BREAKING NEWS
latest

728x90

468x60

Thursday, September 28, 2017

රෝහින්ග්‍යා සරණාගතයන්ට පහරදීම දැඩි ලෙස හෙලා දකිනවා

එක්සත් ජාතීන්ගේ රැකවරණය යටතේ සිටි මියන්මාර රෝහින්ග්‍යා සරණාගතයන් පිරිසකට චීවරධාරීන් පිරිසක් පහරදීම තරයේ හෙලා දකින බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

අහිංසක සරණාගතයන්ට පහරදීම ඉතා පහත් ක්‍රියාවක් බව පෙන්වාදෙන ඒ මහතා මෙම පහරදීම කළ පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද ඉල්ලීමක් කරයි.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කරන ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි.

පහරදීම ලාංකීය බෞද්ධයෙක් ලෙස තරයේ හෙළා දකිනවා. බෞද්ධයන් ලෙස කුඩා කළ සිට අපිට උගන්වන්නේ සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා. නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලයි. සිංහල සත්ත්වයන්ට නිරෝගී වෙත්වා, බෞද්ධ සත්ත්වයන්ට නිරෝගී වෙත්වා කියන්න අපිට උගන්වලා නැහැ. සියලු සත්ත්වයන් වෙනුවෙන් අනුකම්පාව තිබෙන ආගමක් තමයි බෞද්ධ ආගම. ධර්මයක් තමයි බෞද්ධ ධර්මය.

නමුත් මේ සියල්ල කෙලෙසමින් එක්සත් ජාතීන්ගේ රැකවරණය යටතේ පසුගිය මාස කිහිපය තුළ තාවකාලිකව ලංකාව තුළ රැදීසිටින මියන්මාර අහිංසක සරණාගතයන්ට පහරදීම ඉතාම පහත් ක්‍රියාවක් ලෙස අපි දකින්න ඕන. විශේෂයෙන්ම ජාත්‍යන්තර නීතිවලට අනුකූලව යම් අයකු සරණාගතයකු ලෙස රටට ඇතුළු වෙනවා නම් ඒ අය තාවකාලිකව රැක බලාගෙන ඒ අයට සුදුසු තැනක් ලැබුණාම එහි පදිංචි කිරීම සාමාන්‍ය සිරිතක්. ඇත්ත වශයෙන්ම රෝහින්ග්‍ය සරණාගතයන් ලංකාවට ආපු පළමු අවස්ථාව මෙය නොවේ.

2008 වසරේ මාර්තු මාසයේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙවැනිම සරණාගතයන් පිරිසක් මුහුද මැද අසරණ වූ පසු ඒ අයගේ ජීවිත බේරාගෙන කාලයක් එක්සත් ජාතීන්ගේ රැකවරණය යටතේ ලංකාවේ මේ ආකාරයටම තබාගෙන පසුව 2012 වර්ෂය වනවිට ඒ අය ඇමෙරිකා එක්සත් ජනපදයේ සරණාගතයන් ලෙස පිළිගත් පසු ඒ රටවල පදිංචියට ගියා. ඒ වගේම 2013 වසරේ පෙබරවාරි මාසයේ ද මේ ආකාරයටම මියන්මාරයේ සිට පැමිණි සරණාගතයින් 32 දෙනකුට ශ්‍රී ලංකාව තුළ රැකවරණය දුන්නා.

ඒ අයටත් 2014 සහ 2015 වර්ෂවල අමෙරිකාව හා කැනඩාව යන රටවලට යන්න අවස්ථාව ලැබුණා. මේ ආකාරයටම මෙම සරණාගතයන්ද පසුගිය අප්‍රේල් මාසයේ 30 දා මිරිහාන මධ්‍යස්ථානයට ගෙනැවිත් ඒ අය ද වෙනත් රටවලට යැවීම සඳහා කටයුතු කරගෙන යන මොහොතක චීවරධාරී රස්තියාදුකාරයන් පැමිණ මුළු බෞද්ධ ආගමටම ජාත්‍යන්තර වශයෙන් කළ හැකි විශාලම පහරදීම කළා. ලෝකයේ තිබෙන ඉතාමත් නිහතමානී, අහිංසක ආගමක්, ධර්මයක් ලෙස සලකන බෞදධයන් ම්ලේච්ඡ මිනීමරුවන්, රස්තියාදුකාරයන් ලෙස දැකගැනීමට සිදුවීම සමස්ත බෞද්ධ ආගමටම නිග්‍රහයක්.

අපි සියලු දෙනාම මීට විරුද්ධ වියයුතු වෙනවා. එපමණක් ද නොව එක්සත් ජාතීන්ගේ රැකවරණය යටතේ සිටින මේ සරණාගතයන්ට පහරදුන් අයට නීතිය වහාම ක්‍රියාත්මක කරන්න කියා මම ඉල්ලා සිටිනවා යනුවෙන් පැවැසීය.
« PREV
NEXT »