BREAKING NEWS
latest

728x90

468x60

Friday, August 04, 2017

ඇලෝෂියස්‌ගේ දුරකථනයේ ඇපල් ගිණුමේ දත්ත මැකීම- වෙනස්‌ කිරීම තහනම්

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ අධ්‍යක්‌ෂවරයකු සහ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන අර්ජුන් ඇලෝෂියස්‌ගේ ජංගම දුරකථනයට සම්බන්ධ ඇපල් ගිණුමේ දත්ත මකාදැමීම හෝ වෙනස්‌ කිරීම තහනම් කරමින් ජනාධිපති බැඳුම්කර කොමිසම ඊයේ (03 දා) නියෝගයක්‌ නිකුත් කළේය.

මේ අනුව අර්ජුන් ඇලෝෂියස්‌ මහතාට හෝ ඔහු වෙනුවෙන් වෙනත් අයකුට හෝ එම ඇපල් ගිණුමේ දත්ත මකාදැමීම හෝ අවසරයකින් තොරව වෙනස්‌ කිරීම තහනම් වේ. රජයේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහත කොමිසමෙන් කළ ඉල්ලීමක්‌ සලකා බලමින් කොමිසම මේ නියෝගය නිකුත් කළේය.

එසේම අර්ජුන් ඇලෝෂියස්‌ මහතාගේ බිරිඳගේ සිsංගප්පූරු දුරකථන අංකයක්‌ සහිත ජංගම දුරකථනය භාවිත කරමින් එම ඇපල් ගිණුමට ප්‍රවේශවීමට ඇලෝෂියස්‌ මහතා උත්සාහ දරා ඇති බවත් ඒ අනුව එහි දත්ත මකාදැමීමේ අවදානමක්‌ ඇති බැවින් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ද මේ ඇපල් ගිණුමට ප්‍රවේශ වීම වළක්‌වාලන නියෝගයක්‌ නිකුත් කරන්නැයි කොමිසමෙන් ඉල්ලීමක්‌ කර තිබිණි.

ඒ අනුව කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා විසින් ඊයේ මෙම නියෝගය නිකුත් කරන ලදී.
ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා කියා සිටියේ තමා ඉල්ලා සිටින නියෝග කිරීමට කොමිසමට ආවේණික බලයක්‌ ඇති බවයි.

එම නියෝගය ඉල්ලා සිටීමට හේතුව කොමිසම අගය කරන බවත් එම දත්ත මකා දැමුවොත් හෝ වෙනස්‌ කළහොත් කොමිසමේ පරීක්‌ෂණ පමාවීම හෝ පරීක්‌ෂණවලට බාධා විය හැකි බවත් කොමිසම නිකුත් කළ නියෝගයේ සඳහන් වේ. එහි මෙසේ ද සඳහන් වේ.

ඉල්ලීමට හේතුව අපි හොඳාකාරවම දනිමු. නමුත් කොමිසම කටයුතු කළ යුත්තේ කොමිෂන් සභා පනතේ රෙගුලාසිවලට අනුකූලවයි.

ජංගම දුරකථනය සහ ඊට සම්බන්ධ ඇපල් ගිණුම අර්ජුන් ඇලෝෂියස්‌ මහතාට අයත් පුද්ගලික දේපළකි. එම දේපළවලට පිවිසීමට ඔහුට ඇති අයිතිය තහනම් කිරීමට කොමිසම පියවර ගන්නේa නැත. එනමුත් ඔහුගේ ජංගම දුරකථනය හා ඇපල් ගිණුමේ දත්ත මකාදැමීමට හෝ වෙනස්‌ කිරීමට කොමිසම ඉඩ තබන්නේ නැත.

ඇලෝෂියස්‌ මහතාට අයත් දුරකථනය නිසියාකාරව කොමිසමට භාරදී තිබේ. එය කොමිසම භාරයේ සුරක්‌ෂිතව තිබෙන අතර එහි දත්ත මකාදැමීම හෝ වෙනස්‌ කිරීම වළක්‌වන නියෝග පැනවීමට කොමිසමට බලය ඇත.

කොමිසමට ඉදිරිපත් කර ඇති ලියවිලි සහ දත්ත වෙනස්‌ කිරීම අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි.

එවැනි ක්‍රියා සිදුකිරීම හෝ ඒවාට අනුබල දීමෙන් වළකින ලෙස අර්ජුන් ඇලෝෂියස්‌ මහතාට තරයේ අවවාද කරන අතර අවවාදය නොතකා එවැනි වැරැදි කළහොත් එහි ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවන බවත් සාපරාධී නීතිය යටතේ ඔහුට එරෙහිව ක්‍රියාකරන බවත් ඔහුට දන්වා සිටිමු.

අර්ජුන් ඇලෝෂියස්‌ මහතා මේ සම්බන්ධයෙන් නිසි උපදෙස්‌ දීම සඳහා මෙම නියෝගයේ පිටපතක්‌ ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයාට ලබාදෙන ලෙස ද කොමිසමේ ලේකම්වරයාට නියෝග කරමු.
« PREV
NEXT »