BREAKING NEWS
latest

728x90

468x60

Thursday, November 02, 2017

යුද්ධය අවසන් වුවත් යුද්ධයට මුල්වූ සැබෑ ප්‍රශ්නවලට විසඳුම් ලැබී නෑ

යුද්ධය අවසන් වුවත් යුද්ධයට මුල්වූ සැබෑ ප්‍රශ්නවලට විසඳුම් ලැබී නොමැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (1) පැවැසීය.
1978 ක්‍රියාත්මක කළ දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමය ශක්තිමත් කර මන්ත්‍රීවරුනට සිය දිස්ත්‍රික් සංවර්ධනයට බලය දුන්නේ නම් ප්‍රශ්න මෙතරම් දුරදිග නොයන බව පෙන්වාදුන් අගමැතිවරයා සියලු දෙනා එක්වී රටක් ලෙස විසඳුම් සොයා එක්ව ඉදිරියට යමු යැයිද පැවැසීය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය ඊට හොඳම ක්‍රියාවලිය බව පෙන්වාදුන් අගමැතිවරයා සියලු පක්ෂ කණ්ඩායම් එකට එක්ව ඇති බැවින් මෙතැන සිට විසඳුම් සොයමුද නැතහොත් විනාශ වෙමුද යන්න සිතා තීරණ ගතයුතු බවත් පැවැසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබඳ සිව්දින විවාදයට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.
විපක්‍ෂ නායකතුමාගේ කථාවෙන් අපට එක දෙයක් පැහැදිලි වුණා. ඒ තමයි, අප මේ රටේ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කරගෙන, මේ ඒකීයභාවය ආරක්‍ෂා කරගෙන විසඳුම් සොයන්න වුවමනායි කියන එක. පළමුවෙන්ම මා කියන්න කැමැතියි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පිළිබඳ. මෙය පත් කළේ පාර්ලිමේන්තුවේ යෝජනාවක් අනුවයි. සමහරු අහනවා, 'කොහොමද මෙය කරන්නේ?' කියා. පාර්ලිමේන්තු මැතිවරණයට ඉස්සර වෙලා මා හිතන විධියට ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ජන වරමක් ඉල්ලුවා, ව්‍යවස්ථාදායක මණ්ඩලයක් ඇති කරලා නව ව්‍යවස්ථාවක් ගෙන එන්න. අපිත් ඒ ගැන කතා කළා. පාර්ලිමේන්තු මැතිවරණයේ දී අපි ඒ ගැන කතා කරලා වරමක් ලබා ගත්තා. එහෙම නම්, පක්‍ෂ ගණනාවකට වරමක් ලැබුණා ව්‍යවස්ථාදායක මණ්ඩලයක් මාර්ගයෙන් අලුත් ව්‍යවස්ථාවක් සකස් කරන්න. ජනතාව දුන් ඒ වරම අනුවයි අප ක්‍රියා කරන්නේ. ඒ වරමින් පිට යන්න බැහැ. කාටවත් කියන්න බැහැ, 'ඒ වරම අහෝසි කරන්න' කියා. අපි මෙහි දී සාර්ථක වන්න පුළුවන්; අසාර්ථක වන්නත් පුළුවන්. ඒක වෙනම දෙයක්. ඒ වරම අනුව තමයි අප ක්‍රියා කරගෙන යන්නේ. ඒ වරමේ සඳහන් කර තිබෙන වැඩ කටයුතු අනුව තමයි අපට ක්‍රියා කරන්න වෙන්නේ. මොකක් ද අපට පැවරුණු කාර්යය? ඒ තමයි. ශ්‍රී ලංකාව සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම පිළිබඳ සලකා බලා ජනතාවගේ අදහස් හා උපදෙස් ලබාගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 වන ව්‍යවස්ථාව යටතේ ඒ වෙත පැවරී ඇති බලතල ක්‍රියාත්මක කරමින් පාර්ලිමේන්තුව විසින් සලකා බලනු පිණිස ව්‍යවස්ථා පනත් කෙටුම්පතක් සැකසීමේ කාර්යය. එහෙම නම්, අපට කාර්ය භාරයක් පවරා දී තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේ මූලික පියවර හැටියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතක් සකස් කරන්න. පාර්ලිමේන්තුවට තිබෙන්නේ, ඒ කෙටුම්පත සම්මත කරන එක පමණයි. ඒ සඳහා විවිධ කාරක සභා පත් කළා. ඒ අනුව මෙහෙයුම් කමිටුව කියා එක් අනුකාරක සභාවකුත්, තවත් අනුකාරක සභා ගණනාවකුත් පත් කළා. දැනට අනුකාරක සභා 6ක් පත් කර තිබෙනවා. තවත් එකක් යෝජනා කළා. ඒ අනුව අනුකාරක සභා 7 ක් පත්කර තිබෙනවා. ඒ අනුකාරක සභාවලට තමයි වැඩ කටයුතු කරන්න ඉඩ දුන්නේ. අපේ මෙහෙයුම් කමිටුව අනුකාරක සභා 6කට විෂයයන් 6ක් බාර දුන්නා. ඊට අමතරව, සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තත් කාර්යය කමිටුවක් පත් කළා.
ඒ විෂයයන් සියල්ල ඒ කමිටුවලට භාර දුන්නා. ඒවායෙන් ලැබුණු වාර්තා මේ පාර්ලිමේන්තුවට මේ සභාවට ව්‍යවස්ථාදායක සභාවට ලබා දී තිබෙනවා. එහෙම නම්, අප ඒ වැඩ කටයුත්ත කරලයි තිබෙන්නේ. ව්‍යවස්ථාදායක සභාව හැටියට අපි ඔක්කෝම එකතු වුණා, අපි ඔක්කෝම එකඟ වුණා. අපේ පක්‍ෂවලට වරමක් තිබුණා. ඒ අනුව අපි පළමු වන පියවර ගත්තා. ඊට පසුව, ඉතිරි විෂයයන් ගැන අප ගත යුතු පියවර වුණේ මොකක්ද? ඒ අවස්ථාවේ දී අපේ මෙහෙයුම් කමිටුව තීරණය කළා කිසිදු අනුකමිටුවක් වෙත බාර නුදුන් ඉතිරි විෂයයන් සම්බන්ධයෙන් කටයුතු කරන්න. එතැන වැදගත් කාරණා, එනම් රජයේ ස්වභාවය, බුද්ධාගම, බලය බෙදා හැරීම, අධිකරණය හා සම්බන්ධ කරුණු ගණනාවක් තිබුණා. ඒවා වෙන් වෙන්ව ගන්නත් අමාරුයි. ඒ ඔක්කෝම එකතු කරගෙන එක රාමුවක් තුළ සිට තමයි අපට වාර්තාව සකස් කරන්න තිබෙන්නේ. අපි මේ ගැන පවතින අදහස් විශාල සංඛ්‍යාවක් පිළිබඳ සාකච්ඡා කළා. එසේ සාකච්ඡා කරද්දී මේ සභාවේදීම මේ පාර්ලිමේන්තුවේ දී ඇහුවා, 'මේ කමිටුව මොනවාද කරන්නේ? එය අපට දැනුම් දෙන්න' කියා. ඒ නිසා අප ඒ අවස්ථාවේ දී මේ අතුරු වාර්තාව සකස් කළා. මේ සභාවට දැනුම් දෙන්න. එහෙත් ඒ එක්කම බැලුවා, යම්කිසි යෝජනා කීපයකුත් ඉදිරිපත් කරන්න. මොකක්ද අප ඉදිරිපත් කර තිබෙන්නේ? '73 වරක් රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් කරන ලද සාකච්ඡා පිළිබිඹු කරන ප්‍රතිපත්ති හා සුත්‍රණයන් මෙම වාර්තාවේ අන්තර්ගත වේ' කියායි අප සඳහන් කළේ. අප කතා කරපු කරුණු ගැන මිස වෙනත් යෝජනා ස්ථීරත්වයන් මොකවත් නැහැ. අන්න ඒ යෝජනා ගැන පමණයි අප කතා කළේ. මේක ව්‍යවස්ථා කෙටුම්පතක් නොවෙයි; නීතිමය කෙටුම්පතක් නොවෙයි. මට පුදුමයි සමහර අය ගැන. ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙන වාර්තාව කියවන විට එය ඊටත් වඩා පැහැදිලියි.
එහි මෙසේ සඳහන් වනවා:
'contains principles and formulations that reflect the deliberations of the Steering Committee of the Constitutional Assembly that met 73 times..'
විවිධ අදහස් තිබුණා. අන්න ඒවා පිළිබිඹු කරන්න යෝජනා කළා. ඒ අදහස් ගැන තවත් විකල්ප යෝජනා තිබුණා. සමහර විකල්ප යෝජනා පාගත සටහන් හැටියට ඇතුළත් කරන්න පුළුවන්ද කිව්වා. අපි කිව්වා. 'පාගත සටහන් වුවමනා නැහැ. එහෙම පාගත සටහන් තියන්න එපා. මේ වාර්තාවේම තමන්ගේ අදහස් ඉදිරිපත් වෙන්නට ඕනෑ' කියා. වාර්තාවේ පළමුවන කොටසේ තිබුණේ පිළිබිඹු වන අදහස්. දෙවන කොටසේ තිබුණේ තමන්ගේ අදහස්. තමන්ගේ අදහස් ඒ කාරණාව පිළිබඳ විතරක් නොවෙයි. ව්‍යවස්ථාව ගැනත් අදහස් තිබෙනවා නම් සම්පූර්ණයෙන්ම දාන්න. අපට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද අපි මෙහාට එවන්නේ රැස්වීම් හැත්තෑතුනක සාකච්ඡා කර පිළිබිඹු වුණු අදහස් ටිකයි. ඒ සාමාජිකයන්ට වුවමනා අදහස් ටිකයි. අන්න එහෙම වාර්තාවක් අපි මෙතැනට ඉදිරිපත් කර තිබෙන්නේ. මේක ව්‍යවස්ථාවක්වත් ව්‍යවස්ථා කෙටුම්පතක්වත් වෙන කාරණයක්වත් නොවෙයි. දැන් මෙතැන තිබෙන්නේ මේ සභාවට ගෙනැවිත් මේ සභාවේ අදහස් දැන ගත්තාට පස්සේ ඊළඟ පියවර ගන්නයි.
ගරු සභාපතිතුමනි,
ඔබතුමා බ්‍රහස්පතින්දාටත්, හෙට දිනයේත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ රැස්වීම පැවැත්වීමට කටයුතු කරනවා. ඒක හොඳයි. මන්ත්‍රීවරුන් සියලු දෙනාටම අදහස් ප්‍රකාශ කරන්නට පුළුවන්. ඊට පස්සේ අපි මොකක්ද කරන්නේ? දැන් තමයි අපට වැඩකටයුතු ආරම්භ කරන්නට තිබෙන්නේ. මේ අදහස් සියල්ලම අරගත්තායින් පස්සේ මොකද කරන්නේ. මේ ව්‍යවස්ථාදායක සභාව ඇති කරපු 16 වෙනි යෝජනාවේ තිබෙනවා. ඒ කියන්නේ අනුකමිටු හයේ- '5 වගන්තිය යටතේ පත් කරන ලද අනුකමිටුවල' සහ මහජන අදහස් සලකා බැලීමෙන් අනතුරුව මෙහෙයුම් කමිටුව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය. එකී වාර්තාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් යෝජනාවක් ද සමඟ ඉදිරිපත් කළ යුතුය කියා. දැන් අපිට එතැනට එන්නට තිබෙන්නේ. අපි තවම එතැනට ඇවිත් නැහැ. එතැනට යන්න ඉස්සෙල්ලා මේ අන්තර් වාර්තාවේ තිබුණු අදහස් අරගන්න. අපි මෙතැන සඳහන් කළ පරිදි මේ අනු කමිටු හයේ යෝජනා තවම සලකා බලා නැහැ. මහජනතාවත් එක්ක අපි සාකච්ඡා කර නැහැ. අපි දැනට එක කමිටුවක් පත් කළා, ජනතා අදහස් ගන්නටය කියා. ඒකවත් අපි සලකා බලා නැහැ. මේ ව්‍යවස්ථාදායක සභාවේ අනුකමිටුවක්. එම නිසා අපේ අතුරු වාර්තාව දෙන්නට තිබෙන්නේ මේ සභාවට. ඒ අදහස් අරගත්තායින් පස්සේ මේ සභාව එකඟ නම් අපිට තිබෙන්නේ ඉතිරි වැඩකටයුතු කරන්න. දැන් තමයි වාර්තාවක් අරගෙන එම වාර්තාව කෙටුම්පත් යෝජනාව සමඟ ම ආපසු මේ සභාවට යවන්න තිබෙන්නේ. දැන් අපි මේ අවස්ථාවේ දී මේ අනුකමිටු වාර්තාව සලකා බලනවා.
ගරු සභාපතිතුමනි,
ඒ එක්කම මාත් ප්‍රකාශ කර තිබෙනවා. අපේ ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කර තිබෙනවා. අපි මහානායක ස්වාමීන් වහන්සේ වෙනම හමු වන්නට යනවා. අනුනායක ස්වාමීන් වහන්සේ හමු වෙනවා. අපේ ආගමික නායකයන් හමු වෙනවා. මෙහෙම විශාල සාකච්ඡාවක් ඇති කර ගන්නවා. මේ ගැන අදහස් කුමක්ද කියා බලන්න. මේක සුමානයකින් කරන්නට බැහැ. මා හිතන හැටියට පෙබරවාරි, මාර්තුවලටත් වැඩි කාලයක්යයි. මොකද පළාත් පාලන ඡන්ද කරන්න මාසයක් අරගන්න වෙයි. ඒ කාලයේ දී මේවා කථා කර කර ඉන්න බැරි වෙනවා. නත්තලත් තිබෙනවා. සිංහල අවුරුදු කාලය වෙනතුරු හෝ මේ සාකච්ඡා අපිට ගෙනියන්නටයි තිබෙන්නේ. එතැන දී මේ අදහස් අර ගන්නම්. ජනාධිපතිතුමා කිව්වා, ඊටපසු ඒ නායකයින් එතුමා ආපසු රැස් කරනවා කියා. වෙනම ගිහින් හමු වෙමු. අපි ඒ අයත් එක්ක සාකච්ඡා කරමු. පක්‍ෂ හැටියට අපි මෙතැන සාකච්ඡා කරමු. ඊළඟට මහජන නියෝජිත අදහස් තිබෙන වාර්තාවත් අරගෙන සලකා බලමු. අපි දැනට ඒවා මොකුත් ඇතුළත් කර නැහැ. ඇත්ත වශයෙන්ම මම එය කියවලාවත් නැහැ. වුවමනා නැහැ. දැන් මෙතැන තිබෙන පළමුවන පියවර අපේ ව්‍යවස්ථාදායක සභාවේ කමිටුව, ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කරනවා. අතුරු වාර්තාව ඉදිරිපත් කළා. දැන් ඒක අවසානයි. දැන් අපේ වටේ වාර්තාවක් ආරම්භ කරන්න ඉස්සෙල්ලා ජනතාවත් එක්ක මෙතැන පුළුල් සහයෝගයක් තියාගන්න යුතුකමක් තිබෙනවා. ජනතාවත් එක්ක සාකච්ඡා කරන්න. ඒක අවසන් කළාම තමයි අපි එකඟත්වයකට ඇවිත් ආපසු ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කරන්නට තිබෙන්නේ. ව්‍යවස්ථාදායක සභාව ඒක වාද කළායින් පස්සේ ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිතුමාට කියන්නට පුළුවන් සංශෝධන ඇතුළත් කර අවසාන වාර්තාව මෙතැනට එවන්න කියා. මොකුත් නොකියා ඉන්නත් පුළුවන්. නැත්නම් එතුමා දෙන යෝජනාව ව්‍යවස්ථාදායක සභාවට ප්‍රති‍ක්ෂේප කරන්නටත් පුළුවන්. ඒක පිළිගත්තොත් කියනවා, එහෙනම් සංශෝධන ඔක්කොම ඇතුළත් කර අවසාන වාර්තාව මේ සභාවට දාන්න.
මේ සභාවට දාලා ඒක සම්මත වුණේ නැත්නම් මේ සභාවත් අහෝසි වෙනවා; අපේ වැඩ කටයුතුත් අහෝසි වෙනවා. මේක සාමාන්‍ය ඡන්දයෙන් සම්මත වුණොත් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරලා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන් සම්මත වුණොත් ආපසු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. නිල වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත හැටියට පාර්ලිමේන්තුවට ගෙනෙන්න කියලා. ඒත් ව්‍යවස්ථා සභාව තුනෙන් දෙකක බලයකින් මේක සම්මත කර ගත්තොත් කෙළින්ම කැබිනට් මණ්ඩලයට යනවා. කැබිනට් මණ්ඩලය ඒක ව්‍යවස්ථා කෙටුම්පත හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනෑ. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ තීරණයක් අරගෙන, එතැන දී වුවමනා නම් ජනමත විචාරණයකට යන්න පුළුවන්. ඉතින් මේක මේ හදිසියේ ගෙනෙන්න පුළුවන් එකක්වත්, රට බෙදන්න පුළුවන් එකක්වත් නොවෙයි. අපි දීර්ඝව සාකච්ඡා ඇති කරලයි වැඩ කටයුතු කරගෙන යන්නේ. එහෙනම් මෙතැන රහසක් නැහැ. දැන් මේක පටන් ගත්තා විතරයි. අපට දැන් තිබෙන්න් ඉදිරියට ගෙන යන්නයි.
දැනට අපේ අදහස් ප්‍රකාශ කරලා විවිධ අදහස් තිබෙනවා. එකඟත්වයකට එන්නේ කොහොමද කියලා බලමු. මේ වාර්තාවේ තිබෙන වැදගත්කම මොකක්ද? පළමු වතාවට හැම පක්‍ෂයකම එකඟත්වයක් තිබෙන වාර්තාවක් මේ සභාවට ඉදිරිපත් කර තිබෙනවා. 1972 ෆෙඩරල් පක්‍ෂය සහභාගී වුණේ නැහැ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනෙන වෙලාවේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සහභාගී වුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අන්තිමට ඒකෙන් පිට වෙලා ගියා වාර්තාවක් දීලා. මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා ගෙනාවා, package එක. පළාත් සංගමය ඒකටත් එකඟ වුණේ නැහැ. මා හිතන්නේ ඒක පිච්චුවා. ඊට පස්සේ මහාචාර්ය තිස්ස විතාරණ ඇමැතිතුමා ආවා. ඒකත් සාර්ථක වුණේ නැහැ. දැන් පළමුවැනි වතාවට අපි ඔක්කොම එකඟත්වයෙන් මෙතැනට වාර්තාවක් දාලා තිබෙනවා. විවිධ අදහස් තිබෙන එක වෙනම දෙයක්. පළමුවැනි වතාවටයි හැම පක්‍ෂයක්ම එකඟත්වයෙන් වාර්තාවක් මේ සභාවට ආවේ. ඒකෙන් ප්‍රයෝජනය අරගෙන අපි ඉදිරියට යනවාද? මේක විනාශ කරනවාද? ඉදිරියට යනවා කියන්නේ එක පාර එකඟ වෙනවා කියන එක නොවෙයි. ප්‍රශ්න ගණනාවක් තිබෙනවා විසදා ගන්න. ඒත් අපි තීරණය කරන්න ඕනෑ, අපි සියලු දෙනාගේම සහභාගීත්වය ඇතිව ඉදිරියට ගිහිල්ලා මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න. අපි සටන් පාඨවලට යන්න ඉස්සෙල්ලා බලමු මොකක්ද තිබෙන ප්‍රශ්නය කියලා.
බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුමේ සිටම මේ ප්‍රශ්නය ඇති වුණා. එකක්, සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කළාම ද්‍රවිඩ භාෂාවේ තත්ත්වය. ඊළඟට, තමන්ගේ පළාත්, ප්‍රදේශ පාලනය කිරීම. රට සභා. මේ ප්‍රශ්න තිබුණා. ඒ නිසා ඒක ක්‍රියාත්මක කරන්න බැරි වුණා. දෙවනුව ආවා, ඩඩ්ලි-චෙල්වනායගම් ගිවිසුම. ඩඩ්ලි-චෙල්වනායගම් ගිවිසුම බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම තරම් ඉදිරියට ගිය එකක් නොවෙයි. කෙසේ හෝ ද්‍රවිඩ භාෂාව යොදවා ගන්නත්, ඒ එක්කම රට සභා ඇති කරන්නත්, දිස්ත්‍රික් සංවර්ධන සභා ඇති කරන්නත් සාකච්ඡා කළා. එතැන දී පෙළ පාලියක් ගිහිල්ලා භික්‍ෂුන් වහන්සේ නමක් මරණයට පත් වුණා. ඒකත් එතැනින් ඉවර වුණා. ඊළඟට, ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ව්‍යවස්ථාවක් සකස් කරන්න යන අවස්ථාවේ දී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ කිව්වා, 'අපට දැන් වෙනම රාජ්‍යයක් සඳහා වරම තිබෙනවා' කියලා. කෙසේ හෝ එතුමා ඉදිරිපත් කරපු දිස්ත්‍රික් සංවර්ධන සභාවලට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සහභාගි වුණා; ක්‍රියා කළා; වැඩිපුර බලතල ඉල්ලුවා. එතුමා බලතල දෙන්න ලැහැස්ති වුණත්, අනෙක් අය ඒකට විරුද්ධ වුණා. මා හිතනවා, එදා අපි දිස්ත්‍රික් සංවර්ධන සභාවලට වැඩිපුර බලතල දුන්නා නම් අද මේ රටේ මේ තත්ත්වය ඇති වන්නේ නැහැ කියලා. අපි ඒක සම්මත කළා; බලය දුන්නා; ඊට පස්සේ අපි ක්‍රියා කළා, බලතල වැඩි කරන්න. නමුත්, එතැන දී විරුද්ධත්වයක් ආවා. මේවා ප්‍රමාද වුණා. අපි අතර සාකච්ඡා තිබුණා. ඒවාට මම, ගරු සම්පන්දන් මැතිතුමා, අපි ඔක්කෝම සහභාගී වුණා. ඒ වෙලාවේ මේ බලතල දුන්නා නම් අද මේ රටේ මේ තත්ත්වය ඇති වන්නේ නැහැ.
මොකද, දිස්ත්‍රික් සංවර්ධන සභා එක්ක එකතු වෙලා තමන්ගේ දිස්ත්‍රික්කය සංවර්ධනය කරන්න මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලැබුණා. නමුත් අවාසනාවකට අප එය නැති කරගත්තා.
ඊළඟ කාරණය මේකයි. යුද්ධයක් ඇවිල්ලා අප දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා. 'දහතුන්වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයෙන් මේ රට නැති වෙනවා' කියා එදා සමහර අය කිව්වා. ඒත් ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා, 'ඒකෙන් රටේ ඒකීයභාවය ආරක්ෂා වෙනවා' කියලා. අද හැම එක්කෙනාම කියනවා එම සංශෝධනයෙන් රටේ ඒකීයභාවය ආරක්ෂා වෙනවා කියලා. එදා ඒකට විරුද්ධ වුණු අය: රට බෙදනවා කියපු අය : රට විනාශ වෙනවා කියපු අය ; දැන් ඒකට කැමැතියි. දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එනකොට රටේ යුද්ධයක් තිබුණා. එම නිසා යුද්ධය විසදා ගන්න තිබුණා. අපි අවස්ථා කීපයක් බැලුවා. යුද්ධය කොහොමත් අවසන් වුණා. යුද්ධය අවසන් වුණාට ප්‍රශ්නය අවසන් වුණේ නැහැ. මේ ප්‍රශ්නය අනික් අතටත් ගියා. ද්‍රවිඩ අයට විතරක් නොවෙයි, මුස්ලිම් අයටත් ඒ ප්‍රශ්නයට මුහුණ දෙන්න සිදු වුණා.
අන්තිමට මල්වත්තේ මහානායක ස්වාමීන් වහන්සේටත් ඒ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. පන්සලත් වට කළා. අන්තිමට මොකක්ද සිදු වුණේ? 2015 දී අපිට ඡන්දය ලැබුණා. මේ ප්‍රශ්නය දැන් විසඳලා දමමු. අපි රටක් හැටියට ඉදිරියට යමු. අන්න ඒ කාරණයට විසඳුම් දෙන්න. විවිධ විසඳුම් තියෙන්න පුළුවන්. අපි සාකච්ඡා කරලා හොඳම ඒවා තෝරා ගනිමු. සභාවක් හැටියට අපි මෙතැනට ඇවිත් තිබෙන්නේ ඒ විසඳුම දෙන්නයි. නිකම් රට නැතිවෙනවා කියා කෑගහන්න නොවෙයි. අපි සිංහල බෞද්ධයෝ නැති වෙනවා කියලා කෑගහන්නේ නැහැ. මෙතැන ඉන්න හුඟක් අය සිංහල බෞද්ධයෝ. සිංහල බෞද්ධ නොවන මෙතැන අය ඉන්නවා. ඒ අය ඇරුණාම මෙතැන ඉන්න බහුතරයක් සිංහල බෞද්ධයෝ. අපි මෙතැන ඉන්නේ සිංහල බෞද්ධයෝ නැති කරන්නද? අප මේ ඉන්නේ ඒකීයභාවය නැති කරන්නද?
එදා දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගේනකොට සමහර අය කිව්වා, ඒකීයභාවය නැහැ කියලා. අපි කිව්වා ඒකීයයි කියලා. අන්තිමට අපි කිව්ව කාරණය හරි ගිහින් තිබෙනවා. ඒකීයභාවය කුමක්ද කියා අපට තේරෙනවා. අද ලංකාවේ තිබෙන ඒකීයභාවය එංගලන්තයේ තිබෙන unitary concept එකට වඩා ඉදිරියෙන් තිබෙන්නේ. අපට ඒකීයභාවය නැති කරන්න වුවමනාවත් නැහැ. සිංහල බෞද්ධයන් වට්ටන්න වුවමනාත් නැහැ. අපි ඔක්කොම ඉන්නේ ඒකීයභාවය ආරක්ෂා කරන්නයි. ඒ නිසා මෙතැන කෑ ගහලා වැඩක් නැහැනේ. සිංහල බෞද්ධකම නැති කළා කිව්වාය කියා අපි කවුරුවත් බයේ දුවන්නේ නැහැ. අප දන්නවා අප එහෙම කර නැති බව ඒ නිසා අපට පුළුවන් ඒක කියන්න.
අපි ඇත්ත වශයෙන්ම වුවමනා තැනට එමු. වුවමනා තැන ගැන කථා කරන්න. අපේ දේශපාලනය එතැනට එන්න ඕනෑ. මේ තිබෙන ප්‍රශ්නය කුමක්ද? අපි ඒක විසඳමු. මෙතැනට එන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාවත්, රනිල් වික්‍රමසිංහ අගමැතිවත්, යූඑන්පී එකවත්, ජාතික ආණ්ඩුවවත් නොවෙයි. ව්‍යවස්ථාදායක සභාවයි. ඒකයි අප මේ පාර්ලිමේන්තුව එවැනි සභාවක් කළේ. මේ කාර්යය සාර්ථක වෙනවා නම් අපි ඔක්කොම ලැහැස්තියි එහි ගෞරවය අරගන්න. කවුරුවත් කොන් කරන්න වැඩක් නැහැ. පාර්ලිමේන්තුව අපි බෙදමු. මේ ව්‍යවස්ථාව සකස් කරන කටයුත්තේ දී ව්‍යවස්ථාදායක සභාව හැටියට අපි ක්‍රියා කරමු. ඒ නිසා අපි ජාතික එකඟතාවකට එමු. කිසිම යෝජනාවක් අප සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළ යුතුයි කියා මම හිතන්නේ නැහැ.
ගරු සභාපතිතුමනි,
මම යෝජනා ගණනාවක් ගැන කථා කරමින් සිටියේ. අපේ මෙහෙයුම් කමිටුවට ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය ගැන මම දැන් කියන්නම්. එතුමන්ලාගේ යෝජනාවලියේ එක තැනක කියා තිබෙනවා, 'අතිපූජ්‍ය මහානායක හිමිවරුන් විසින් පසුගියදා නිකුත් කරන ලද ඒකීය රාජ්‍යය, සම්බුද්ධ ශාසනය හා රටේ පැවැත්ම අනතුරකට පත්වන ව්‍යවස්ථාවක් සකස් නොකරන ලෙසට කරන ලද ප්‍රකාශනය සමඟ අප එකඟ වන බව ද වැඩිදුරටත් මෙහිලා සටහන් කරමු.' කියලා.
ඔබතුමන්ලා විතරක් නොවෙයි මමත් ඒකට එකඟ වෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් ඒකට එකඟ වෙනවා.
ගරු සභාපතිතුමනි,
ඔය පෙනෙනවානේ. මම කිව්වේ, ඔබතුමන්ලා එක්ක එකඟ වෙලා මේ ගැන කථා කරන්න අපි ලැහැස්තියි කියන එකයි.
මෙතැන කෑ ගසන්නේ ඒක එපා කියන අය. මේ ගොල්ලන්ට ඕනෑ කරන්නේ වෙන එකක්. තමුන්නාන්සේලා බයයිද? මම කිව්වේ අපි එකඟ වනවා කියලායි. අපි යෝජනා ටික දැන් සකස් කරමු. මෙතැන තිබෙන්නේ reflection. ඒකයි ඇති වුණු ප්‍රශ්නය. මෙතැනින්ම ආ විකල්පයක් අරගෙන මම එකඟ වනවා. මෙතුමන්ලා එකඟ වන්නේ නැත්නම්, මම මොනවා කරන්නද ? මගෙන් අහන්න ඉස්සෙල්ලා මල්වතු පාර්ශ්වයේ මහා නායක හාමුදුරුවන්ගෙන් අහන්න, පන්සල වට කළේ කොහොමද කියලා. මම ඒවා අදින්න යන්නේ නැහැ. දැන් තිබෙන වෙනස මේකයි. ඒකාබද්ධ විපක්ෂයේ සමහර අය මේකට ඇහුම් කන් දෙනවා. ඒ වාගේම ඔවුන් මට පිළිතුරු දෙයි. සමහරු එකඟ වෙයි. සමහරු විරුද්ධ වෙයි. අනික් අය කෑ ගසනවා. ඒ ගොල්ලන්ට තේරෙන්නේ නැත්නම්, මහා නායක ස්වාමීන් වහන්සේ කියන්නේ මොකක්ද? මම මොනවා කරන්නද? මේ සම්බන්ධයෙන් මම වෙනම කථා කරලා තිබෙන්නේ. මේ ගොල්ලන් කැමති නැහැ, අපි එකඟ වනවාට. මම බලනවා, එකඟ වන්න. ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ මෙම යෝජනාවලියේ මෙසේත් සඳහන් වනවා.
'ඒකීය රාජ්‍ය ආරක්ෂා කර ගනිමින් සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුලු සියලු ජනවර්ගවලට සාමකාමී හා සෞභාග්‍යවත් ශ්‍රී ලංකාවක් ගොඩනැගිය හැකි බව තරයේ අපි විශ්වාස කරමු.'
ඔබතුමන්ලාගේ උපලේඛනය 1හි මෙසේ සඳහන් වනවා.
'පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා තිබිය යුතු වීම හා එය අත්හළ නොහැකි විය යුතු වීම'
මේ කියමනට විපක්ෂ නායකතුමාත් එකඟයි. I would say you all agree with it. Do you all agree with it? මේ ගොල්ලනුත් එකඟ වනවා. අපිත් එකඟ වනවා. අපි එකඟ වෙලා වැඩ කරමු. අපි එකඟයි කියන කොටත් මේ ගොල්ලන් විරුද්ධ වනවා. මේක හරි එකක්නේ. තමන්ගේ නායකයාට විරුද්ධව යනවානේ ? ඒකයි අපිත් එකඟයි. මේ ඔබතුමන්ලාගේ උපලේඛනය 1.
එම උපලේඛනය 1හි තව දුරටත් මෙසේ සඳහන් වනවා.
'ජනරජයට අයත් දේශය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 5 වන ව්‍යවස්ථාවේ අනුව විය යුතුය.' අපි ඒක සලකා බලන්න ලෑස්තියි. ඒක අපට ඒ විධියටම දමන්න පුළුවන්. නැත්නම් ලෝකයා අපට පෙන්වා තිබෙන මායිම් අනුව දමන්න පුළුවන්. නැත්නම් දෙකම දමන්න පුළුවන්. තමන්ගේ මායිම් දමන එකත් හොඳයි. මේ දෙකම අපි දමන්නේ මේවාට විසඳුම් හොයන්න පුළුවන් නිසායි. මේවා අමාරු ඒවා නොවෙයි. බුද්ධාගම ආරක්ෂා කරන්නත් පුළුවන්. දැන් මේ ඔක්කෝම දැම්මේ මෙතැන වාද කරන්නයි. ඔබතුමන්ලාගේ අදහස් ගත්තාට පස්සේ අපි ඉදිරියට යන්නම්.
පළාත් ඒකාබද්ධ කිරීම නොකළ යුතුය. දැන් තිබෙන්නේ පළාත් 9යි. මුළු රටේම එකඟත්වයක් නැතිව ඒක 10 කරන්නත් බැහැ, 8 කරන්නත් බැහැ, 5 කරන්නත් බැහැ. 15 කරන්නත් බැහැ. මුළු රටේම මිනිස්සු එකඟ නම්, ඒක 15 කරන්න පුළුවන්. මුළු රටම එකඟ නම්, 3ක් කරන්න පුළුවන්. ඒක ජනතාව තීරණය කරන්න ඕනෑ. මම නොවෙයි. ඔබතුමන්ලා එක කාලයක් කිව්වානේ, 'රුහුණු රට' 'මයා රට' කරන්න කියලා. ඒකට මිනිස්සු එකඟ නම්, අපිත් එකඟයි. අපට කමක් නැහැ. මට ඒක ප්‍රශ්නයක් නොවෙයි. 15ක් දමන්න ජනතාවට ඕනෑ නම්, 15ක් දමන්න පුළුවන්. 5ක් දමන්න ඕනෑ නම් 5ක් දමන්න පුළුවන්. ඒක ජනතාව තීරණය කරයි. නිකම් බලෙන් ගිහිල්ලා ඒකාබද්ධ කරන්න බැහැ. පාර්ලිමේන්තුවට ගිහිල්ලා කියන්න බැහැ. මේ පළාත් දෙක එකතු වනවා කියලා.
අපට කියන්න බැහැ, උතුරු- නැ‍ඟෙනහිර එකතු වෙනවා; සබරගමුව - වයඹ එකතු වෙනවා කියලා. ඒවා අපට කරන්න බැහැ. ජනතාව කිව්වොත් පළාත් 15ක් ඇති කරන්න කියලා එතකොට ඒක කරන්න. ඊළඟට තිබෙනවා, දැනට තිබෙන ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතුය කියලා. හරි, එහෙම නම් අපි ඒකත් සාකච්ඡා කරමු. අපි ඒක ගැන සාකච්ඡා කරන්නත් ලෑස්තියි. අගමැතිවරයා පාර්ලිමේන්තුව විසින් තෝරා ගත යුතුය කියලා තිබෙනවා. ඒකත් අපි කරමු. විරුද්ධ පක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු විසින් තෝරා පත් කර ගත යුතුය. ඔබතුමන්ලා ඒකට විරුද්ධයි ද? ප්‍රසන්න රණතුංග මන්ත්‍රීතුමා කියනවා ඒකට විරුද්ධයි කියලා. මොනවා කරන්නද ? ඔබතුමන්ලා ඒක විසඳාගෙන එන්න. ගරු මන්ත්‍රීතුමාගේ යෝජනාවට එතුමා විරුද්ධයි. ඒකට මම මොනවා කරන්නද? පළාත් සභා ක්‍රමය ඒකීය රාජ්‍යයටයි, ආරක්ෂාවටයි තර්ජනයක් නොවිය යුතුය කියලා තිබෙනවා. මමත් කියන්නේ ඒකයි.
පළාත් සභා තම බලතල පාචිච්චි කළ යුත්තේ මධ්‍යයේ විධායක හා ව්‍යවස්ථාදායක බලයට යටත්ව කියලා තිබෙනවා. ඔව්. මේ සම්බන්ධයෙන් අපේ වැඩිදුර අධ්‍යයන වාර්තා ඉදිරිපත් කරනු ඇත. අපිත් දැන් එවැනි එකක් ගේනවා. මොකද, සෙනෙට් සභාවත් ඇතුළත් කරලා කොහොමද ඒකීයභාවය ආරක්ෂා කරන්නේ, සාමාන්‍යයෙන් අපි ඒක කරන්න ගියේ නැහැ. ඒත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පොරොන්දු වුණ නිසා Thirteenth Plusවලට යන්න අපි බැලුවේ පුළුවන් නම් ඒකටත් උදවු කරගෙන ඒකීයභාවය ආරක්ෂා කරලා එතැනට එන්න. කමක් නැහැ නේද ? ඊළඟට තිබෙනවා පළාත් පාලන ආයතන සතු බලතල ලැයිස්තුවේ ඇති බලතල වැඩි කළ යුතුය කියලා. මම නම් ඒකට කැමැතියි. ඒත්, සමහර ස්වාමීන් වහන්සේලා ඒකට විරුද්ධයි. ඒකට අපි ඔක්කෝම කැමතියි. ඉතිරි බලතල ටිකත් අරගන්නවා. දේශීය ව්‍යාපාරිකයන්ට ප්‍රමුඛත්වය දිය යුතුයි කියලා තිබෙනවා. ඒක කොච්චර හොඳයි ද. කොහොමද ප්‍රමුඛත්වය දුන්නේ ? ගරු දයා ගමගේ ඇමැතිතුමාගේ සමාගම ගිහින් අත්පත් කර ගත්තා. එහෙම නම් ඒක අපි ආපහු දෙමු. ඒ ගොල්ලන් දෙන්න ලෑස්තියි නම් අපි කැමැතියි ඔක්කෝටම සහයෝගය දෙන්න.
රජයේ සුබසාධන නොපිරිහෙලා පවත්වාගෙන යා යුතුය. එයටත් අපි එකඟයි. මැතිවරණ ක්‍රමය වැඩි කේවල මන්ත්‍රී සංඛ්‍යාවකින් හා අඩු සමානුපාතික සංඛ්‍යාවකින් සමන්විත මිශ්‍ර ක්‍රමයක් විය යුතුය කියලා තිබෙනවා. එයටත් අපි එකඟයි. තව මොනවාද අපි කරන්න ඕනෑ ? දැන් විරුද්ධ වෙන්නේ ඇයි? තව මොනවාද තිබෙන්නේ ? දැන් අපි ඔක්කෝම එකට එකතු වෙලා වැඩ කරමු. අපි දැන් වාඩි වෙලා මේ ගැන සාකච්ඡා කරලා එකඟත්වයකට එන්න බලමු. You are not against what I have said here. දෙමළ ජාතික සන්ධානයත් එකඟයි. ජනතා විමුක්ති පෙරමුණත් එකඟයි. තව මොනවාටද විරුද්ධ වෙන්නේ ? අපි මේ කාරණා ටික අපි මහා සංඝරත්නය, අනෙකුත් ආගමික නායකයන් එක්ක කථා කරලා ඊට පස්සේ ඉදිරියට ගෙනි යමු. එච්චරයි මම කියන්නේ. මෙතැන තිබෙන්නේ අතුරු වාර්තාවක් මිසක් වෙන එකක් නොවෙයි. අපි දන්නවා, දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට වාර්තා කීයක් ආවාද කියලා. දේශපාලන පක්ෂ වාර්තා ආවා. අනෙක් සම්මේලන වාර්තා ආවා. මේවා සාකච්ඡා කරන එක හොඳයි. මොකද, මෙතැනින් වෙන්නේ එකතු වෙන එකයි. දැන් මම පෙන්නලා තිබෙනවා, අපි කට්ටියටම එකතු වෙන්න පුළුවන් මූලික යෝජනා මොනවාද කියලා. අපි ඒවා දිහා සලකා බලලා තීරණයක් අරගනිමු. ඒ නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේ දී අපි මේ යෝජනාව තවදුරටත් සාකච්ඡා කරලා බලමු. අපි එකඟත්වයකට එන්න මම හිතන්නේ මේ රටේ ඉතිහාසයේ ජනතාව ඊළඟ පරම්පරා කීපයම අපට ස්තුතිවන්න වෙනවා මේ වැඩ කටයුත්ත අපි කරනවා නම්. එයට ඔබ සියලු දෙනාගේම සහයෝගය ඉල්ලමින් මගේ වචන ස්වල්පය මම අවසන් කරනවා.
« PREV
NEXT »