Friday, October 06, 2017
Home
Gossip Lanka News
ගුරුවරුන්ගේ වටිනාකම දිවිය පුරා මතකයේ තබාගත යුතුයි
ගුරුවරුන්ගේ වටිනාකම දිවිය පුරා මතකයේ තබාගත යුතුයි
-
Friday, October 06, 2017
මානවයා සමාජගත වූ දා පටන් පැවත එන ඉගෙනුම - ඉගැන්වීම් ක්‍රියාවලිය ශික්ෂාකාමී විනයගරුක මෙන්ම දැනුම, තාක්ෂණය පිරිපුන් ලෝකයක් තනන්නට ඉවහල් වූ බව අවිවාදිතය. එවන් වටිනා කාර්යය භාරයක් ඉටුකිරීමේදී ගුරුවරයෙකුගේ භූමිකාවට හිමිවන ස්ථානය පූජනීය වූවකි. සිසුවෙකු ගුණ නැණ බෙලෙන් ඔපවත් කොට යහපත් පෞරුෂත්වයකින් සමාජානුයෝජනය කිරීමේ භාරධුර රාජකාරිය සිය දෙවුර මත රඳවා ගත් ගුරු මෑණිවරුන්ගේ සහ පියවරුන්ගේ මෙහෙවර, වටිනාකම එක් දිනකට එක් සැමරුමකට සීමා කළ හැක්කක් ද නොවේ. ලෝකය මේ දක්වා දුරක් පැමිණියේත්, දියුණුවෙන් දියුණුවට පත්වූයේත් ගුරුවරුන්ගේ කැපවීමෙනි. තමන්ට වඩා ඉහළ ආර්ථික හෝ සමාජ මට්ටමකට තම සිසු දරුවන් ගමන් කරනු බලා සිට ඔවුන් ලබන අව්‍යාජ, සංවේදී සතුට මෙලොව වෙනත් කිසිදු වෘත්තිකයෙකුට විඳිය හැක්කක් ද නොවේ. එවන් අභිමානනීය වෘත්තිකයන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටින්නටත්, ඔවුන්ගේ සුබසාධනය, පුහුණුව සහ ඇගයීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නටත් ලැබීම පිළිබඳව මා නිහතමානීව සතුටට පත් වෙමි. එමෙන්ම ජීවිතයේ අප වෙනුවෙන් ද ගුරුහරුකම් ලබා දුන් සියලු ගුරු මව් පියවරුන් කෘතවේදීව සිහිපත් කිරීමට ද මෙය අවස්ථාවක් කර ගනිමි.
ගුරුවරුන්ගේ සුබසාධනය වෙනුවෙන් විශේෂ වැඩසටහන් කිහිපයක් මේ වන විටත් අප අමාත්‍යාංශය හරහා ක්‍රියාවට නංවන්නට හැකි වී තිබේ. නුදුරේදීම හඳුන්වා දීමට නියමිත ගර්භණී ගුරු මව්වරුන් වෙනුවෙන් පහසු ඇඳුමේ සිට ගුරුවරුන් සඳහා දෙස් විදෙස් පුහුණු අවස්ථා සැලසීම දක්වා වූ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වේ. ගුරු නේවාසිකාගාර, ගුරු පුහුණු මධ්‍යස්ථාන ආදී සියල්ල තැනෙන්නේ ද ඔවුන්ගේ පහසුව වෙනුවෙනි. ඒ අතරතුර ආර්ථික අතින් ද ඔවුන් සවිමත් කිරීම රජයක් ලෙස අපගේ ප්‍රමුඛ අරමුණකි.
මෙරට ගුරු දිනය සමරන අද දිනයේදී හෝ ඔබේ ජීවිතයට මඟ කියා දුන් ගුරු මව්පියවරුන් කෘතවේදීව සිහිපත් කරමින් දුරකථන ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් හෝ කුමන හෝ ක්‍රමවේදයකින් ඔවුන් සමඟ සම්බන්ධ වන්නටත්, ඔවුන්ගේ මෙහෙවර අගයන්නටත් කටයුතු කරන ලෙසට ද ඔබෙන් ඉල්ලීමක් කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි. ඔබේ එම සුබ පැතුම ඔවුන්ගේ මෙන්ම ඔබගේද, සතුටුදායක මෙන්ම සංවේදීම අවස්ථාවක් ලෙස ජීවිත කාලය පුරා මතකයේ රැඳී තිබෙනු ඇත.
