BREAKING NEWS
latest

728x90

468x60

Saturday, August 12, 2017

කසළවලින් විදුලිය සහ පොහොර නිපදවන ස්ථාන 4ක් ගම්පහට

කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශ ගණනාවක පවතින අයහපත් තත්ත්වයට ස්ථිර විසදුමක් ලෙස පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිවෙළ යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ විදුලිය නිපදවීමේ සහ පොහොර සැකසීමේ ස්ථාන හතරක් සැකසීමට සැලසුම් කොට ඇත.

ලක්ෂ 23කට අධික ජනගහනයක් වෙසෙන ගම්පහ දිස්ත්‍රික්කයේ දැනට දිනකට මෙට්ට්‍රික් ටොන් 630 - 700 අතර ප්‍රමාණයක් කසළ ජනනය වන අතර මින් මෙට්ට්‍රික් ටොන් 450ක ප්‍රමාණයක් දෛනිකව රැස් කෙරෙන බැවින් මේ කසළ ප්‍රමාණය මේ සදහා යොදා ගැනෙන බව වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් කරුණු දක්වන මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඉංජිනේරු මහේෂ් ජයවීර මහතා පැවැසීය.
දැනට දිස්ත්‍රික්කයේ කසළ යොදා ගනිමින් විදුලිය නිපදවීම සහ පොහොර නිපදවීමත් මෙන්ම සනීපාරක්ෂක කසළ රදවන ස්ථාන සැකසීමට මුතුරාජවෙල . අත්තනගල්ල . මිනුවන්ගොඩ සහ මහර යන ප්‍රදේශයන්හි ජනතාවට කිසිදු ගැටලුකාරී තත්ත්වයක් නොවන සේ ස්ථාන හතරක් තෝරා ගෙන ඇති බවද ජයවීර මහතා කීවේය.

මේ අනුව මුතුරාජවෙල ප්‍රදේශයේ කසළ යොදා ගනිමින් මෙගා වොට් 10ක විදුලිය නිපදවීමත් අත්තනගල්ලේ පෙතියාකන්ද ප්‍රදේශයේ කොමිපෝස්ට් පොහොර නිපදවීම සහ විද්‍යානුකූලව සනීපාරක්ෂක කසළ රදවනයක් ස්ථාපිත කෙරෙන බවත් පැවසු ආචාර්ය ජයවීර මහතා මිනුවන්ගොඩ ප්‍රදේශයෙහි කසළ යොදා ගනිමින් විදුලිය නිපදවීමේ මධ්‍යස්ථානයක්ද මහර කොම්පෝස්ට් පොහොර නිපදවීමේ ස්ථානයක්ද ඉදිකෙරෙන බවද කීය.

ගම්පහ දිස්ත්‍රික්කයේ කටුනායක,අත්තනගල්ල, මීගමුව,කැලණිය සහ පෑලියගොඩ යන ප්‍රදේශවල දැනට කුණු කදු 11ක් පවතින බව හදුනාගෙන ඇති අතර මේ කසළ ප්‍රමාණය ඇතුලු සෙසු ප්‍රදේශයන්හි දෛනිකව රැස්වන මුළු කසළ ප්‍රමාණය විදුලිය නිපදවීම සහ පොහොර නිපදවීමට යොදා ගැනීම තුළින් දැනට පවතින කසළ ප්‍රශ්නයෙන් මිදීමට හැකිවනු ඇති බවද ජයවීර මහතා කීය.

ජනතාවට හෝ පරිසරයට කිසිදු පීඩාවක් ඇති නොවන සේ ක්‍රියාත්මක වන මේ ව්‍යාපෘති හතර ජපන් සහ කොරියානු තාක්ෂණය යොදා ගනිමින් විද්‍යානුකූලව ආරම්භ කෙරෙන බවත් පළාත් පාලන අමාත්‍යාංශය මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති කාර්යාලය මගින් වෙන් වෙන් වශයෙන් ව්‍යාපෘති හතර සදහා ප්‍රතිපාදන ලබා දීමට නියමිත බවත් පැවසු ආචාර්ය මහේෂ් ජයවීර මහතා මේ ව්‍යාපෘතිය කසළ ගැටලුවට ස්ථිර විසදුමක් වන අතර වර්ෂ 2020 වන විට නිෂ්පාදන කටයුතු ඇරඹීමට නියමිත බවද වැඩ පිළිවෙළ ගැන පැහැදිලි කරමින් පැවැසීය.

කසළ බැහැර කිරීමේ ගැටලුවට විසඳුම් ලෙස ඇරඹීමට නියමිත ව්‍යාපෘති අතුරින් මුතුරාජවෙල ආශ්‍රිතව විදුලි ජනනය කිරීමේ ව්‍යාපෘතියක් ඇරඹීමට සැලසුම් කොට ඇත.
« PREV
NEXT »