BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, September 26, 2017

රවි වගේ හොරුන් එජාපයෙන් නෙරපිය යුතුයි - ජෝශප් මයිකල් පෙරේරා

එක්සත් ජාතික පක්ෂය තුළ සිටින යහපාලන ආණ්ඩුවට අභියෝගයක් වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මන්ත්‍රිවරයා ඇතුළු පක්ෂයේ සිටින හොරුන් පක්ෂයෙන් නෙරපා හැරිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ ජා -ඇළ ආසන සංවිධායක හිටපු කතානායක ජෝශප් මයිකල් පෙරේරා මහතා පවසයි.


ඊයේ (25දා) ජා - ඇළ, තුඩැල්ල පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී පළාත් පාලන අපේක්ෂකයන් හා මාධ්‍යවේදීන් දැනුවත් කරමින් ජෝශප් මයිකල් පෙරේරා මහතා එලෙස ප්‍රකාශ කර සිටියේය. වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ ජෝශප් මයිකල් පෙරේරා මහතා

"ජා - ඇළ වැලිගම්පිටිය ගුරුගේ උත්සව ශාලාවේදී ජාතික යොවුන් පෙරමුණේ රැස්වීමකට මම සහභාගි වුණා. ජා - ඇළ ආසනයේදී සිදුවන අපේ පක්ෂයේ කටයුතුවලදී මම දැනුවත්ව ඒ දේවල් සිදුවිය යුතුයි. එම රැස්වීමේදී මට කතා කරන්න අවස්ථාවක් නොදී සභාවේ කටයුතු නිමා කරන්න උත්සාහ ගනිද්දී මම එයට විරෝධය දැක්වූවා. පසුව මම වේදිකාවට නැඟ කතා කරන්න උත්සාහ කරන විට කාවින්ද මන්ත්‍රිවරයා මයික්‍රෆෝනය ක්‍රියා විරහිත කරන්න කටයුතු කළා. ඊට පස්සේ එතැන ඇති වූ තත්ත්වයේදී පිරිසක් හූ කියනවා ඇහුණා. ජා - ඇළ මට හූ කියන්න කවුරුත් නැති නිසා ඒ කවුද කියලා හොයා බැලින්නම් දැන ගන්න ලැබුණේ රවි කරුණානායක මන්ත්‍රිවරයා සමඟ සිරිකොත සිට ආ පිරිසක් බවයි. අනුන්ගේ ආසනවලට ඇවිල්ලා මේ වගේ දේවල් කරන එක වැරැදියි කියන එක කියන්න ඕනේ.


රවි කරුණානායක කියන්නේ වැරැද්දක් කරලා තම ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වෙන්න සිද්ධ වෙච්ච කෙනෙක්. හොරකමට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් දෙනවා කිව්වාට තාමත් අපේ පක්ෂයේ හොරු ඉන්නවා. මේ හොරු පන්නා දැමීමේ කටයුත්ත ජා - ඇළින් ආරම්භ කරන්න ඕනේ. ඒ සටන මුළු රටේමත් කෙරෙන්න ඕනේ.

රවි කරුණානායක කියන්නේ කවුද කියනවා නම් අපේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාව පන්නා දමන්න ඕනේ කියලා මුළු රටේම කැලැඹීමක් ඇති කරපු පුද්ගලයෙක්. පක්ෂය ඒ වෙලාවේ ලොකු අර්බුදයකටත් මැදි වුණා. මම මැදිහත් වෙලා තමයි පක්ෂ සම්මේලනයේදී කිව්වේ ලෝකය දිනන්න රනිලුත්, රට දිනන්න සජිතුත් අත්වැල් බැඳගත යුතුයි කියලා. රනිල් වික්‍රමසිංහ කියන්නේ දැවැන්ත දර්ශනයක් තියෙන ලොකු ඔළුවක්. එදා වගේම අදත් රවි කරුණානායකලා කරන්නේ නායකතුමාව අයින් කරන වැඩ. ඒ ගැන නායකතුමාට කියන්න මගෙත් යුතුකමක් තියෙනවා. මේ සම්මුතිවාදී ආණ්ඩුව හොඳයි. මේක තියෙන්න ඕනේ. මධ්‍යස්ථ ජනතාවට සාධාරණයක් ඉෂ්ට වෙන්න මේකේ ඉන්න හැම හොරාවම එළවිය යුතුයි. ඒ සටනේ දැන් අපි ඉන්නවා. ඒ වගේම රවි කරුණානායකට ඇමැතිකමෙන් අස් වුණාට පස්සේ ඒ වරප්‍රසාද පාවිච්චි කරන්න බෑ. ඒවත් අයින් කළ යුතුයි. සම්මුතිවාදී සාධාරණ ආණ්ඩුවක් ඒ දේවල් කළ යුතුයි.

« PREV
NEXT »