BREAKING NEWS
latest

728x90

468x60

Monday, August 14, 2017

STF මංගලගේ PRO පසුපස පැන්නුවේ පරණ කොන්තරයකට ?

මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරී (PRO) සමීර මනහර ඇතුළු තවත් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම දියත් කර ඇත්තේ පසුගිය සමයේ මුදල් අමාත්‍යංශයට අනියුක්ත කර සිටි විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කිහිප දෙනෙකු විසින් බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටියි.


සමීර මනහර ඇතුළු අනෙක් තිදෙනා මෙසේ අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් දියත් කළ මෙම විශේෂ කාර්ය බලකා ඒකකයේ මෙහෙයුම පිළිබඳ පොලිස්පතිවරයා පවා දැනුවත්ව නොසිට ඇති නමුත් රජයේ ප්‍රබලයකු ඒ පිටුපස සිට ඇති බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට විශේෂ කාර්ය බලකායේ මෙම ඒකකය මුදල් අමාත්‍යංශයට අනියුක්ත කර තිබී ඇත්තේ හිටපු මුදල් අමාත්‍යවරයා විසින් කරනු ලැබූ ඉල්ලීමකට අනුවය. 

ඒ අනුව මුදල් අමාත්‍යංශයට අනියුක්ත කරනු ලැබූ මෙම ඒකකයේ රාජකාරිය වී ඇත්තේ සුරාබදු දෙපාර්තමේන්තුවට පරිභාහිරව මුදල් අමාත්‍යවරයා යටතේ ක්‍රියාත්මක වෙමින් නීතිවිරෝධී මත්පැන් සහ ඒ ආශ්‍රිත ජාවාරම් වැටලීමය. 


කප්පම් චෝදනා 

නමුත් පසුගිය කැබිනට් සංශෝධනයෙන් අනතුරුව සිදුවූ අමාත්‍යංශ වෙනස් වීම හමුවේ මංගල සමරවීර අමාත්‍යවරයා මුදල් සහ ජනමාධ්‍ය විෂය ලැබීමත් සමඟ මෙම ඒකකය විසිරුවා හරින්නට කටයුතු කර ඇත.

මෙම විශේෂ ඒකකය සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර දැනුවත් කර ඇත්තේ මුදල් අමාත්‍යංශයේ ක්‍රියාත්මක අංශ පිළිබඳ අමාත්‍යංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග විසින් ය.

එහිදී ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව මෙන්ම විවිධ පාර්ශව මුදල් අමාත්‍යංශය සතු මෙම විශේෂ වැටලීම් ඒකකය සම්බන්ධව තොරතුරුද අමාත්‍යවරයා වෙත ලැබී ඇත. 

එහිදී මංගල සමරවීර අමාත්‍යවරයා අදාළ ඒකකය මුදල් අමාත්‍යංශයට අනවශ්‍ය බව දන්වා එය ඉවත් කිරීමට කටයුතු යොදන ලෙස අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම්දී ඇත. 

අමාත්‍යවරයා ගෙන ඇති තීරණය පිළිබඳ අමාත්‍යංශ ලේකම්වරයා අදාළ ඒකකය දැනුවත් කර ඇතත් එම ඒකකය දිගටම මුදල් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වීමට ඉඩදෙන ලෙසට ඉල්ලීමක් පෙරලා අමාත්‍යවරයා වෙත යොමුකර ඇත.

එහෙත් එම ඉල්ලීම අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කර ඇති අතර අනතුරුව එම ඒකකය මුදල් අමාත්‍යංශයෙන් ඉවත්කර ඇත. 

මෙම ඒකකයට සුරාබදු දෙපාර්තමන්තුවේ නිලධාරීන් දෙදෙනෙකුද අනියුක්ත කර තිබිණ. එම නිලධාරීන් විසින් මෙම ඒකකය හරහා විශාල සේවයක් ද සිදුකර තිබේ.


ඇමතිවරයා සමග අමනාපයෙන්

නමුත් ලැබී ඇති තොරතුරු වලට අනුව මෙම ඒකකය විසුරුවා හැරීම සම්බන්ධයෙන් එහි සිටි STF නිලධාරීන් කිහිපදෙනෙකු අමාත්‍යවරයා සමග අමනාපයෙන් සිට ඇති අතර ආණ්ඩුවේ හිටපු ප්‍රබලයකු   මංගල සමරවීර අමාත්‍යවරයාව අපහසුතාවට පත්කිරීම සඳහා යොදාගෙන ඇත්තේ එම නොහොඳ නොක්කාඩුවය.

කාලයක සිට මෙම ඒකකයේ සිටි නිලධාරීන් ඉහත සඳහන් රජයේ හිටපු ප්‍රබලයාගේද සහය ඇතිව මංගල සමරවීර අමාත්‍යවරයාගේ ඇමති කාර්ය මණ්ඩලය සහභාගී වන ප්‍රිය සම්භාෂණ සහ හමුවන පුද්ගලයන් සම්බන්ධව තොරතුරු එකතු කර ඇති අතර ඒ අනුව සමීර මනහර සමග ගනුදෙනු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් යුතුව කටයුතු කර තිබේ.


උගුලට හසුවූ හැටි

පසුගිය අගෝස්තු 05 වනදා සමීර මනහර රාත්‍රී සාදයක් සඳහා මිතුරන් තිදෙනෙකු සමඟ කටාන ප්‍රදේශයේ සිට ගල්කිස්ස වෙත පැමිණීමට නියමිත බවට තොරතුරු විශේෂ කාර්ය බලකා ඒකකය වෙත ලැබී ඇත්තේද ඒ අනුවය. 

එහිදී පිරිස පැමිණෙන මෝටර් රථයේ අංකය පමණක් නොව සමීර මනහර සමඟ පැමිණෙන එක් පුද්ගලයකු සාද අවස්ථා වලදී නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙකු බව සහ ඔහු සතුව එවැනි විෂ මත්ද්‍රව්‍ය ඇති බවට තහවුරුවක්ද ඒ සමඟ ලැබී ඇත.

ඒ අනුව විශේෂ කාර්ය බලකා ඒකකය අදාළ මෙහෙයුම දියත් කර ඇති අතර අනතුරුව පිරිස ගල්කිස්ස පොලිසිය වෙත භාරදීමට කටයුතු කර ඇත.

ඒ අනුව ගල්කිස්ස , ද සේරම් පාරේදී දියත් කළ මෙහෙයුමේදී අදාළ මෝටර් රථයේ සිටි කඳානේ පදිංචිකරුවා සතුව තිබී කොකේන් ග්‍රෑම් 3ක්, කෘතීම මත්පෙති ග්‍රෑම් 0.45ක්, කුෂ් ග්‍රෑම් 9. 420ක් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔහු වරද පිළිගෙන ඇති අතර මත්පැන් බෝතල් 18, දුම්වැටි 480, හෂීස් ග්‍රෑම් 9.740 සහ පිහි දෙක සොයාගෙන ඇත්තේ ඔහුගේ කඳාන පිහිටි නිවස පරීක්ෂා කිරීමේදීය.


සියලු බඩු වාහනයේ තිබු බවට

කෙසේ වුවත් රජයේ ප්‍රබලයා මෙම සිදුවීම තමන් සතු සමාජ ජාල ක්‍රියාකාරීන් හරහා ප්‍රසිද්ධියට පත්කරනු ලැබුවේ මෙම සියල්ල එකවර අත්අඩංගුවට ගනුලැබූ ලෙසය. ඒද මංගල අමාත්‍යවරයාගේ මේ කාර්ය මණ්ඩල සාමාජිකයා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවත් ඔහු අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් බවටත් වන ව්‍යාජ අතිශෝක්තීන් එකතු කරමින්ය. 

ඒ හොද්ද ට තවත් ඇතැමුන් ලුණු ඇඹුල්ද එක්කර තිබිණ. විශේෂයෙන්ම මහින්දගේ ඉඳුල්වලින් විප්ලවීය නිවාස හැදු උදවිය උත්සහ ගන්නෙ මේ පුවතින් සියලු කැතකුනු වසා ගන්නටය. 

එහෙත් අප මේ දක්වන කරුණු එසේ නොවේය. ඊට පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ B වාර්තාවද සාක්ෂි දරයි. 

එසේම මේ වන විට මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමට වරද පිළිගත් තැනැත්තා බන්ධනාගාර ගත කර ඇත. අනෙක් තිදෙනා අධිකරණයෙන් ඇප ලබා පිටව ගොස් ඇත. 

මංගල ඇමති කියා ගෝලයා සහ ඔහුගේ හිතවතාට බුරුලක් ලැබීද නැත. 

එසේම මෙහෙයුම් සිදුකල නිලධාරීන්ට, විශේෂ කාර්ය බලකායට හෝ පොලිසියට බලපෑම් කෙරුණේද නැත. 

ජනමාධ්‍ය ඇමති වුවාට එම පුවතට මාධ්‍ය වාරණ නිකුත්වුයේද නැත. තමන්ගේ එකා කියා හෝදන්න ගියේද නැත. 

කොහොමටත් නීතියට පිටින් කරන තක්කඩි වැඩ වලට අදාළව අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය දන්නා නිසා හිටපු මහජන සම්බන්ධතා නිලධාරියා පවා අමාත්‍යවරයා අමතා නැත. 

ඒ පසුබිමේ අමාත්‍යවරයා මේ ගැන දැනුවත්ව ඇත්තේ මෙහෙයුම අවසන් කර ඔවුන් ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත්වරයාටද ඉදිරිපත් කිරීමෙන් පසුවය.


ලතීෆ් ව ධුරයෙන් ඉවත් කිරීමට යාම ?

එහෙත් මේ වන විට ඇතැම් පාර්ශව විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් ව එම ධුරයෙන් ඉවත් කිරීමට යාම සමඟ මේ සිදුවීම ගැට ගසන ලජ්ජා නැති කටයුත්තකට අර අඳිමින් සිටින බවක් පෙනෙන්නට ඇත. 

ඒ වෙනුවෙන් මහන්සි වෙන්නේ කවුද මෙන්ම එම කටයුත්ත වෙනුවෙන් සමාජ ජාල කොන්ත්‍රාත් ගන්නා උදවිය ගැනද අප දැනුවත්ය.

එහෙත් අප ඒ අය කවුද කියා මෙතන සඳහන් කර නොමිලේ ප්‍රචාරය දෙන්නේ නැත. එහෙත් පාඨකයන්ට ඒ ගැන කෙටි සටහනක් තැබිය යුතුව ඇත. 

ලතීෆ් මහතාව එම ධුරයෙන් ඉවත් කරන්නට යෙදීම ගැන මාධ්‍ය වාර්තා අගෝස්තු 01 වනදා සිටය. කාල තරන යන්ත්‍ර නොමැති බැවින් මේ සිදුවීම්වල පුර්ව අපර සන්ධි ගලපන්න යන කෙරුමන්ට වන්නේ ඇදගෙන නාන්නටය. 

එනිසා රජයේ වුවත් මහින්දගේ සමාජ ජාලා බැලයන්ට නොමිලේ නෑමේ සතුට අප අහිමි කරන්නේ නැත. එසේම කොකේන් ජාවාරම ගැනද මේ දින වල අප වගකිවයුතු මාධ්‍යක් ලෙස ගවේෂණය කරමින් සිටින බවත් ඒ පිළිබඳ තොරතුරු තහවුරු කරගත් වහා එය හෙළි කරන බවද මතක් කළ යුතුව ඇත. 

එතෙක් ස්වාධීන පොලිස් කොමිසමේ නිර්දේශය මත විශේෂ කාර්ය බලකායේ අණදෙන්නා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් පත්වුයේ 2016 වසරේ අගෝස්තු 09 හෝ ඊට ආසන්න දිනයකදී බව අප සිහිපත් කරන්නෙමු. නමුත් එම දැනුම්දීම ඒ මොහොතේ ක්‍රියාත්මක වුයේ නැත. 

එනිසා 2016 අගෝස්තු 09 වනදා සිට බලපැවැත්වෙන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් වෙත නිල පත්වීමේ ලිපිය ලැබෙන්නේ එම වසරේ අගෝස්තු 18 වනදාය. ඔහු එහි නිල රාජකාරියට ගියේ 19 වනදාය. 


මිට මැදිහත්වූ රජයේ ප්‍රබලයා ?

ඒවා එසේ සිදුවුයේ ඇයිද යන්න ගැන ද තොරතුරු අප සතුව ඇති නමුත් මේ ඊට අවස්ථාව නොවේය. එසේම මේ සම්බන්ධ පුවතෙන් ගොඩයන්න මාන බැලූ ප්‍රබලයා ගැනද අපට වාර්තා වී ඇත. 

කෙසේ වුවත් අමාත්‍යවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරියා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. මංගල අමාත්‍යවරයා ද දැනුවත්ව හෝ නොදැනුවත්ව වැරදි කළ විට ඊට අදාළ තමන්ගේ ප්‍රතිචාරය දක්වා ඇත. 

එහෙයින් මේ සම්බන්ධව මැදිහත්වූ රජයේ ප්‍රබලයා ගැන සඳහන් කිරීම වැදගත් නැත. මන්ද ඔහුගේ මැදිහත්වීම හේතුවෙන් හිටපු නිලධාරියාට පාඩමක් සේම මංගල අමාත්‍යවරයාගේ ස්වභාවයද හෙළිවූ නිසාත් එය අනෙක් අයටද පාඩමක් වන වැදගත් වැඩක් බව අපගේ තක්සේරුව වන නිසාය. 

එහෙයින් දම්වැල් කොච්චර ශක්තිමත්ව පෙනුනත් එය එහි දුර්වල පුරුක මත රඳන බව තේරුම් ගැනීම කාට කාටත් වැදගත්ය. “මංගල ඇමතිගේ කාර්යමණ්ඩල සාමාජිකයාගේ මාධ්‍ය වල නොපළ මේ අතුරු කතාව” අප ඔබට ගෙන ආවේ ඒ වෙනුවෙන්ය. 

(සත්හඬ - කාශ්‍යප කොතලාවල)
« PREV
NEXT »