BREAKING NEWS
latest

728x90

468x60

Sunday, June 10, 2018

ඇමති සාගලග දෙනියායෙ ජනතාවට ලගටම ගිහින් දුන්නු දේ

පසුගිය වසරේ (2017) ඇතිවූ ගංවතුර හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව විපතට පත්වූ අතර ඉන් මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය ආසනයට වැඩි හානියක් සිදුවිය. එහිදී මුල් අවස්ථාවේදීම මැදිහත්වූ අමාත්‍ය සාගල රත්නායක මහතා ජනතාවගේ මූලික අවශ්‍යතාවයන්ට විසඳුම් ලබාදීමට කටයුතු කෙරිණි. අනතුරුව මූලික ආපදා වන්දි මුදල් ගෙවීමෙන් අනතුරුව නිවාස හානියට පත්වූවන්ට වන්දි මුදල් ගෙවීමට කටයුතු කෙරිණි.


එහිදී අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ වාර්තා අනුව පුර්ණ සහ අර්ධ හානි සිදුවූ නිවාස සඳහා වන්දි ප්‍රදානය කිරීමට කටයුතු කරනු ලැබිණි. ඒ අනුව ජාතික රක්ෂණ බාර අරමුදල මගින් ප්‍රාදේශීය ලේකම්වරුන් ඉදිරිපත්කල ආපදා හානි වාර්තා වෙනුවෙන් ගෙවීම් සිදුකල අතර ගෙවීම් සිදුකිරීමට නොහැකිවූ ප්‍රමාණයක්ද විය. එම ගැටලුව සැලකිල්ලට ගත් අමාත්‍ය සාගල රත්නායක මහතා, ඒ පිලිබඳ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සිදුකරනු ලැබූ ඉල්ලීම් සහ එම මුදල් ජනතාවට ලබාදීම සඳහා කරන ලද කැපවීම මත මෙලෙස රුපියල් කෝටි 50 ට අධික සමස්ත වන්දි මුදලක් ආපදාවෙන් විපතට පත්වූ ජනතාව අතර බෙදාදීමට හැකිවනු ඇත.

ජාතික රක්ෂණ භාර අරමුදල මිට පෙර සිදුකරන ලද ගෙවීම් මගින් විපතට පත්වූ ජනතාවගේ සමස්ත නිවාස හානි වන්දි මුදල් ගෙවීමට නොහැකිවූ අතර එලෙස ප්‍රාදේශීය ලේකම් තක්සේරු කරන ලද වන්දි මුදලින් ජාතික රක්ෂණ බාර අරමුදල ගෙවන ලද වන්දි මුදල අඩුකර ඉතිරිවන වන්දි මුදල සඳහා අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ඉල්ලීම පරිදි අග්‍රාමාත්‍යතුමා කැබිනට් අනුමැතිය ලබාගනිමින් ස්වදේශ කටයුතු අමාත්‍යංශයේද සහය ඇතිව මහා භාණ්ඩාගාරය මගින් මෙම වන්දි මුදල් ජනතාව වෙත ලබාදීමට පියවර ගැනුනි.

මේ අනුව මහා භාණ්ඩාගාරය මගින් වන්දි ලබාදීම වෙනුවෙන් නිදහස් කරන ලද මුදල් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත මේ වනවිට නිදහස් කර ඇති අතර ඒ අනුව කොටපොල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට රුපියල් කෝටි 26 ක්, පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදෙශියට රුපියල් කෝටි 17 ක් සහ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට රුපියල් කෝටි 07 ට අධික වන්දි මුදලක් මෙලෙස ලබාදී ඇත.

ඒ අනුව ජුනි මස 07 වැනිදා පිටබැද්දර නවෝද්‍යා පාසලේදී පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විපතට පත්වූ පවුල් 1391 සඳහා වන්දි මුදල් ලාභීන් 604 දෙනෙකුට චෙක්පත් බෙදාදුන් අතර පවුල් 3182 ක් විපතට පත්වූ කොටපොල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ 458 දෙනෙකු සඳහා ද චෙක් පත් ලබාදීම 08 වැනිදා දෙනියාය ජාතික පාසලේදී සිදුකෙරිණි. 09 වැනිදා පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාවට වන්දි මුදල් ලබාදීම ඌරුබොක්ක ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී පැවති අතර එහිදී විපතට පත්වූ පවුල් 1550 ක ප්‍රමාණයෙන් 449 දෙනෙකු සඳහා චෙක් පත් මුදල් ලබාදීම සිදුකෙරුණා. මෙම උත්සව අවස්ථාවහිදී පමණක් නොව ඉන් අනතුරුවද සියලු විපතට පත්වූවන්ට වන්දි මුදල් වලට අදාළ චෙක් පත් ලබාදීමට කටයුතු කරන අතර එම මුදල්ද දැනට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට ලබාදී ඇති බැවින් ඒවා ඉදිරි දිනවලදී එම කාර්යාල මගින් ජනතාවට ලබාදීමට කටයුතු කෙරෙනු ඇත.

මෙම වන්දි මුදල් ලබාදීමේ වැඩසටහනනේ ක්‍රියාකාරී මෙහෙවරක් සිදුකල අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතා මෙම වන්දි මුදල් ලබාදීමේ උත්සව අවස්ථාවන්ට එක්වෙමින් දැක්වූ අදහස් මෙසේය,

පසුගිය වසරේ මැයි (2017) මාසයේදී ජනතාව, ගංවතුරින් ආපදාවට පත්වූ අවස්ථාවේදී ගරු අග්‍රාමාත්‍යතුමා දෙනියායට පැමිණ ජනතාවට සිදුවූ හානි තමන් විසින්ම සොයා බැලූ බවත් එලෙසම 2003 වසරේදී මෙන් 2017 ගංවතුර පැමිණි අවස්ථාවේදීද ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ මූලිකත්වයෙන් ජනතාවට ලබාදෙන වන්දි මුදල් ඉහල දැමීමට කටයුතු කල බවයි.

ඒ අනුව, එකල චක්‍රලේඛනය අනුව පුර්ණ හානියකට පත්වූ නිවසකට රුපියල් විසි දහසක් සහ අර්ධ හානියකට රුපියල් පන්දහසක මුදලක් ලබාදෙන ලෙස පැවති බවත් ඒ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එවකට අමාත්‍ය කරු ජයසූරිය මහතා හානියට ලක්වූ ජනතාවගේ නිවාස තැනීමට නායකත්වය ලබාදීමට පත්කළ බවත් එහිදී කරු ජයසූරිය මහතා ඉදිරිපත්කල තොරතුරු අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පුර්ණ හානි සඳහා ලබාදුන් වන්දි මුදල රුපියල් ලක්ෂය දක්වාත් අර්ධ හානි සඳහා ලබාදුන් රුපියල් පන්දහසක වන්දි මුදල රුපියල් හතලිස් දහස දක්වාත් ඉහල දැමීමට කටයුතු කල බවද සඳහන් කළේය.

2015 වසරේ නව රජය පැමිණීමෙන් පසු වත්මන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් සහ එවකට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ මැදිහත්වීම මත අමාත්‍ය මණ්ඩලයද එක්ව ජාතික රක්ෂණභාර අරමුදල හරහා ස්වභාවික ව්‍යවසන අවස්ථා වලදී ශ්‍රී ලංකාවේ සියලු නිවෙස් රක්ෂණය කිරීමට හැකිවූ බව සඳහන් කල අමාත්‍යවරයා කියා සිටියේ ඒ නිසාවෙන් මෙවර ගංවතුර පැමිණි අවස්ථාවේදී අප රජයට රක්ෂණ වන්දි මුදල් ලබාදීමට හැකිවූ බවයි. ඒ අනුව 2017 වර්ෂයේ පැමිණි ගංවතුරින් විපතට පත්වූ නිවාස මෙන්ම ව්‍යාපාරික ස්ථාන සඳහාද වන්දි ලබාදීමේ හැකියාවක් රජයට උදාවූ බවද අමාත්‍යවරයා සඳහන් කළා.

නමුත් 2017 වර්ෂයේ සිදුවූ ගංවතුරට වන්දි ලබාදීම අවස්ථාවේදී ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ තක්සේරු කිරීම් සහ ජාතික රක්ෂණ බාර අරමුදල මගින් සිදුකරන ගෙවීම් අතර විෂමතාවයක් ඇතිවූ බවත් එනිසා ගරු අග්‍රාමාත්‍යතුමන් ඊට මැදිහත්වී ජනතාවට මුදල් ලබාදීමට විශේෂ කැබිනට් අනුමැතියක් ලබාගත් බවද සඳහන් කල අමාත්‍යවරයා කියා සිටියේ ඒ අනුව ජාතික රක්ෂණ බාර අරමුදල ගෙවූ මුදල්වලට අමතරව ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය මත ලැබිය යුතු ඉතිරි මුදල් මෙලෙස ගෙවීමට ක්‍රියාකරන බවයි.

මේ කටයුත්ත සඳහා යම් කාලයක් ගතවුවද කිසි විටෙකත් රජය එය අමතක නොකළ බව සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ සිදුවූ ප්‍රමාදදෝෂයට සමාවඉල්ලන බවත්, කල් ගතවුවද ජනතාවගේ ප්‍රශ්න නිරාකරණය වන ආකාරයට මුදල් ලබාදීමට හැකිවීම පිළිබඳව තමන් හා රජය සතුටට පත්වන බවයි.

මේ අනුව පිටබැද්දර, කොටපොල සහ පස්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බලප්‍රදේශවල විපතට පත්වූ ජනතාව අතර රුපියල් කොටි පනහකට (50) අධික මුදලක් බෙදාදීමට අමාත්‍ය සාගල රත්නායක මහතා මෙලෙස මූලිකත්වය ගෙන කටයුතු කර ඇත.


« PREV
NEXT »