BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, October 18, 2017

අපචාර සහ නීති විරෝධී දේ වළක්වන අවස්ථාවේ ජනතාව තම යුතුකම් ඉටු කළ යුතුයි

සමාජය තුළ සිදුවන දුරාචාරයන්, අපචාරයන් සහ නීති විරෝධී දේ වැළැක්වීමට රජය කටයුතු කරමින් සිටින අවස්ථාවක ඒ සඳහා ජනතාවද තම යුතුකම් ඉටුකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා එසේ පැවසූවේ කොළඹ රාජකීය විද්‍යාලයේ 165වැනි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වෙමිණි. මෙම උත්සවය පෙරේදා(16) විදුහලේ නව රඟහලේදී පැවැති අතර විදුහල වෙත පැමිණි ජනාධිපතිවරයාව ශිෂ්‍යයන් සහ ආචාර්ය මණ්ඩලය විසින් ඉතා උණුසුම් අන්දමින් පිළිගන්නා ලදී. ශිෂ්‍යයන් කණ්ඩායමක් විසින් ජනාධිපතිවරයා වෙනුවෙන් පිළිගැනීමේ ගීතයක් ගායනා කරන ලදී. මහා සංඝරත්නය, අන්‍ය ආගමික පූජකවරුන්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම්, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකිම්, ෆයිසර් මුස්තාපා,රංජිත් සියඹලාපිටිය ඇමැතිවරුන්,පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා, රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ. මෙහිදී විවිධ අංශයන්ගෙන් දක්ෂතා දැක්වූ ශිෂ්‍යයන්, විද්‍යාලයේ ගුරුවරුන් ජනාධිපතිවරයාගෙන්, අග්‍රාමාත්‍යවරයාගෙන් මැති ඇමැතිවරුන්ගෙන් සහතික පත් ලබාගන්නා ලදී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

රාජකීය විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත්ම සතුටට පත්වෙනවා. මෙයට සහභාගිවීමට මා වෙත ආරාධනා කිරීම පිළිබඳව විදුහල්පතිතුමා ප්‍රමුඛ අදාළ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා.

විදුහල්පතිතුමා දැක්වූ කරුණු මෙන්ම අප සැම දන්නා පරිදී කොළඹ රාජකීය විද්‍යාලය සිය කීර්තිමත් ඉතිහාසයේ විවිධ ක්ෂේත්‍රයන්හි විශිෂ්ටයන් සහ ප්‍රමුඛයන් බිහිකළ කීර්තිමත් අධ්‍යාපන ආයතනයක් ලෙස සෑම දෙනාම පිළිගන්නවා. රට සහ ලොව ජයගත් මේ විද්‍යාලයේ ආදි සිසුන්ගේ දක්ෂකම් හැකියාවන් විවිධ ක්ෂේත්‍රයන්හි විද්වත් භාවයත් ශාස්ත්‍රීය විශිෂ්ටත්වය පිළිබඳව අප අසා තිබෙනවා. ඒ පිළිබඳව අප කවුරුත් සතුටුවිය යුතුයි.

ආදරනීය දරුවනි, ගුරු මෑණිවරුනි, පියවරුනි, දෙමාපියනි. වර්තමානයේ පවතින්නා වූ සමාජය තුළ විවිධ අභියෝග තිබෙනවා. පාසලේ අධ්‍යාපනය, පන්ති කාමරයේ විෂය නිර්දේශය, බාහිර ක්‍රියාකාරකම්, නිර්මාණශීලි භාවයන්, හැකියාවන් යහපත් මිනිසුන් ගොඩනැගීමේ සඳහා කොතෙක් දුරට ඉවහල් වී ඇත්දැයි අප විසින් අධ්‍යයනය කිරීම ඉතා වැදගත් යයි මා විශ්වාස කරනවා. අද අපේ රටේ මෙන්ම ලෝකයේ බොහෝ රටවල සමාජය සහ රට දියුණු කරන්නට තිබෙන අභියෝගයක් ලෙස මිනිසුන්ගේ ශිෂ්ටත්වය පිළිබඳ ප්‍රශ්නය හැදින්විය හැකියි. විනය හා හැදියාව පිළිබඳ ප්‍රශ්නය දැක්විය හැකියි.

පහේ ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිඵල එන අවස්ථාවේ, සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන අවස්ථාවේ, උසස් පෙළ ප්‍රතිඵල එන අවස්ථාවේ දෙමාපියන්ට වෙනම පාඩමක් කියා දෙන්නට සිදුවී ඇති බව පෙනී යනවා. දරුවා විභාගය සමත් වූ විට විශාල සතුටක් ලබන්නටත් විභාගය අසමත් වූ විට දරුවාට දැඩි ලෙස හිරිහැර කරදර අශිෂ්ට ලෙස කරන්නට අපේ රටේ බොහෝ දෙමාපියන් පෙළඹිලා තිබෙනවා. විභාගයේ ප්‍රතිඵල එන දින කීහිපය තුළ විභාගයට පෙනී සිටි දරුවන් විශේෂයෙන් ශිෂ්‍යත්ව විභාගය ලියූ දරුවන් ළඟ ළඟ එන ප්‍රතිඵල පිළිබඳව භීතියෙන් පසුවනවා. ඔවුන්ගේ නොසතුටුතාවය ඉහළ යන බව අප කවුරුත් දන්නවා. මෙවැනි තත්ත්වයන් නිසා අධ්‍යාපන ඇමැතිතුමනි, දරුවන්ට අකුරු උගන්වනවා වගේම, ඔවුන්ට අවශ්‍ය සම්පත් ලබාදෙනවා වගේම දරුවන්ගේ දෙමාපියන්ට වෙනම පාඩමක් කියා දෙන්න සෑම පාසලක් හරහාම වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව මම සිතනවා. එහිදී විභාග සඳහා දරුවන් සූදානම් කිරීමත් අදාළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව දෙමාපියන්ගෙන් දරුවන්ට ලැබිය යුතු ප්‍රතිචාරය පිළිබඳව සහ දෙමාපියන් ක්‍රියා කළ යුතු ගුණාත්මක භාවය පිළිබඳව කියා දිය යුතුයි.

අපේ රටට විවිධ ගැටලු බලපානවා. විවිධ ප්‍රශ්න අපට තිබෙනවා. මේවා දරුවන්ට කෙසේ බලපාන්නේද යන්න පිළිබඳව සිතිය යුතුයි. වාණිජ සමාජයේ දී, තරඟකාරී සමාජයේ දී දරුවාව ඉදිරියට ගෙනයාමට සූදානම් කිරීමේ කාර්යය අප සැමට අභියෝගයක් වී තිබෙන බව පෙනෙනවා. සමාජය දෙසට මත්ද්‍රව්‍ය එනම් මත්පෙති මත් කුඩු මත් වතුර ගලා යනවා. මේ උවදුරුවලින් අපගේ පාසල් දරුවාව බේරාගත යුතුයි. ඒක අපගේ වගකීමක්. දරුවන්ට සහ සමාජයට අයහපත් දේ පිළිබඳව අප සොයා බැළිය යුතුයි.

වර්තමානයේ නව තාක්ෂණය ,තොරතුරු තාක්ෂණය, සමඟ සමාජයේ දියුණු වූවායැයි කියන ක්ෂේත්‍රවල දියුණුව පිළිබඳව කොතෙක් කතා කළත් ගැටලු පවතිනවා. යහපත් පුරවැසියන් බිහි කිරීමේ කාර්යයයේ දී මේ තරඟකාරී සමාජය බරපතළ අභියෝගයක් වී තිබෙනවා. යහපත් මනසක්, සන්සුන් සිතක් සහ චරිතයක්, ආදර්ශමත් ජීවිතයක්,විනය ගරුක මිනිසෙක් සහ ගැහැනියක් ලෙස සමාජය තුළ යුතුකම් ඉටු කිරීමේදී ඒ සඳහා තිබෙන්නා වූ අභියෝග අප පැහැදිලිවම තේරුම් ගතයුතු වෙනවා.

මත්ද්‍රව්‍යවලින් රට ආරක්ෂා කරගත යුතුයි. රට සිසාරා යන අශීලාචාර වූ තත්ත්වයන් හමුවේ දරුවන් ආරක්ෂා කර ගැනීමත් අභියෝගයක්. පසුගිය දිනෙක විශ්ව විද්‍යාලයක ප්‍රධානියෙක් මට මුනගැසුනා. කොහොමද මත්ද්‍රව්‍යවලින් දරුවන් බේරා ගන්නේ ජනාධිපතිතුමනි කියා ඔහු ප්‍රකාශ කළා. විශ්ව විද්‍යාලය තුළට පැමිණ නොමිලේ මත්ද්‍රව්‍ය බෙදාගෙන යන බව ප්‍රකාශ කළා. මෙවැනි පසුබිමක් අපේ රටේ තිබෙන බව පිළිගත යුතු වෙනවා. මෙය වැළැක්වීම සඳහා පුළුල් වූ සමාජමය වගකීමක් සැමට තිබෙනවා. එය රජයේ වගකීමක්. ජනතාවගේ වගකීමක්. රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක්. පාසලක වගකීමක්. සමාජයේ පවතින ගැටලුකාරී තත්ත්වයන් නැති කිරීම සඳහා සැවොම සාමූහිකව, අධිෂ්ඨානයෙන් වැඩ කිරීම අතවශ්‍ය වෙලා තිබෙනවා.

මම පාසලකට ගොස් එහි කතා කරන විට කියන කාරණය අද දිනයේත් මා සඳහන් කරනවා. දරුවා පැය විසිහතරේ වඩාත්ම ආරක්ෂිතව සිටින්නෙ පාසල තුළ සිටින කාල සිමාවයි කියා මා ප්‍රකාශ කරනවා. මෙවැනි තත්ත්වයක් නොමැති බවට සිදුවීම් වාර්තා වන්නෙ ඉතා අඩුවෙන්. දරුවන්ගේ සුරක්ෂිතභාවය සහ දරුවන් ආරක්ෂා කිරීමේ කාර්යයේ දී දරුවා පිළිබඳව බරපතළ ප්‍රශ්න මතුවන්නේ පාසලෙන් බැහැරව දෙමාපියන් ළඟ සිටින කාල සීමාවේ දී කියන එක අපට දක්නට ලැබෙනවා. මේ සියලු තත්ත්වයන් තුළදී අප දකින්නේ දරුවන් ආරක්ෂාකර ගැනීමේ සාමුහික වැඩ පිළිවෙළක අවශ්‍යතාවයි.

තාක්ෂණික ලෝකය කොතෙක් දියුණු වුවත් එම දියුණුවන ලෝකයේ මිනිසාට පාලනය කළ නොහැකි බොහෝ දේ තිබෙන බව අප දන්නවා. මානව සමාජයේ ආරම්භයේ සිට ගත් විට මිනිසා සවභාව ධර්මයා සමඟ සටන් කළා. තම අවශ්‍යතාවන් ඉටුකර ගැනීමේ දී විවිධාකාරයෙන් අරගලයක නිරත වීමට මිනිසාට සිදුවුණා. පසුගිය දිනවල අප දුටුවා ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ලැව්ගිනි, ගංවතුර, සුළි සුළං ඇතිවූ ආකාරය. එම රටේ ඉතාම ඉහළ තාක්ෂණයක් තිබෙනවා. විශාල ධනයක් තිබෙනවා. විශිෂ්ට උගතුන් ජීවත්වන රටක් වශයෙන්ද ඇමරිකාව හැදින්විය හැකියි. ඒත් සවභාව ධර්මයේ අභියෝග වැළැක්වීමට හැකිවුණාද. කැලිපෝනියා ප්‍රදේශයේ ඇතිවූ මහා ලැව්ගිනි තත්ත්වය අප දුටුවා.

සමාජය තුළ සිදුවන දුරාචාරයන්, නීති විරෝධී දේ, අපචාරයන් වළක්වමින් රටක් ලෙස ජය ගන්නට රජයේ කාර්යය එක්පැත්තකින් කෙරෙනවා. මේ සඳහා දෙමාපියන්ගේ කාර්යයද ඉතා වැදගත්වෙනවා. මේ විදුහලේ විදුහල්පතිවරයාත්, ආචාර්ය මණ්ඩලය දරුවන් වෙනුවෙන් තම යුතුකම් ඉටුකරමින් සිටිනවා. මෙවැනි කටයුතු වලදී යම් යම් සුලු සුලු අඩුපාඩුකම් ඇතිවිය හැකියි.

රාජකීය විද්‍යාලයේ 165 වැනි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී සමාජයේ තිබෙන අභියෝග ජය ගන්නට යහපත් පුරවැසියන් පිරිසක් නිර්මාණය කරන්නට අප අධිෂ්ඨාන කරගත යුතුයි. පාසලෙන් එළියට යන දරුවා ආරක්ෂාකර ගත යුතුයි. ඒ පිළිබඳව ඇති වගකීම අප තේරුම් ගත යුතුයි.

මේ වේදිකාවේ අග්‍රාමාත්‍යවරයා සහ මැති ඇමැතිවරුන් රාශියක් සිටිනවා. ඔවුන් මේ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්. එය මේ විදුහලට මොන තරම් භාග්‍යයක්ද. රට ජයගත් ලොව ජයගත් විශිෂ්ටයන් සමාජයට දායාද කර ඇති රාජකීය විද්‍යාලයේ වර්තමාන දරුවන්ගේද අනාගතය ඉතා සාර්තක වේවා කියා මා ප්‍රකාශ කරනවා. මේ විදුහලේ විදුහල්පතිවරයා සහ ගුරු මණ්ඩලය දරුවන්ගේ අනාගතය සාර්ථක කිරීම සඳහා කරන කැප කිරීම මා අගය කරනවා.

කොළඹ රාජකීය විදුහලේ විදුහල්පති බී. ඒ අබේරත්න මහතා-

ඉතා කාර්යය බහුල තත්ත්වයක් මත අපගේ ආරාධනාව පිළිගෙන ජනාධිපතිතුමා අප විදුහලට පැමිණීම අගය කොට සලකනවා. විද්‍යාලයේ දින සටහනෙහි වැදගත්ම උත්සවය මේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයයි. සමාජ හා මානුෂික සංවර්ධනයක් ළඟාකර ගැනීම වෙනුවෙන් ජනාධිපතිතුමා තුළ වන්නා වූ දර්ශණය දෙස විදෙස් ඇගයුමට නොමදව ලක්වෙමින් තිබෙන බව අපට පෙනෙනවා.මිනිසුන්ගේ සිත්වල පවත්නා වූ දුෂ්ඨ අදහස් පරදවා ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ඇති කිරීම සඳහා තරුණ පරපුර මෙහෙයවීම අපගේ වගකීමයයි අප විශ්වාස කරනවා.

ප්‍රජාතන්ත්‍රවාදයේ නියමුවකු වශයෙන් සැමට සාධාරණව මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් කැප වී සිටින අග්‍රාමාත්‍යතුමා ලෝක නායකයන්ගේ හොද හිත දිනා ගැනීමට සමත්වී තිබෙනවා. මෙකල පමණක් නොව අතීතයේ සිට විවිධ ඇමැති තනතුරු දරමින් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා කළ විප්ලවවාදී ප්‍රතිසංස්කරණ හේතුවෙන් ඇති වී තිබෙන ප්‍රගතිය අපට දක්නට තිබෙනවා.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපනයේ නව මංපෙත් විවිර කරමින් සිටිනවා. මෙරට තාරුණ්‍ය නව දැනුමෙන් සන්නද්ධ කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා ක්‍රියා කිරීම අප අගය කරනවා.

අප විදුහලේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ප්‍රතිපල ප්‍රසංසනීය මට්ටමක පවතින බව මම ප්‍රකාශ කරනවා. රාජකීය විද්‍යාලය තුළ ක්‍රියාත්මක වන සංගම් හා සමිතිවලින් ශිෂ්‍යයන්ගේ ජීවිතයට වැදගත් කාර්යය භාරයක් ඉටුවෙනවා.

මහා සංඝරත්නය ඇතුළු අනෙකුත් ආගමික පූජකවරුන් මේ අවස්ථාවට සහභාගි වීම පිළිබඳව මා ස්තුතිය පුද කරනවා.
« PREV
NEXT »