BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, October 18, 2017

ශ්‍රී ලංකාව ඊ ගනු-දෙනු හරහා සිව්වැනි කාර්මික විප්ලවයට ඇතුළත් විය යුතුයි


ඩිජිටල් වේදිකාව මත ගොඩනැ‍ඟෙන රාජ්‍යයක් නිර්මාණය කළ යුතුයි
- ඇමැති චම්පික රණවක

ගෙදර සිට රැකියා කළ හැකි ක්‍රමයක් ඉදිරියේදී ඇති වෙනවා
- ඇමැති දයා ගමගේ

සංකල්පීය වශයෙන් හොඳයි යථාර්ථයක් කරන්න පහසුකම් දෙන්න
- සුනිල් හඳුන්නෙත්ති

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ඔසවා තැබීමට ඊ ආර්ථිකයක් හරහා සැලසුම් සම්පාදනය කිරීමට කටයුතු කරන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (17) ප්‍රකාශ කළේය.

කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (17) රැස්විය. නිවේදන, ලිපි ලේඛන හා මහජන පෙත්සම් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සභා‍වේ කටයුතු ආරම්භ විය. ඉලෙක්ට්‍රොනික ගනුදෙනු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම ආරම්භ කෙරිණි.

මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා - මාස ගණනාවක් තිස්සේ මහ බැංකුව හා අනෙකුත් ආයතන සමඟ සාකච්ඡා කිරීමෙන් පසු මේ පනත ඉදිරිපත් කර තිබෙනවා. මේ පනත ඉදිරිපත් කිරීමෙන් පසු නවීන තාක්ෂණ යටතේ ගනුදෙනු ක්‍රියාවලියකට යොමු වෙනවා. හතරවැනි කාර්මික විප්ලවයේ වැදගත් අවශ්‍යතාවක් තමයි ඩිජිටල් ආණ්ඩුකරණය. එහි මූලික පියවරක් ලෙස ‍ඉලෙක්ට්‍රොනික ගනුදෙනු ක්‍රියාවලිය. එක්තරා කාලයක් තිබුණා මිනිසා පරිසරයෙන්ම සොයාගෙන වේල පිරිමහ ගත්ත.

ඉන්පසුව කෘෂි කාර්මික යුගය හා කාර්මික විප්ලයක් ඇතිවුණේ. කාර්මික කරණය මඟින් තාක්ෂණය ලබාගන්න මිනිසාට හැකිවුණා. හැටේ දශකයෙන් පසු දත්ත ගබඩා කිරීමට පරිගණකය ඇතිවීමත් සමඟ කාර්මික විප්ලයේ තුන්වන අදියර ආරම්භ වුණා. ඉන්පසුව චන්ද්‍රිකා තාක්ෂණය ආරම්භ වුණා. ඒ දෙකම එකතු වෙලා සන්නිවේදනය හා තොරතුරු ගබඩා කිරීමත් ඇති වී තිබෙනවා. නව කාර්මික විප්ලවයක උපත ඇතිවී ති‍බුණා. අද වන විට හතරවැනි කාර්මික විප්ලය ඇතිව තිබෙනවා.

සුහුරු ලෝකයක් ඇතිවී තිබෙනවා. මේ ලෝකයේ ඇති වී තිබෙන ව්‍යාපාර කරගෙන යන්නේ මේ ක්‍රමය හරහා. එකම හෝටලයක්වත් නැතිව ලොකුම හෝටල් ව්‍යපාරය කරගෙන යනවා. මේ ක්‍රමය හරහා එකම ටැක්සියක්වත් නැතිව ලොකුම ‍ටැක්සි සේවාව ක්‍රියාත්මක වෙනවා . එකම මාධ්‍යයක්වත් නැතිව සකර්බර්ගේ ෆේස්බුක් එකම විශාල මාධ්‍ය ජාලය බවට පත්වෙලා තිබෙනවා. නමුත් මෙහි දී බුද්ධියේ අවසානය කරා ලංවෙමින් තිබෙනවා. නමුත් අනාගතයේ දී විශාල පෙරළියක් මේ හරහා සිදුවෙනවා.

මේ හරහා පැරැණි රැකියා අතුරුදහන් වෙනවා. අලුත් රැකියා නිර්මාණය වෙනවා. වෛද්‍ය වෘත්තිය, නීතිවේදය, පාර්ලිමේන්තුව පැරැණි විදිහයට පත්වාගෙන යන්න බැහැ. ශීඝ්‍රයෙන් ප්‍රතිචාර දක්වන රාජ්‍ය යන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා නීතිය සම්පාදනය කළ යුතුයි. පෞද්ගලික අංශයමේ සිදු කරනවා. අපිට කාර්මික විප්ලවයේ යුග තුනම අපට අහිමි වුණා. වියට්නායම කොරියාව අපට පිටුපසින් සිට අද විශාල සාර්ථකත්වයක් ඇති කර ගත්තා. ඒ නිසා මේ හතරවැනි කාර්මික විප්ලවයටවත් අපි ඇතුළත් කළ යුතුයි. මේ තමයි ලංකාවට ඉතුරුවී තිබෙන එකම මාවත. නව තාක්ෂණික දෑ අපනයන කරන රටක් බවට පරිවර්තනය විය යුතුයි. ඩිජිටල් වේදිකාව මත ගොඩනැ‍ඟෙන රාජ්‍යයක් නිර්මාණය කළ යුතුයි.

නියෝජ්‍ය කාරක සභාසභාපති සෙල්වම් අඩෙක්කලනාදන් මහතා (දෙජාස) - මේ පනතට අප සහයෝගය ලබාදෙනවා.

ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ මහතා - අපේ රට දියුණු කරන්න අවශ්‍ය කරන්න තාක්ෂණය අවශ්‍යයි. අගමැතිතුමා ඒ නිසයි ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයක් ස්ථාපිත කළේ. ඉලෙක්ට්‍රොනික් ගනුදෙනු නීතිගත කරලා එයින් විශාල සාර්ථකත්වයක් ඇතිකිරීම ට හැකිවෙනවා. මේ හරහා විශාල රැකියා අවස්ථා බිහිකළ හැකියි. ගෙදරම සිට රැකියා කිරීමේ ක්‍රමයක් ඇති කළ හැකියි. ඉලෙක්ට්‍රොනික අත්සන් භාවිත කිරිමට අදාළ නීතිය සකස් කළ යුතුයි. ඉලෙක්ට්‍රොනික ක්‍රමයට මුදල් ගෙවීමේ දී විශාල කාර්යක්ෂමතාවයක් ඇති වෙනවා. මේ තාක්ෂණය හරහා වංචාකාරී වැඩ නැවැත්විය හැකියි. එය අපේ රටේ ඉදිරි ගමනට ඉතාම දායකත්වය දරයි.

පත්කළ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා (ජවිපෙ) - 2006 ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතට තවත් සංශෝධනක් එකතු වෙන්නේ. නමුත් මෙතන කතා කළ ඇමැතිවරු දෙන්නම කතා කළේ අලුතෙන්ම හඳුන්වාදෙන පනතක් හැටියටයි. ඒ නිසා ‍මේ නව සංශෝධන දෙක පිළිබඳ තවම පැහැදිළි කිරිමක් කළේ නැහැ. ඉලෙක්ට්‍රොනික ක්‍රියාවලියට අධිකරණ කටයුතු පොලිසියෙ කටයුතු නතු කරන්න ඕන. එයටත් ඉලෙක්ට්‍රොනික පහසුකම් ලබාදිමයි කළ යුත්තේ. මුළු රාජ්‍ය යන්ත්‍රණයම මේ ක්‍රමයට නතු විය යුතුයි.

නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙක්කලනාදන් මහතා මුලසුනට පැමිණියේය.

හඳුන්නෙත්ති මහතා - මා අසන්නේ අපට ශ්‍රී ලංකාව තුළ ඉලෙක්ට්‍රොනික ක්‍රමයට නතු කරන්නේ කොහොමද? ග්‍රාම නිලධාරීතුමාට කාර්යාලයක්වත් තවමත් ලබා දී නොමැති තත්ත්වයක මේ දේ ක්‍රියාත්මක කරන්නේ කෙසේද? රාජ්‍ය ආයතනයක ෆොටෝ කොපි මැෂින් එකක් ‍ නොමැති තැන් කොපමණ තිබේද? පනත සංකල්පීය වශයෙන් හොඳ එකක්. නමුත් යථාර්ථයක් බවට පත් කිරිමට යටිතල පහසුකම් ඇති කළ යුතුයි.

පත්කළ මන්ත්‍රී අශු මාරසිංහ මහතා (එජාප) - ඉලෙක්ට්‍රොනික් ගනුදෙනු හරහා වෙළඳපළ ජයගැනීමට හැකියාව තිබෙනවා වගේම නව ව්‍යවසායකයින්ට අවස්ථාව උදාවෙනවා. අන්තර්ජාතික ගිවිසුම්වල දී එක්සත් ජාතීන්ගේ සම්මුතියට අදාළවයි මේ සංශෝධන ගෙනඑනු ලබන්නේ. අපි ගනුදෙනු කරන ක්‍රමවේදය ඩිජිටල් කිරීම පමණයි මෙහි දී සිදු වෙන්නේ. ඉලෙක්ට්‍රොනික අත්සන මෙහි දී භාවිත කරන ආකාරය පිළිබඳ නීතිමය තත්ත්වය මෙහි දී පෙන්වා දී තිබෙනවා. එම අත්සන තහවුරු කරගන්නා ආකාරය පිළිබඳ නිරාකරණය කර ගත යුතුයි. බැංකුවට ගිහින් කළමනාකාරතුමා අපේ හැඳුනුම්පත දිහා බලල කරන දේමයි මෙහි දී සිදු වෙන්නේ. ජාතික ගෙවීම් වේදිකාව ආරම්භ කිරීමට කතිකාවක් ඇති වෙලා. අලුතෙන් ඇති‍වෙන නිෂ්පාදන හරහා රටට අලුත් ආර්ථිකයක් ඇති කිරීමට අපට හැකියාව තිබෙනවා.

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා - ඉලෙක්ට්‍රොනික ගනුදෙනු සම්බන්ධයෙන් තමයි මේ පනත ගෙන ආවේ. ඊ සේවාවන්වලින් අපිට ලෝකයේ 74 වැනි ස්ථානයත්, ඔන් ලයින් සේවාව හරහා ලෝකයේ 37 වැනි ස්ථානයක් අපි ලබාගෙන තිබෙනවා. මේවා සමහරු දන්නේ නැහැ. දැන් විසා ලබා දෙන්නේත් ඔන් ලයින් එකෙන්. ග්‍රාම සේවක මහතුන්ට මේසයක් පුටුවක් ඕනේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ අන්තර්ජාලය පමණයි. එතනට යාමටයි අපි මේ උත්සාය කරන්නේ. ‍

ඉලෙක්ට්‍රොනික ගනුදෙනු සඳහා අත්සන් නීතිමය වටිනාකමක් ලබාදෙනවා. දැන් ලෝකයේ ග්‍රොසරි ස්ටෝස් හදන්නේ නැහැ. ඔන් ලයින් ගිහින් ඕඩර් කළාම එය ගෙදරටම ගෙනවිත් දෙනවා. ඒ ක්‍රමයට ලෝකයේ හැඩ ගැසෙමින් තිබෙනවා. ඊ ගනුදෙනු හරහා හතරවැනි ‍කාර්මික විප්ලවයට අපි ඇතුළත් විය යුතුයි. උසස් පෙළ දරුවන් ලක්ෂ දෙකට මුලින්ම ටැබ් ලබාදෙනවා. ජවිපෙ කියනවා වගේ අපේ ලේකම්වරුන්ට ඊමේලයක් යවන්න බැරිද? ‍මේ අය අපේ ලේකම්වරුන්ට රජයේ නිලධාරීන් පහත් තත්ත්වයට දමා කතා කළේ. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ටීවටර් හරහා කියා තිබෙනවා කෝ තවම ටැබ් දුන්නේ නැහැ කියා. නමුත් අපි සෑම දෙයක්ම දැනුම ලබාගෙන කරන්න ඕන. ඒ කාලේ වගේ ලැප්ටොප් දෙන්න බැහැ. අද සියල්ල ටෙන්ඩර් පටිපාටියක් හරහා තමයි ලබාදෙන්නේ.

ඒ නිසා ටිකක් කල් යනවා. නමුත් අපි දුන්න පොරොන්දු සියල්ල ලබාදනෙවා. ග්‍රාමසේවක නිලධාරින් සියලුදෙනාටම ටැබ් ලබා දී තිබෙනවා. පවුල් සෞඛ්‍ය සේවිකාවන්ටත් ටැබ් ලබා දී තිබෙනවා. 2025 වන විට දැනුම කේන්ද්‍රස්ථානයක් වන ආර්ථිකයක් ගොඩනැ‍ඟීමට මේ ක්‍රමය සැලසුම් කළ යුතුයි. වඩාත්මව වැදගත් වන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු ක්‍රමය ආර්ථිකයට වඩාත් පිටුවහලක් වේවි.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා (එජනිස) - ඇමැතිතුමා අද ඩිජිටල් ගැන කතා කරන්නේ ටෙලිකොම් ගැන කතා කරන්න බැරි නිසයි. ටෙලිකොම් ආයතනය පාඩු පිටයි දුවන්නේ.

හරීන් ප්‍රනාන්දු මහතා - ටෙලිකොම් ආයතනය පාඩු ලබන්නේ නැහැ. බිලියන 6ක ලාබයක් තිබෙනවා.

නානායක්කාර මහතා - ව්‍යාපෘති අංශයේ අලාභය බිලියන36ක් වෙලා කියා වාර්තාවේ සඳහන් වෙනවා. එය දුරකතන ගාස්තුවලටත් බලපානවා. රෝස විප්ලවය වුණේත් ඊ උද්ඝෝෂණ හරහායි. අද ෆේස් බුක් හරහා රැස්වීම් කැඳවනවා. එයට වලංගුතාවක් තිබෙනවා. තාක්ෂණයෙන් හා උද්ඝෝෂණවලින් තමයි ලෝකය වෙනස් වෙන්නේ.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සන්දිප් සමරසිංහ මහතා (එජාප) - අද ස්මාර්ට් ලෝකයක් නිර්මාණය වෙමින් තිබෙනවා. ලෝකය සමඟ ඉදිරියයට යාමට අපටත් ඉලෙක්ට්‍රොනික ගනුදෙනු හරහා විද්‍යුත් ක්‍රමයට රාජ්‍ය හා පෞද්ගලික අංශය සකස් කළ යුතුයි. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සම්මුතියට අපි අත්සන් කර තිබෙනවා. එය අපි ඉටු කර ගත යුතුයි. පාසලෙන් මේ ක්‍රමය දැනටමත් ආරම්භ කර තිබෙනවා. ටැබ් ලබාදීම ආරම්භ කර තිබෙනවා. ඊ අධ්‍යාපනයක් ලබාදීමෙන් දැනුම පදනම් කරගත් ආර්ථිකයක් ඇති කිරීමට අපට හැකියාව තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා මුලසුනට පැමිණියේය.

මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා - මෙම ඊ නීතිය සම්බන්ධයෙන් පසුපසින් සිටියත් මේ ක්‍රියාවලියන් අපේ රටේ කරගෙන යනවා. ඉලෙක්ට්‍රොනික ගනුදෙනුවලට නෛතික ත්ත්වයක් ඇතිකිරිමට මෙහි දී අවස්ථාව ලැබෙනවා. ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික සන්නිවේදනය වැඩිදියුණු වෙනවා. අනෙක් රටවල්ද තමන්ගේ දේශිය නිති රීති මේ වන විටත් සම්පාදනය කරමින් සිටිනවා. මෙය ඉතාම ධනාත්මක කටයුත්තක්.

ශ්‍රී ලංකාවේ වෙළඳපළ සාර්ථක ස්ථානයකට ගෙනයාමට මෙමඟින් හැකියාව තිබෙනවා. රජයේ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු සම්බන්ධව කටයුතු කරන ආකාරයත් මෙම පනතේ පැහැදිළි කර තිබෙනවා. වීසා ලබාදීම, මෝටර්රථ දෙපාර්තමේන්තුව, වරිපනම් ගෙවීමට වැනි කාරණාවලට මෙමඟින් ඉතාමත් සේවාවක් සැලසිය හැකියි. මෙය ලෝකයේ ක්‍රියාත්මක වන විට ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණෙනවා. ඉලෙක්ට්‍රොනික බදු ෆයිල් ක්‍රියාවලියක් පවත්වාගෙන යාමට හැකියාව තිබෙනවා.

ප්‍රසම්පාදන කටයුතු සම්පාදනයේ දී විශාල කාලයක් ගත වෙනවා. එය ඊ ක්‍රමයට ගියහොත් පැය ගණනින් අවසන් කරන්න පුළුවන්. ඒ සඳහා ඊ ක්‍රමය විශාල ප්‍රයෝජනයක් වෙනවා. විද්‍යුත් අත්සන් තැබීම පිළිගැනීමට නෛතික අවස්ථාවක් ලබා දී තිබෙනවා. විද්‍යුත් ගෙවීම් අපි ශීඝ්‍රයෙන් ගෙවී‍මේ ක්‍රියාවලිය හඳුන්වාදීමේ දී නව ව්‍යවසායකයින් ඉහළ යනවා. නව ව්‍යවසායකයින් ඇති කිරීමට ඔවුන් දිරිමත් කළ යුතුයි. නව ව්‍යවසාකයින් විද්‍යුත් ව්‍යවසායකින් කොටස්කරුවන් කළ යුතුයි. ලෝකය දිනෙන් දින වෙනස් වෙනවා. ඉදිරියේ දී අපි පාර්ලිමේන්තුවට එන්නේ නැතිව ඡන්දය ලබාගන්නා ක්‍රමවේදයකුත් සකස් වෙයි. එවිට පුද්ගලයකු කාලයට තවත් අර්ථයක් ලැබෙනවා. අනාගතය තිබෙන්නේ විද්‍යුත් ගෙවීම් හරහායි.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම ගමගේ මහතා (එජාප) - ඉංග්‍රීසි සමයේ හඳුන්වාදුන් කාර්යාල තමයි අපි තවමත් පවත්වාගෙන යන්නේ.

මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතා (එජාප) - මුළු ලෝකයම ඊ ක්‍රමයට යනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා (එජනිස) - 2016 වසරට මිලියන 425ක් ලබා දී තිබෙනවා. නමුත් එයින් වියදම් කර තිබෙන්නේ මිලියන 100යි. එයින් පේනවා ඇමැතිතුමාගේ කාර්යක්ෂමතාව. අමාත්‍යාංශයට මුදල් වෙන් කළාට වැඩ කර නැහැ. ඵලදායිතාවය බිංදුවයි.

ධිවර හා ජලජ සම්පත් ඇමැති හා මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමැති මහින්ද අමරවීර මහතා - මත්තල පිළිබඳ කතා කිරීම නිසා මේ ගැන කිව යුතුයි. මත්තල ගුවන් තොටුපළ විකිණීම සම්බන්ධව මේ වනවිට එකඟතාවයකට ඇවිත් නැහැ. නිමල් සිරිපාල ඇමැතිවරයා කැබිනට් පත්‍රිකාවක් යොමු කර තිබෙනවා මත්තල පාඩු ආකාරයෙන් යන නිසා ආයෝජකයකු සොයා ගන්න අවශ්‍ය කියා යොමු කර තිබෙනවා. මෙවන් පසුබිමක තමයි ජනතාව මුළා කරලා උද්ඝෝෂණවලට පෙළඹවුවා.

උද්ඝෝෂණය පිටුපස තිබෙන්නේ දේශපාලන න්‍යාය පත්‍රයක්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රීලංකා නිදහස් පක්ෂය ශක්තිමත් වන නිසා තමයි මට එරෙහිව මේ උ‍ද්ඝෝෂණය ක‍ළේ. කිසිදු ආකාරය මත්තල විකුණන්නේ නැහැ. අවසානයේ මේ අය අත්අඩංගුවට ගන්න මම මැදිහත් වුණා කියා ප්‍රචාර කළා. මම පහත් දේශපාලනයක් කරන්නේ නැහැ. කවුරු ඡන්දය දෙන්න එපා කිව්වත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව මා කෙරෙහි විශ්වාසය තැබුවා. ඒ නිසා තමයි මේ උද්ඝෝෂණයට දහසක සෙනඟක්වත් පැමිණි සිටියේ නැහැ.

මේ දේශපාලනඥයින් ඇප මත මුදා හැරියට පස්සෙ කිව්වේ මම ඇප දෙන්න එපා කියලා ලියුමක් එව්වා කියා කිව්වා. මම එහෙම ලිපියක් යැව්වේ නැහැ. වික්‍රමසිංහ කියා පාර්ලිමේන්තු ලේකම්වරයක් තමයි යවා තිබෙන්නේ කියා මම ඒ ලිපිය සභාගත කරනවා. ඒ නිසා මේ ප්‍රකාශ සම්බන්ධයෙන් ඉදිරියේ දී අධිකරණයට යාමට මා ක්‍රියාකරනවා. මම බාල මට්ටමේ දේශපාලනයක් කළේ නැහැ. පසුගිය වසර දෙකක කාලය තුළ නාමල් මන්ත්‍රීතුමා හා රාජපක්ෂ‍ පවුල වෙනුවෙන් මොනතරම් දේවල් කළාද කියා ඔවුන්ගේ හෘද සාක්ෂිය දන්නවා. අපට කවුරුත් ගැහුවත් අපි ගහන්න යන්නේ නැහැ.

ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතා - අපි විපක්ෂයේ මන්ත්‍රීවරුන් හැටියට ඉන්න වේලාවේ මත්තල බලන්න ගියා. ඒ වේලාවේ දී නම් අපිට වෙඩි තැබුවා. එදයි අදයි වෙනස පේනවද? ඊ තාක්ෂණය ගෙනඒමට එක්සත් ජාතීන්ගේ ගිවිසුමට අප 2006 අත්සන් තැබුවා. ඒ නිසා මේ අද ගෙන එන සංශෝධන මඟින් තවදුරටත් දියුණු වෙනවා. නව ව්‍යවසායකයින්ට විද්‍යුත් ගනුදෙනු ක්‍රියාවලිය හරහා වංචාවකින් තොරව ගනුදෙනු සිදු කළ හැකියි. මොකද සමාජය පවතින ආකාරයට ගනුදෙනු ක්‍රමවේදය සකස් විය යුතුයි. අද ගනුදෙනු ආකාරයට නොවෙයි තව අවුරුදු 10කින් ගනුදෙනු සිදු වන්නේ. ඒ නිසා‍ අපි ඒ ක්‍රමයට වෙනස් විය යුතුයි.

නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා මුලසුනට පැමිණියේය.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී කංචන විජේසේකර මහතා (එජනිස) - මහින්ද අමරවීර මහතා කිව්වා කිසිදු සම්පතක් විකිණීම හෝ බදු දීම ලබානොදෙනවා කියා. නමුත් ධිවර වරායන් සියල්ල බදුදීමට යන බවට අද වන විට කැබිනට් පත්‍රිකාවක් ඇවිත් තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා (එජාප) -

ජේ. ආර්. ජයවර්ධන මහතා ඇති කළ විවෘත ආර්ථිකය ඇති කළ නිසා තමයි ඩිජිටල් කරණය ව්‍යාප්ත වී තිබෙන්නේ. එය තවදුරටත් සාර්ථකව ඉදිරියට ගෙනයාමට අපි මේ පනත මඟින් සිදු කරනවා. මුකුත් නැති නිසා අද මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා ව්‍යවස්ථාවේ එල්ලිලා. එතුමට අපි ආරාධනා කරනවා විවාදයකට එන්න කියා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා (එජනිස) - මේ ක්‍රමවේද සියල්ල පසුගිය ආණ්ඩුව ගෙන ආවේ. නමුත් එයට නීති සකස් කරන්න මේ ආණ්ඩුවට වසර දෙකක් ගියා. වැඩසටහන් පවා පසුගිය කාලයේ ක්‍රියාත්මක කළා. තොරතුරු තාක්ෂණය ගෙනආවේ පසුගිය ආණ්ඩුවයි.

පනත් කෙටුම්පත සම්මත විය.


දිවයින  ඇසුරෙනි
« PREV
NEXT »