BREAKING NEWS
latest

728x90

468x60

Sunday, November 12, 2017

මේක ඇතුළෙම කුමන්ත්‍රණයක්‌ කියලා හිතනවා; තෙල් හිඟයේ ඇතුළත කතාව අර්ජුනගෙන් එළියට

හපාලන ජාතික ආණ්‌ඩුවේ සිව්වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හරියටම හෝරාවක්‌ තිබියදී පසුගිය සතියේ වැඩිපුරම කතාබහට ලක්‌වූ ඇමැතිවරයා වන ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතාව සම්මුඛ සාකච්ඡාවකට එක්‌ කර ගැනීමට "දිවයින ඉරිදා සංග්‍රහය" ට හැකි විය.

පාර්ලිමේන්තු සංකීර්ණය තුළ පසුගිය 09 වැනිදා (බ්‍රහස්‌පතින්දා) සිදු කළ එම සම්මුඛ සාකච්ඡාව පහත පරිදි වේ. 

රට තුළ හිටිහැටියේ තෙල් අර්බුදයක්‌ ගොඩනැඟුනා. එම අර්බුදයේ දැන් තත්ත්වය කෙසේද?

මේ වන විට (බ්‍රහස්‌පතින්දා) බොහෝ දුරට අවසන්.

මෙම අර්බුදය සම්බන්ධයෙන් විෂයභාර ඇමැතිවරයා ලෙස ඔබටත් යහපාලන රජයටත් බොහෝ චෝදනා එල්ල වෙනවා.

මේ නැව භාරගන්න කියලා බලපෑම් මටත් ආවා. බාල තෙල් ගෙන්වූ තෙල් නැව මම භාරගත්ත නම් මේ කිසි ප්‍රශ්නයක්‌ නැහැ. හැබැයි එහෙම වුණා නම් වාහන කැඩෙන්න තිබුණා. මිනිසුන්ට විශාල අපහසුතාවන්ට මුහුණදීමට සිදුවන්න තිබුණා.

මේ තෙල් නැව භාරගන්න කියලා නොයෙක්‌ මාර්ගවලින් ඔබට බලපෑම් එල්ල වුණා කියලා ඔබ සඳහන් කළා.

ඔව්. එසේම බලපෑම් වගේම ඉල්ලීම් ආවා. නමුත් මම එය භාරගත්තේ නැහැ. රටට හෝ ජනතාවට අවැඩක්‌ වන දෙයකට මට අතගහන්න බැහැ. මේ තෙල් නැව සම්බන්ධයෙන් අපි පරීක්‌ෂණ දෙකක්‌ කළා. ඒ පරීක්‌ෂණ දෙකම ෆේල් (අසමත්) වුණා. බාල තෙල් අරගෙන මිනිස්‌සුන්ව අමාරුවේ දාන්න අපට පුළුවන්ද?

 ඔබට බලපෑම් හා ඉල්ලීම් කළේ කවුද කියලා ජනතාව දැනගන්න ඕන නොවේද?

පිළිතුර - මට ඒ අයගේ නම් කියන්න අවශ්‍ය නැහැ. මම ඒ ගැන කියන්න ඕන පුද්ගලයන්ට කියලා තිබෙනවා. මට කිහිප දෙනෙක්‌ම කතා කරලා කිව්වා මේ නැව ගත්තොත් ප්‍රශ්නය අවසන් බව. මගේ ප්‍රශ්නය අවසන් කරලා රටේ අනෙකුත් ජනතාවට ප්‍රශ්නයක්‌ වෙන්න දෙන්න බැහැ. බලපෑම් එනකොට තමයි මම නිලධාරීන් සමඟ සාකච්ඡා කරලා තීරණය කළේ මේ නැව ගන්නේ නැහැ කියලා.

මේ සිදුවීමේ අනිත් පැත්ත තමයි මම මේ නැව ගත්ත නම් කියයි ඉන්දියන් තෙල් සමාගමෙන් මුදල් අරන් මම තෙල් නැව භාර ගත්ත කියලා. මම හරි දේ කළා.

තෙල් වර්ජනයක්‌ සිදුවීමට නියමිත බව කෙටි පණිවිඩයකින් ප්‍රචාරය වුණා. මෙයත් මේ තත්ත්වය බරපතළ කිරීමට හේතුවක්‌ වුණා නොවේද?

ඔව්. තෙල් අඩුවක්‌ කිව්වම මිනිස්‌සු කැළඹෙන්නේ නැහැ. නමුත් අපේ රටේ මිනිස්‌සු තෙල් ස්‌ට්‍රයික්‌ එකක්‌ කිව්වහම කැළඹෙනවා. මේ නිසා දෛනික තෙල් මෙටි්‍රක්‌ ටොන් 2600 - 2700 තිබෙන ඉල්ලුම එකවරම මෙටි්‍රක්‌ ටොන් 4200 - 4300 ට ඉහළ ගියා. මේ කෙටි පණිවිඩය ගියේ කොහෙන්ද කියලා අපි හොයන්න ඕන. ඒ ගැන මම ජනාධිපතිතුමාටත් කිව්වා. එතුමා කිව්වේ ඒ පිළිබඳ රහස්‌ පොලිසියට පැමිණිලි කරන ලෙස. එම දවසේම තෙල් පිරිහදුව කැඩෙන්නේ කොහොමද? පැය ගණනාවකට පරිගණක පද්ධති අකර්මන්‍ය වෙන්නේ කොහොමද? බෙදාහැරීමේ ජාලය අක්‍රිය වෙන්නේ කොහොමද? මේවා සොයා බැලිය යුතු කාරණා.

අපගේ රටට මීට ප්‍රථමයෙන් බල තෙල් නැව් පැමිණ නැවත හරවා යවා තිබෙනවා. නමුත් මේ වගේ අර්බුද හටගත්තේ නැහැ. 

මම එක්‌ස්‌කියුසස්‌ (නිදහසට කාරණා) කියනවා නෙවෙයි. මේ හැමදෙයක්‌ම එකට සිදුවීම අසාමාන්‍යයි. මේ ගැන ගැඹුරින් සොයා බලා සත්‍ය රටට කියන්නම්.

ඉන්දියන් තෙල් සමාගම මෙරටට ගෙන්වූ ඉන්ධන නැවේ ප්‍රමිතිය බාල නිසා එය ප්‍රතික්‌ෂේප වුණා. නමුත් පසුගිය දෙවැනිදා සහ තුන්වැනිදා යන දෙදින තෙල් සංස්‌ථාවට පැමිණීමට නියමිත වූ තෙල් නැවත් ප්‍රමාද වුණා. එය විය හැකි කරුණක්‌ද?

කවදාවත් නැවතුව දවස්‌ ගණන් එම නැව ප්‍රමාද වුණා. සාමාන්‍යයෙන් ටර්මිනල් (පර්යන්තය) එකක තෙල් ගහන කොට වැඩිම කාලය දවස්‌ එකහමාරයි හෝ දෙකයි. නමුත් මේ නැව දින හතරක්‌ ටර්මිනල් එකක්‌ තිබුණා. ඊට පස්‌සේ මේ නැව ඒ පැමිණෙද්දී බන්කරින් වලට මෙම නැව නැවැත්තුවා. මේ නිසා අපට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වුණා.

ඒ වගේම තෙල් පිරිපහදුවත් අකරමන්‍ය වුණා. 

ඔව්. තෙල් පිරිපහදුවත් කැඩුණා. එයත් දින තුනකට වහන්න සිදු වුණා.

මෙය හුදකලා සිදුවීම් ලෙස සිතිsය හැකිද? මෙය කිසිවකුගේ හෝ කිසියම් කණ්‌ඩායමකගේ කුමන්ත්‍රණයක්‌ යෑයි ඔබ නොසිතනවාද?

මෙය සාමාන්‍ය සිදුවීම් නොවෙයි. මේ ගැන පරීක්‌ෂණයක්‌ පවත්වන්න ඕන. පරීක්‌ෂණයක්‌ කරන්න කලින් මට ඕන වූයේ මේ ප්‍රශ්නය ඉක්‌මනින් අවසන් කර ගන්නයි.

කුමන්ත්‍රණයක්‌ හෝ වෙනයම් ප්‍රශ්නයක්‌ හෝ වේවා මෙවැනි ගැටලු විස¹ගන්න කළමනාකරණය කරගන්න රජයට නොහැකි ඇයි?

අපට තැන්පත් කරන්න පුළුවන් තෙල් මෙටි්‍රක්‌ ටොන් අනූදහසක්‌ පමණයි. මේ වනකම් අපි තෙල් ගෙනාවේ තෙල් මෙටි්‍රක්‌ ටොන් හතළිස්‌දහසේ ඒවා. එහෙම නැවක්‌ ප්‍රතික්‌ෂේප වූ පසු අපි ඒ අයට ඒ වෙනුවට වෙන තෙල් නැවක්‌ ගෙන්වන්න අවස්‌ථාවක්‌ දෙනවා. අපි ඉන්දියන් ඔයිල් සමාගමේ නැව ප්‍රතික්‍ෂේප කළේ ගිය මස 17 වැනිදා. ඒ අය අපට ගිය මස 31 වැනිදා හෝ මේ මස පළමු වැනිදා තෙල් නැවක්‌ ගෙනත් දිය යුතුව තිබුණා. නමුත් එම නැව ඒ දිනවල දෙන්න බැහැ කියලා ඒ අය කිව්වේ අන්තිමටයි.

ඔබ සඳහන් කරන ලෙස ඉන්දියන් ඔයිල් සමාගමේ නැවක්‌ පැමිණියේ නැතොත් රට තුළ බරපතළ තෙල් අර්බුදයක්‌ නිර්මාණය වෙනවනේ.

නැහැ. ඒ නැව නැති වුණාට මේ මස දෙවැනිදා හෝ තුන් වැනිදා අපේ නැව පැමිණියා නම් අපට මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. ජනතාවට සිදු වූ අපහසුතාවය පිළිබඳව මා කනගාටු වෙනවා. ඇත්තටම මෙතනදී වුණේ තෙල් නැති වීමක්‌ හෝ අඩු වීමක්‌ නොවෙයි. මිනිස්‌සු තෙල් ගහන ප්‍රමාණය වැඩි වීමයි. ඒ වගේම තමයි පිරිසක්‌ මෙය ව්‍යාපාරයක්‌ බවට පත් කර ගත්තා. මේ දේවල් කුමක්‌ වුවත් මෙම ක්‍රියාවලිය පිටුපස යම් කඩාකප්පල්කාරී, කුමන්ත්‍රණකාරී යමක්‌ තිබෙන්නට පුළුවන්. ඉදිරියේදී ඒ සැම හෙළි වෙයි. 

ප්‍රතික්‍ෂේප වූ ඉන්දියානු තෙල් සමාගමට අයත් නැව තවමත් ත්‍රිකුණාමලය මුහුදු කලාපයේ නැංගුරම්ලා ඇති බව සඳහන් වෙනවා. එම නැවේ ඇති තෙල් කෙසේ හෝ ගොඩබෑම සඳහා උත්සාහයක්‌ පවතිනවා නොවේද?

මේ නැව ප්‍රතික්‌ෂේප වූ පසු හරි නම් ආපසු යන්න ඕන. ඔවුන් තවත් නැවක්‌ ගෙනවිත් ෆිල්ටරින් කරලා නැවත දෙන්න හදනවා යෑයි සඳහන් වෙනවා. එය අපේ ක්‍රමවේදයෙන් ඔබ්බට ගිය දෙයක්‌. මේ තෙල්වල වගකීමක්‌ මට දෙන්න බැහැ. මම ඇමැතිවරයා ලෙස ඉන්නකම් මේ තෙල් රටට ගන්න දෙන්නේ නැහැ. එහෙම කරන්න බැරි නම් ඇමැතිකම දාලා මට ගෙදර ගිහින් ඉන්න එක හොඳයි.

තෙල් පිරිපහදුව නිසි ලෙස නැති වීම මෙවැනි අර්බුදයන්ට එක්‌ හේතුවක්‌ වී තිබෙනවා. ඒ නිසා පිරිපහදුව සකසන්න කටයුතු කිරීම ඉදිරි ආයෝජනයක්‌ නොවෙයිද?

මගේ බලාපොරොත්තුවත් තෙල් පිරිපහදුව ඉක්‌මනින් හදන්නයි. හැබැයි මට ඒක කරන්න දේවිද කියන එක මට ලොකු ප්‍රශ්නයක්‌ තිබෙනවා.

ඔබ එහෙම හිතන්නේ ඇයි?

පිරිපහදුව හැදුවොත් තෙල් ගෙන්වන ඒජන්තවරුන්ට ලොකු පාරක්‌ වදිනවා. කාට පාර වැදුනත් එය රටට ලොකු වාසියක්‌. මගේ බලාපොරොත්තුව තව මාස තුනකින් පිරිපහදුව හදන්නයි.

ඔබ මීට ප්‍රථම හෙබවූ වරාය ඇමැති ධුරය අහිමි වූයේ හම්බන්තොට වරාය චීනයට බදු දීමේ ක්‍රියාවලියට ඔබ බාධාවක්‌ වූ නිසා යෑයි සඳහන් වෙනවා. ඔබගේ මෙම ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තුළත් දැන් යම් යම් අර්බුද නිර්මාණය වෙලා තිබෙනවා. තෙල් ටැංකි ඉන්දියාවට බදු දීම මෙහි විශේෂයි. ඇත්තටම මේ ඇමැතිකමටත් තට්‌ටු වේවිද?

මට මේ ඇමැති පට්‌ටම ලොකු නැහැ. වැරදි දේ කරලා ඇමැතිකම තියාගන්නවට වඩා හොඳයි හරි දේ කරලා ගෙදර යන එක. ඇමැතිවරයෙක්‌ වෙලා හිටියට එක එක්‌ කෙනාට ඕන ඕන දේ මම කරන්නේ නැහැ.

ඔබට එරෙහිව ආණ්‌ඩුව තුළ කුමන්ත්‍රණයක්‌ ඇතැයි ඔබ සිතන්නේ නැද්ද?

එහෙමත් හිතනවා. එහෙම එකක්‌ තිබුණයි කියලා අදාළ නැහැ. මට කනගාටුව මේ දවස්‌ ටිකේ මහජනතාවට සිදු වූ අපහසුතාවයි. නැත්නම් කොහේද යන තමන්ගේ අමාත්‍යාංශය කරගන්න බැරි ඇමැතිවරු එක්‌ කෙනෙක්‌ දෙන්නෙක්‌ කෑගැහුවා කියලා හොරකම් කළ කිහිපදෙනෙක්‌ කෑගැහුවා කියලා මට දැනෙන්නේවත් වදින්නෙත්වත් නැහැ. ගෙදර කුණු තියාගෙන අල්ලපු ගෙදර නැති කුණු හොයන මිනිස්‌සුන් මෙතන ඉන්නවනේ. තමන්ගේ වත්කම් බැරකම් කියාගන්න බැරි මිනිස්‌සුත් තෙල් ගැන කතා කරනවා. ඔය හැමෝටම උත්තර දෙන්න අපට වෙලාවක්‌ නැහැ.

ඔබ සෘජු තීරණ ගත් කෙලින් කතා කරන නායකයකු ලෙස ලොව පුරා ප්‍රචලිතයි. නමුත් ඔබට එරෙහිව කටයුතු කරන්නේ කවුද කියලා කෙලින් කියන්න ඔබ දැන් මැලි වෙනවා.

ඒ කවුද කියලා මාධ්‍යයෙන් ඔබතුමාලා දන්නවනේ. සමහර ඇමැතිවරු කැමැතියි තමන්ට වඩා දන්න කවුරුත් නැහැ කියලා පෙන්වන්න. මට වඩා ක්‍රිකට්‌ ගැන දන්න ඇමැතිවරු මේ කැබිනට්‌ මණ්‌ඩලයේ නැහැනේ. කොතන හිටියත් මම ක්‍රිකට්‌ ගැන කතා කරනවා. සමහර පුද්ගලයෝ උත්සාහ කරනවා ඒ අයට ක්‍රිකට්‌ ගැන දැනුමක්‌ තිබෙන බව පෙන්වන්න.

ඔබ කැරකිලා එන්නනේ දයාසිරි ඇමැතිතුමා ළඟට වගේ.

 නැහැ. මම කාගේවත් නම් කියන්නේ නැහැ. තෝප්පිය හරි නම් දාගත්ත දෙන්. මම ජනාධිපතිතුමාට, අගමැතිතුමාට සහ රටේ ජනතාවට උත්තර දීලා තියෙනවා. වරදක්‌ නැතිව ජනතාවගෙන් සමාව ගත්ත එකම ඇමැතිවරයා මම වෙන්න ඇති. එය මට ලැඡ්ජාවක්‌ නෙමෙයි.

තෙල් අර්බුදය ආණ්‌ඩුවට දැනුනේ කොහොමද?

ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් කිසිදු වෙලාවක කිව්වේ නැහැ තෙල් නැව ගන්න කියලා. ඒ දෙපළම මට විශාල සහායක්‌ දුන්නා. ඒ වගේම කියන්න ඕන කැබිනට්‌ මණ්‌ඩලයේ වැඩි දෙනෙක්‌ මේ ප්‍රශ්නයට මුහුණ දීම සඳහා මාත් සමඟ හිටියා.

වැඩි දෙනෙක්‌ කිව්වහම නැති අයත් ඉන්නවා යෑයි හැඟෙනවා.

කොයිදේයිනුත් වාසි ගන්න හදන දෙතුන් දෙනෙක්‌ කොතනත් ඉන්නවනේ.

ඉන්දියානු තෙල් සමාගම ඔවුන්ට එල්ල කර ඇති චෝදනා ප්‍රතික්‌ෂේප කරනවා.

ඒ අයට පමණක්‌ ඇඟිල්ල දික්‌ කරන්න බැහැ. නමුත් ඒ අයගේ වැරදි අනිවාර්යයෙන්ම තියෙනවා. ඕන නම් අපේ නිලධාරීන් සමඟ ඒ අය සමඟ විවාදයකට යන්න අපට පුළුවන්. මේ ප්‍රශ්න තුළ ආර්ථික ඝාතකයෝ, කඩාකප්පල්කාරීන්, කුමන්ත්‍රණකාරීන් ලාභ ප්‍රයෝජන ගන්න සේරම ඉන්නවා.

ඉන්දියානු රජය අප රටට එල්ල කරන පීඩනය හා බලපෑම ඉන්දියානු තෙල් සමාගම හරහා වක්‍රාකාරව පෙන්නුම් කිරීමක්‌ මේ සිදුවීම හරහා පෙනෙනවා නොවේද?

මෙහෙමයි. මේක පොලිටිකල් ක්‍රයිසිස්‌ (දේශපාලන අර්බුදය) එකක්‌. මේ ආයතන දැනගන්න ඕන අපිත් සමඟ එකට වැඩ කරනවා මිසක්‌ අපිව පාලනය කරන්න බැහැ කියලා. මන් ඉන්නකම් ඒ දේ කරන්න දෙන්නේ නැහැ.

ඉන්දියානු තෙල් සමාගමට මෙරට තෙල් වෙළෙඳපොළේ සියයට දාසයක (16%) පංගුවක්‌ තිබෙන්නේ ලංකා තෙල් සංස්‌ථාව සතුව සියයට අසූහතරත් තිබෙනවා. සියයට අසූහතරක්‌ සහිත ලංකා තෙල් සංස්‌ථාවට මෙවැනි අර්බුදයක්‌ කළමනාකරණය කරගත නොහැකි යෑයි පෙන්නා ආණ්‌ඩුවේම සහ තවත් කොටසක්‌ මෙය පුද්ගලීකරණය කරන්න කළ කුමන්ත්‍රණයක්‌ යෑයි සිතන්න පුළුවන්ද?

ඔව්. එහෙම සිතන්න පුළුවන්. හුඟ දෙනෙක්‌ බලන් ඉන්නවා මේක පුද්ගලීකරණය කරන්න. වරාය පුද්ගලීකරණය කරන්න යන කොට මම විරුද්ධ වුණා. අප රටේ තෙල් වෙළෙඳපොළේ දැනට ඉන්නේ ලංකා තෙල් සංස්‌ථාව සහ ඉන්දියානු තෙල් සමාගම පමණයිනේ. මේකට තවත් කට්‌ටියක්‌ රිංගන්න බලන් ඉන්නවා. එහෙම වුණොත් සංස්‌ථාවේ හුඟක්‌ දේවල් නැති වේවි.

තෙල් අප රටට ගෙන්වීමේදී එම කටයුතු කරන්නේ එකම පිරිසක්‌. මේ තුළ යම් අක්‍රමිකතා සිදුවන්න බැරිද?

ඔව්. පසුගිය කාලය තිස්‌සේම එකම පිරිසක්‌ තමයි ටෙන්ඩර්වලට ඇතුළත් වෙන්නේ. ආයතන දෙක තුනයි මේ කටයුතු කරන්නේ. උදාහරණයක්‌ ලෙස පළමුවැනිදා එන්න තිබෙන නැව ගෙන්වන කෙනාමයි හය වැනිදා, දාහතර වැනිදා තෙල් නැව් ගෙන්වන්නේත්. පළමු වැනිදා නැව ප්‍රතික්‌ෂේප කළ පසු එයාට කියන්න පුළුවන් ඊළඟ නැවත් නොඑන බව. මෙහෙම වෙන්න දෙන්න බැහැ. මම ඉදිරියේදී වෙනත් රටවලට අයිති තෙල් සමාගම් සමඟ කතා කර තෙල් ගෙන්වන්න කටයුතු කරනවා. එවිට සිදු වන්නේ රජයන් දෙකක්‌ අතර ගිවිසුම් ගත වීමයි. එසේ වූ විට කාටවත් හොර බොරු බැහැ. ඒජන්තරවරුන්ට මුදල් උපයාගන්න රටේ මිනිසුන්ව උගසට තියන්න බැහැ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා මේ සම්බන්ධව අදහස්‌ දක්‌වමින් ප්‍රකාශ කළේ තෙල් ගබඩා කිරීම නිසි ලෙස කළමනාකරණය කිරීමට ආණ්‌ඩුව අපොහොසත්ව ඇති බවයි.

මම පසුගිය අයට දොස්‌ කියන්න කැමැති නැහැ. නමුත් එතුමා තෙල් ටැංකි කිහිපයක්‌ හදන්න කියලා දාපු කැබිනට්‌ පත්‍ර තාමත් තිබෙනවා. තෙල් පිරිපහදුව හදන්න ඒතුමාට කොපමණ ඉඩ තිබුණද? එක එක්‌කෙනාට චෝදනා කරන්න හරිම ලේහෙසියි. නමුත් කරන්න තිබූ කාලයේදී ඒa දේවල් හරියට කළා නම් මෙහෙම චෝදනා කරන්න වෙන්නේ නැහැනේ.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි කිහිපයක්‌ ඉන්දියානු තෙල් සමාගමට බදු දීම මේ ප්‍රශ්නයට තවත් හේතුවක්‌ද? මෙම තෙල් ටැංකි නැවත අප රටට ලබා ගැනීමට නොහැකිද?

මෙය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මැතිනිය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා මෙය නොකළේ ඇයි? අපිත් කෑගැහුවනේ වරාය නගරය අයින් කරනවා කියලා. ගිවිසුම් ගහපු පසු එහෙම ගන්න බැහැ. මේ කටයුතු රටවල් අතර කෙරෙන දේවල්.

මේ වගේ බරපතළ තීන්දු තීරණ ගන්න විට රජයන් මීට වඩා සිතිය යුතු නැද්ද?

අනිවාර්යයෙන්ම සිතන්න ඕන. මම ඒ අදහසට සියයට සියයක්‌ එකඟයි. පාඩු ලබන ඒ ආයතන සඳහා ආයෝජකයන් ගෙනාවට ප්‍රශ්නයක්‌ නැහැ. නමුත් ලාභ ලබන ආයතන පුද්ගලීකරණය කරන්න හොඳ නැහැ. 

රටේ ඉන්ධන වෙළෙඳපොළ, ජලය, සෞඛ්‍ය වැනි දේවල් රජයේ ඒකාධිකාරය යටතේ තිබිය යුතු යෑයි ඔබ සිතන්නේ නැද්ද?

මගේ පුද්ගලික අදහස ඔව් යන්නයි. ජාතික ආරක්‌ෂාව වගේම, බලශක්‌තිය, සෞඛ්‍ය, අධ්‍යාපනය, ජලය තිබිය යුත්තේ රජයේa ඒකාධිකාරය යටතේයි.

සපුගස්‌කන්ද තෙල් පිරිපහදුව සකසන්න ආයෝජනය නොකරන රජය චීන මර්චන්ට්‌ සමාගමට හම්බන්තොට ලොකුම තෙල් පිරිපහදුව තනන්න ඉඩ දෙන්න යනවා. ඒ සමාගම ඉල්ලීම් කර තිබෙන්නේ ඔවුන් පිරිපහදු කළ තෙල් සියයට හතළිහයක්‌ මෙරට වෙළෙඳපොළ වෙත ලබාදීමටයි.

තාම මගෙන් නම් එහෙම ඉල්ලලා නැහැ.

ඒ පිළිබඳ සාකච්ඡා වෙනවා නේද?

මාත් සමඟ නම් නැහැ. මගේ ප්‍රමුඛ අරමුණ සපුගස්‌කන්ද පිරිපහදුව සෑදීමයි. 


සාකච්ඡා කළේ - සිරිමන්ත රත්නසේකර
« PREV
NEXT »