසුගිය මැයි මාසයේ දී මාධ්‍ය අමාත්‍ය ධුරය බාරගැනීමෙන් අනතුරුව මේ දක්වා මාධ්‍ය අමාත්‍යංශය යටතේ ඇති ආයතනවලින් එතරම් සාර්ථක ප්‍රතිපලයක් අත්කර ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළකළේය.

රාජ්‍ය මාධ්‍ය තුල පැහැදිලි වෙනසක් ඇති කිරීමට අපොහොසත් වූ බව පැවසු ඇමතිවරයා, ඒ නිසාම ආණ්ඩුව විසින් සිදුකල ජනතාව වෙත වැඩ නිසි පරිදි සන්නිවේදනය නොවූ බවට චෝදනා එල්ලවූ බවද කියා සිටියේය.

කෙසේවුවද පසුගිය රජය සිදුකල ආකාරයේ විරුද්ධවාදීන්ට අවලාද අපහස කිරීමේ මාධ්‍ය භාවිතයකට යළි නොයායුතු බව අවධාරණය කර සිටි මංගල සමරවීර මහතා, රජය විසින් සිදුකරන හොඳ වැඩ මිට වඩා විදිමත් නැවුම් ආකාරයකින් ජනතාව අතරට ගෙන යන ලෙස මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී සිටියේය.

වාරණය අදට වලංගු නැහැ :

විරුද්ධවාදීන් කොතරම් මඩ ගැසුවද වර්තමානයේ මාධ්‍ය වාරණය ප්‍රයෝගික නොවන බව පැවසු ඇමතිවරයා, අමිහිරි දේවල් පවා අහන්න විඳ දරා ගන්න දේශපාලනඥයින් පුරුදු විය යුතු බවද කියා සිටියේය.

තමා මෙම ඇමති ධුරයේ වගකීම් දරනතාක් ජාතින් අතර ආගම් අතර සංහිඳියාව බාධාවන කිසිඳු වැඩකට රාජ්‍ය මාධ්‍ය ආයතනතුල ඉඩක් නොමැති බව අවධාරණය කර සිටි ඇමතිවරයා එවැන්නක් වාර්තා වුවහොත් එම මොහොතේම ආදාල ආයතනයේ ප්‍රධානියා තනතුරෙන් නෙරපා හරින බවටද දැඩිව කියා සිටියේය.

අලුතින් පත්වීම් ලැබූ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් මෙන්න :

ශ්‍රී ලංකා රුපවාහිනි සංස්ථාව :


1. සභාපති - ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද මහත්මිය
2. ක්‍රියාකාරී අධ්‍යක්ෂ - නවාස් මොහොමඩ් මහතා 
3. අධ්‍යක්ෂ - සාරංග විජේරත්න මහතා 

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව :

1. සභාපති - සිද්දි ෆාරුක් මහතා 
2. ක්‍රියාකාරී අධ්‍යක්ෂ - එම්.ජේ. ආර්. ඩේවිඩ් මහතා 
3. අධ්‍යක්ෂ - නීතිඥ නවින් ශානක මහතා 
4. අධ්‍යක්ෂ - මහේෂිනි කොලොන්නේ මහත්මිය
5. අධ්‍යක්ෂ - සමන් මුතුකුමාරණ මහතා 

ස්වාධින රුපවාහිනි ආයතනය :

1. සභාපති - තිලකා ජයසුන්දර මහත්මිය 
2.ක්‍රියාකාරී අධ්‍යක්ෂ - විමල් කැටිපේආරච්චි මහතා 
3. අධ්‍යක්ෂ - නලින් අපොන්සු මහතා 
4. අධ්‍යක්ෂ - නීතිඥ මෙත්සිරි පරණවිතාන මහතා 
5. අධ්‍යක්ෂ - සෙරීනා පිරිස් මහත්මිය 
6. අධ්‍යක්ෂ - සුභාෂ් පින්නපොළ මහතා 

සැලසිනේ ආයතනය :

1. සභාපතිනි - උමා රාජමන්ත්‍රී මහත්මිය
2. අධ්‍යක්ෂ - තුෂාර වන්නිආරච්චි මහතා
3. අධ්‍යක්ෂ - නීතිඥ යුරේකා වේලාරත්න මහත්මිය
« PREV
NEXT »