BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, January 09, 2018

මොරගහකන්ද ජලාශය මගින් රට සමෘද්ධිමත් වීමේ පදනම ගොඩනැඟෙනවා - ජනපති

මොරගහකන්ද ජලාශය රටේ අනාගතය සමෘද්ධිමත් වීමේ පදනම බවත් එමගින් ජාතික ආර්ථිකයට ලැබෙන දායකත්aවය අතිශය ප්‍රබල එකක්‌ වනු ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (08 වැනිදා) පොල්ගොල්ලේදී ප්‍රකාශ කළේය.

මොරගහකන්ද ජලාශය ජනතා අයිතියට පත් කරමින් "සාළිස්‌ වසරක මහවැලි අසිරිය" නමින් පොල්ගොල්ලේදී පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා එසේ කීය. 

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද කීය.

මේ රටේ ජාතික ආර්ථිකයට මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ තවත් ඓතිහාසික කාර්යයක්‌ ඉටු වුණු මේ මොහොතේදී මා ඉතා සතුටට පත් වෙනවා.

මහවැලි ව්‍යාපාරය පිළිබඳව කතා කිරීම ආරම්භ කළේ 1930 දශකයේ පටන්. රාජ්‍ය මන්ත්‍රණ සභාවේත් ඒ පිළිබඳව කතා වී තිබෙනවා. මහවැලි සංවර්ධන ව්‍යාපාරය පිළිබඳව ශක්‍යතා අධ්‍යයන 1954 දී ආරම්භ වනවා.

මොරගහකන්ද ව්‍යාපාරය පිළිබඳව ශක්‍යතා අධ්‍යයන 3 ක්‌ සිදු වී තිබෙනවා. ඇතැම් විට සැලසුම්ද සකස්‌ කර තිබෙනවා. 1970 ඩඩ්ලි සේනානායක මහතාගේ කාලයේදීත් පොල්ගොල්ල වේල්ලෙ වැඩ කටයුතු ආරම්භ කිරීමට මුල්ගල් තබා තිබෙනවා. 

රජරටට පොල්ගොල්ලෙන් ජලය හැරවීමේ 1976 ජනවාරි 08 පැවැති උත්සවයට මා ද සහභාගි වුණා. එදා මෙදා කාලය තුළ මහවැලි ව්‍යාපාරය මේ රටේ ප්‍රමුඛතම බහු කාර්ය යෝජනා වැඩසටහන බවට පත් වුණා.

බණ්‌ඩාරනායක මැතිනියගේ යුගයේදී සෝවියට්‌ ඉංජිනේරුවරුන් වසර 30 කින් මේ මහවැලි ව්‍යාපාරය නිම කිරීමට සැලසුම් සකස්‌ කළා. ඒත් ගාමිණී දිසානායක මැතිතුමා වසර 5 කින් එම කර්තව්‍යය නිම කිරීමට සැලසුම් සකස්‌ කිරීම සුවිශේෂියි. එතුමා කොත්මලේ, වික්‌ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ, මාදුරුඔය ජලාශ ඉදි කළා.

ඒත් මොරගහකන්ද ප්‍රමාද වුණා. දේශපාලකයන්ගේaaa මුවින් මොරගහකන්ද කතාව ගෙවී ගිය දශක කිහිපයේදීම කතාවට ලක්‌ වුණා. ඒත් ඉන් විදුලි අපේක්‌ෂාව අඩු නිසා එය ප්‍රමාද වෙන්න පටන් ගත්තා. සියලු දේශපාලන පක්‌ෂවල නායකයන් මොරගහකන්ද ගැන කතා කළා. 94 දී චන්ද්‍රිකා මැතිනිය මොරගහකන්ද හදන බවට කිව්වා. ඒත් ඒ කාලයේ ඒ වෙනුවෙන් යමක්‌ සිදු වුණේ නැහැ.

2007 ජනවාරි 25 වැනිදා හිටපු ජනාධිපතිවරයා මොරගහකන්දට මුල්ගල තැබුවා. බොන්න වතුර නැතිව, කුඹුරට වතුර නැතිව ජනතාව හඬන කතාව එදා මට කිව්වා.

2007 මොරගහකන්ද හදන්න මම ජපාන සහ චීන සමාගම් සමඟ කතා කළා. ඒත් එම යෝජනා එකල රජය ප්‍රතික්‌ෂේප කළා. අවුරුදු 16 ක්‌ ඇමැතිවරයකු ලෙස ඉංජිනේරුවරුන් සමග වැඩ කළ මට මොරගහකන්ද නිසා එදා හදිසියේම දොස්‌තර මහත්වරුන් භාර දුන්නා. මහවැලි ඇමැතිකමෙන් සෞඛ්‍ය ඇමැතිකමට මාරු කළා. 

අද අපි කළ මෙම කාර්ය නිම කිරීමට තිබුණේ මීට වසර පහකට පමණ පෙරාතුවයි. එහෙම සිදු නොවීම කනගාටුදායකයි.

මේ රටේ දේශපාලන සංස්‌කෘතියේ ඇති අවභාවිතාවන් නිසා ජනතාවට වසර පහක්‌ වන්දි ගෙවන්න සිදු වුණා. මේ ව්‍යාපෘතිය අවසන් වනවිට මොරගහකන්ද - කළුගඟ, ඇළහැර, මිණිපේ ආදී ව්‍යාපෘතියන්ද සක්‍රීය වනු ඇත.

මොරගහකන්ද ජලාශයට වතුර ගේන්න පොළව යටින් උමං හදන්න සිදු වුණා. මේ යෝධ ව්‍යාපෘතිය තුළ රටේ විශාල ආර්ථික වෙනසක්‌ සිදු වෙනවා. ගොවි ආර්ථිකයට වගේම ජාතික ආර්ථිකයටත් ප්‍රබල ශක්‌තියක්‌ වෙනවා.

පෙර රජ දවස සහලින් ස්‌වයංපෝෂිත වූ යුගයක්‌ ඔබ දන්නවා. මේ ව්‍යාපෘතිය එම සශ්‍රීකත්වය ලබා ගැනීමට පිටිවහලක්‌ වේවි. ධීවර කර්මාන්තයත්a මෙමගින් දියුණු වෙනවා.

මොරගහකන්ද වගේම මහවැලි ව්‍යාපාරය රටේ අනාගතය සමෘද්ධිමත් වීමේ මූලික පදනමයි. රටේ අවුරුදු දෙකක්‌ නියං තත්ත්වයක්‌ පවතිනවා. වර්ෂාව බලාපොරොත්තුවෙන් අපි පසු වෙනවා. එසේ ප්‍රාර්ථනා කරමින් ස්‌වභාව ධර්මයාගේ ආශිර්වාදය අපට හිමි වෙයි කියා අපි සිතනවා. 

මොරගහකන්දෙන් හෙක්‌ටයාර 82000 කට ජලය ලැබෙනවා. කෘෂි බිම් තෙත් කරන්න එම ජලයට පුළුවන්. රටේ විවිධ අංශවලට මොරගහකන්ද ව්‍යාපෘතිය මගින් ලැබෙන දායකත්වය අතිමහත්.

වකුගඩු ප්‍රශ්නයට විසඳුමක්‌ ලෙසද, සෞඛ්‍ය සම්පන්න ජනතාවක්‌ බිහි කිරීමේ ශේ්‍රෂ්ඨ අරමුණ ඉටු කර ගැනීම සඳහාද මෙම ව්‍යාපෘතිය ඉවහල් වෙනවා.

ගහකොළ, සතා සිවුපාවා, ඇළ දොළ ආරක්‌ෂා කිරීම අපි අද කළ යුතු ප්‍රමුඛම කාර්යයක්‌. පරිසරය තුළ ඇති වෙන වෙනස්‌කම් නිසා මිනිසා මෙන්ම තවත් බොහෝ ජීවීන් අපහසුතාවන්ට පත් වී තිබෙනවා.

මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම තුළ ආර්ථික, කාර්මික විප්ලවයකට ජීවය ලබා දෙනවා. 1976 - 07 - 08 වැනි දින රජරට ප්‍රදේශයට මැතිනිය ජලය හරවන විට ගායනා කළ ගීතයට විශාල ජීවයක්‌ දුන්නේ පණ්‌ඩිත් අමරදේවයන් බව අපි මතක්‌ කරනවා. මහවැලි ව්‍යාපාරය පවත්වා ගෙන යන්නට එම ගීතයෙන් විශාල ශක්‌තියක්‌ ලැබුණා. අමරසිරි පීරිස්‌ මහතාද අද සිට එම කාර්යයට අත දුන්නා. 

මහවැලි ව්‍යාපාරය පිළිබඳව 30, 40, 50 දශකයේ කතා කළ විද්වතුන්, ඉංජිනේරුවන්, මෙන්ම එදා පටන් අද දක්‌වා ඊට දහඩිය හෙළුE කම්කරුවා දක්‌වා අපේ ගෞරවය ප්‍රණාමය මෙහිදී හිමි විය යුතුයි.

මොරගහකන්ද ජලාශයට නමක්‌ යොදමු යෑයි ඇතැමුන් මට කිව්වා. එක එක නම් දුන්නා. ඒත් මේ රටේ ඉංජිනේරු සේවයට විශිෂ්ට සේවයක්‌ කළ, මොරගහකන්ද ව්‍යාපාරයට මට විශාල මගපෙන්වීමක්‌ ලබා දුන් ආචාර්ය ඒ. එන්. එස්‌. කුලසිංහ මැතිතුමාගේ නමින් මොරගහකන්ද ජලාශය නම් කළ යුතු යෑයි මා කියනවා.

ඒa. එන්. එස්‌. කුලසිංහ මහතා සිංගප්පූරුව ගොඩගැනීමටත් විශාල දායකත්වයක්‌ ලබා දුන්නා. කුලසිංහ මහතා මේ රටේ වැව්, අමුණු බොහොමයක්‌ ඉදිකිරීම පිටුපස සිටි ප්‍රබල සාධකය බවට පත් වුණා. ඔහු වෙනුවෙන් මේ කළ උපහාරය රටේ සිටි සහ සිටින සියලු ඉංජිනේරුවන්ට උපහාරයක්‌ වනු ඇති.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා - මහවැලි යෝජනාවේ ඇතුළත් වී තිබූ අන්තිම ජලාශයත් අද ජනපති අතින් ජනතා අයිතියට පත් වුණා. ඩඩ්ලි සේනානායක, සිරිමාවෝ බණ්‌ඩාරනායක ආදී නායකයන් මෙහිදී අපි සිහිපත් කළ යුතුයි. උඩුවිට ජලාශය මෙහි මූලික ආරම්භයක්‌ වුණා. මහවැලි ව්‍යාපෘතිය යටතේ වික්‌ටෝරියා, කොත්මලේ, රන්දෙනිගල, උඩුවිටිය ජලාශ ආරම්භ වුණා. යුද්දෙත් එක්‌ක මොරගහකන්ද නැවතුණා. අනෙක්‌ ජලාශ සියල්ලම හදන්න ගිය කාලය මොරගහකන්ද පටන් ගන්න ගත වුණා.

මොරගහකන්ද ජලාශය වෙනුවෙන් මෛත්‍රිපාල සිරිසේන මහතාට විශාල කැපකිරීමක්‌ සිදු කරන්න වුණා. ගොඩක්‌ ඒ වෙනුවෙන් මහන්සි වෙන්න සිදු වුණා. නොයෙක්‌ බාධා ජයගෙන අද එතුමා මේ කර්තව්‍යය ඉටු කළා.

අලුත් ජල ශිෂ්ටාචාරයක්‌ ලෙස මෙම මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය හඳුන්වන්න පුළුවන්. රජ කාලේ ජලාශවලට වඩා මෙය විශාලයි. ජලාශ පිරවීමට දේශගුණ විපර්යාස බලපානවා. ඒ සඳහා අපි අවධානය යොමු කළ යුතුයි.

රජරට ගොවි ආර්ථිකය මෙමගින් තවත් ශක්‌තිමත් වෙනවා. ආදායම් මාර්ග වැඩි වෙනවා. කෘෂි නොවන ආර්ථිකය අපි මෙහිදී ශක්‌තිමත් කළ යුතුයි.

ත්‍රිකුණාමලය කර්මාන්ත මධ්‍යස්‌ථානයක්‌ ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. කෘෂිකර්මාන්තය සඳහා ද නවීන තාක්‍ෂණය ලබා දෙන්න අපි කටයුතු කරනවා.

මහවැලිය පටන් ගනිද්දි ප්‍රධාන දේශපාලන පක්‍ෂ වාද භේද කර ගනිමිනුයි සිටියේ. 

ඒත් අද ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක එකට එකතු වී කටයුතු කරනවා.

ජනාධිපතිවරයා මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගන්න ගත් උත්සාහය අතිමහත්. අපි එය අගය කළ යුතුයි. ඉදිරියේදී අපිට කාලගුණයත් මීට වඩා අනුකම්පා කරනු ඇතැයි සිතනවා.

ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර මහතා - මොරගහකන්ද ජලාශය අද කුලසිංහ ජලාශය ලෙස නම් කෙරුණා. ඒත් අපි බොහෝ දෙනා බලාපොරොත්තු වුණේ මෛත්‍රි සමුද්‍රය, මෛත්‍රි ජලාශය ලෙස මෙය නම් කරනු ඇති බවටයි. ජනාධිපතිවරයා එසේ කළේ නැහැ. ඔහු දුර දක්‌නා නුවණින් යුතුව කටයුතු කරන නායකයෙක්‌.

රුපියල් මිලියන 38000 ක්‌ ගොවි ජනතාවට අපි මේ වසරේ නියං සහන ලබා දුන්නා. එවැනි සහන ලබා දෙන අතර මෙවැනි යෝධ ව්‍යාපෘති ඇරඹීම සතුටට කරුණක්‌.

රටට ණය නැති රාජ්‍ය නායකයකු ලෙස මෛත්‍රිපාල ජනාධිපතිවරයා අමරණීය වෙනවා. එතුමා මේ කළ මෙහෙවර සද්කාර්යයක්‌, පුණ්‍යකර්මයක්‌. 

මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතා - රජරටට රටවැසියන්ට ආදරේ කරන ජනනායකයකු රටේ ජනාධිපති ධුරයට පත් වීම නිසා මහවැලි ජලාශ යෝජනා ක්‍රමය අද සාර්ථකව සමාප්ත කළා. මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය නිම කර රටවැසියන් වෙත ජනාධිපතිවරයා ලබා දුන්නේ ඉමහත් දායාදයක්‌.

1976 සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය පොල්ගොල්ල ස්‌ථානයේදී මෙම මහත් ක්‍රියාදාමයට මුල්ගල තැබුවා. ඉන් හරියටම වසර 42 කට පසුව වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහවැලි ජලාශ පහට අදාළ කටයුතු සාර්ථකව නිමා කර සලකුණු තැබුවා.

මොරගහකන්ද ජලාශය නිම වීම වෙනුවෙන් සකස්‌ කළ විශේෂ සමරු ගීතයක්‌ ද මෙම උත්සවයේදී එළිදැක්‌වූ අතර අමරසිරි පීරිස්‌ මහතා විසින් එම ගීතය ගායනා කරන ලදී.

මහවැලි මහා වංශයේ සමාරම්භය සහ සමාප්තිය සමරමින් ඉදිකර තිබූ විශේෂ ස්‌මාරකය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් මෙහිදී විවෘත කෙරිණි.

මහවැලි ජලාශ ඉදිකිරීම් නිමාවීම නිමිත්තෙන් පැවැති පාපැදි තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

මහා සංඝරත්නය, අන්‍යාගමික නායකයන්, ඇමැතිවරු, තානාපතිවරු, මහජනතාව ඇතුළු අති විශාල පිරිසක්‌ මෙම අවස්‌ථාවට සහභාගි වී සිටියහ.

කුෂාන් සුබසිංහ පොල්ගොල්ලේ සිට
« PREV
NEXT »