BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, August 02, 2017

යාපනයේ ආරක්‍ෂාව එස්‌ටීඑෆ් වෙත පවරයි - බුද්ධි අංශත් ශක්‌තිමත් කරයි

යාපනය අර්ධද්වීපය පුරා වර්ධනය වෙමින් පවතින ප්‍රචණ්‌ඩ ක්‍රියා මර්දනය කර එම ප්‍රදේශයට පූර්ණ ආරක්‌ෂාවක්‌ සැලසීම පොලිස්‌ විශේෂ කාර්ය බළකාය වෙත භාරදී ඇත.

ඒ අනුව පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ දහසකට අධික නිලධාරීන් පිරිසකගෙන් සමන්විත බලඇණියක්‌ උතුරු අර්ධද්වීපයට ආරක්‌ෂාව සැලසීමේ කාර්ය සඳහා එහි ගොස්‌ සිටිති.

පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්‌ඩායම් යාපනය අර්ධද්වීපය පුරා ජංගම සංචාර, යතුරුපැදි සංචාර, මාර්ග බාධක යොදවා පරීක්‌ෂා කිරීම් මෙන්ම පාමුර සංචාරවල ද නිරත වෙමින් ආරක්‌ෂාව සැපයීමේ කාර්යට එක්‌ව සිටිති.

මේ සම්බන්ධයෙන් 'දිවයින' කළ විමසීමකදී පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ උසස්‌ නිලධාරියකු කියා සිටියේ පසුගිය කාලසීමාවේ පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් යාපනය අර්ධද්වීපය පුරා ආරක්‌ෂක කටයුතු ක්‍රියාත්මක කළේ රාත්‍රි කාලයේදී පමණක්‌ බවයි.

එහෙත් පසුගිය දින කීපය තිස්‌සේ යාපනය අර්ධද්වීපය තුළ සිදුවූ විවිධ ප්‍රචණ්‌ඩ ක්‍රියා වාර්තා වී තිබුණේ දිවා කාලයේ බැවින් දවස පුරාම ආරක්‌ෂක කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය යෙදවූ බව ද එම උසස්‌ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

යාපනය අර්ධද්වීපය වලිකාමම්, තෙන්නමරච්චි, වඩමාරච්චි යනුවෙන් ප්‍රදේශ තුනකට බෙදා වෙන්කර එම ප්‍රදේශවලට විශේෂ කාර්ය බළකායේ කණ්‌ඩායම් යොදවා ආරක්‌ෂාව සැලසීමට කටයුතු කරන බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පැවසීය.

පොලිස්‌ විශේෂ කාර්ය බළකායට අමතරව යාපනය අර්ධද්වීපයේ ආරක්‌ෂාව සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් රැසක්‌ යොදවා ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

යාපනය අර්ධද්වීපය පුරා වර්ධනය වෙමින් පවතින ප්‍රචණ්‌ඩ ක්‍රියාවන් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා බුද්ධි අංශ ශක්‌තිමත් කිරීමට ද පොලිස්‌ මූලස්‌ථානය කටයුතු කරමින් සිටියි.

මේ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පොලිස්‌ බුද්ධි අංශ කණ්‌ඩායම් කීපයක්‌ම යාපනය අර්ධද්වීපය වෙත මේ වන විට ගොස්‌ සිටින බව ද පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග කියා සිටියි.

යාපනය අර්ධද්වීපයේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව සොයාබලා ආරක්‌ෂක කටයුතු ශක්‌තිමත් කිරීමට පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ දිනයේත් යාපනය නගරයේ රැඳී සිටියේය.
« PREV
NEXT »