BREAKING NEWS
latest

728x90

468x60

Thursday, November 02, 2017

එකම මේසයක සිට රට ගැන සැබෑ හැඟීමෙන් සියලු ප්‍රශ්න සාකච්ඡා කරමු

පිල්වලට බෙ දී උද්ඝෝෂණ කළ පමණින් රටේ ගැටලූ විසඳාගත නොහැකි බව ප්‍රකාශ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, බෙදීම සහ වෙන්වීමෙන් ජනතාව සේම, රට ද දිනාගත නොහැකි බවත්, අද අවශ්‍යව ඇත්තේ සියලූදෙනා අවබෝධයෙන් කටයුතු කර මතුව ඇති ගැටලූවලට විසඳුම් සෙවීම බවත් පැවසීය.

බොහෝ ප්‍රශ්න අවුල්කරන අයට එම ප්‍රශ්න විසඳීමේ හැකියාවක් නොමැති අතර එකම මේසයක වාඩි වී රට ගැන සැබෑ හැඟීමකින් යුතුව සියලූ ප්‍රශ්න සාකච්ඡා කිරීමට තමා ගෞරවණීය මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකවරුන්, උගතුන්, බුද්ධිමතුන් යන සියලූදෙනාට ගෞරවයෙන් ආරාධනා කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා (30) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ පැවැති සහජීවන සංගම් හා ජාතික සිවිල් සමාජ සම්මේලන ක්‍රියාකාරීන්ගේ හමුව අමතමිනි.

ජාතික සහජීවන සබඳතා සහ රාජ්‍ය භාෂා අමාත්‍යාංශය මගින් මෙම සමුළුව සංවිධානය කර තිබූ අතර හොඳම සහජීවන සංගම් ඇගයීම සඳහා සහතික පත් පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවැසීය.

මේ කැඳවා ඇති සමුළුව කාලීන අවශ්‍යතාවක්ලෙස මා විශ්වාස කරනවා. සහජීවනය යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද කියන එක ඔබ දන්නවා ඇති. සහජීවනය පිළිබඳ ප්‍රශ්නය අප මූලික වශයෙන් අවධානය යොමු කළ යුතු විෂයක් බව මා සිහිපත් කරනවා. සහජීවනය යනු, අපේ රටේ ජීවත්වන ජනතාව විදියට සියලූ දෙනා අතරේ කතා කළ යුතු ප්‍රශ්නයක් පමණක්ද? සහජීවනය පිළිබඳව කතා කිරීමේ දී මුලින්ම ගෙදරක පවුල් සංස්ථාවේ බිරිය, ස්වාමියා, දරුවන් අතරේ සහජීවනය තියෙන්න ඕනෑ. පවුල් සංස්ථාවේ සහජීවනය නැතිනම් පවුල් සංස්ථාවත් අවුල්. ජීවත් වෙන්න, ජීවන මාර්ගය සකස් කර ගන්න, ජීවිතයේ වටිනාකම් කියා දෙන්න, ජීවිතය ඇගයීමකට ලක් කරන්න, සැමවිටම සෑම මිනිසෙකුටම අයිතියක් තිබෙනවා.

සෑම කෙනෙකුගේම අදහස් සහ මතවලට සෑම කෙනෙක්ම ගරු කළ යුතුයි. සෑම කෙනෙකුගේම හඬට සවන් දිය යුතුයි. අපි සමාජයේ තිබෙන විවිධ ප්‍රශ්න සහ ගැටලූ තේරුම් ගෙන වැඩ කළ යුතු වෙනවා. සෑම මිනිසෙකුගේම සෑම සත්ත්වයකුගේම ජීවිතවල වටිනාකමක් තිබෙනවා. අපි ආදරය කළ යුත්තේ මිනිසුන්ට විතරක් නොවේ, සතුන්ටත් ආදරය කළ යුතුයි. ඒ නිසා ජීවිතවල තිබෙන වටිනාකම් පිළිබදව මුලින්ම අපි තේරුම් ගත යුතුයි.

අපි අද සහජීවනය පිළිබඳ කතා කරන්නේ ඇයි කියන කාරණය සිතිය යුතුයි. සමාජයේ සහජීවනය තිබෙනවා නම් අපිට කතා කරන්න අවශ්‍ය වන්නේ නැහැ. අපිට කතා කරන්න වෙලා තියෙන්නේ සහජීවනය නැති නිසායි . සහජීවනය ගොඩනැ‍ඟීම ජාතික ප්‍රශ්නයක් බවට පත්වෙලා. අපේ රටේ සහජීවනය ගොඩනැ‍ඟීමේ දී මූලික වශයෙන්ම අප සෑම කෙනකු පිළිබඳව අපිට අවබෝධයක් තිබෙන්නට ඕනෑ. තමාගේ ජීවිතයට තිබෙන ආදරය, අශාව, වටිනාකම වගේම අනෙක් ජීවිතවලටත් ඒ වටිනාකම දෙන්න ඕනෑ. ගෞරවය දිය යුතුයි. මිනිස්සු දියුණු වෙන්න දියුණු වෙන්න මිනිස්සු අතරේ සහජීවනය නැතිව ගියා.

භෞතික, තාක්ෂණික වශයෙන් මිනිසුන් දියුණු වුණාට ආධ්‍යාත්මික වශයෙන් දියුණු වුණේ නැහැ. දැනට වසර දහස් ගණනකට කලින් වනචාරිව ජීවත් වූ මිනිසුන් අතරේ හොද සහයෝගයක් තිබුණා. නමුත් සමාජයේ තාක්ෂණය දියුණු වෙනකොට මිනිසුන් ඈත් වුණා. ඒ ඈත් වීමත් සමඟ මිනිසුන්ට බලය පිළිබඳ හැඟීම් ඔළුවට ආවා. බොහෝ වෙලාවට මිනිසුන් බලය ගොඩනඟා ගන්න අදහස් කළා. සමහර වෙලාවට බලය තනිව ලබා ගන්න කටයුතු කළා. ජර්මනියේ හිට්ලර් වගේ කෙනෙක් බොහෝ මිනිස් ඝාතන කළා. නමුත් අවසානයේ කුමක්ද වුණේ. මිනිසුන් මරලා සමාජය ගොඩනඟාගන්න බැහැ. තුවක්කුවෙන් රටවල් පාලනය කළ කාලය ඉවරයි. තුවක්කුවට දැන් මිනිසුන් බය වෙන්නේ නැහැ.

දැන් බලන්න මේ කාලයේ අන්තර්ජාතික වශයෙන් තුවක්කු පත්තු වෙන රටවල් ගණනාවක් තිබෙනවා. ඉරාකයේ වසර කීයක් තිස්සේ තුවක්කු පත්තු වෙනවාද?. ඉරාකයේ ලක්ෂ 15කට වඩා මැරිලා තිබෙනවා. තවමත් මැරෙනවා. ඇෆ්ගනිස්තානයේත් එහෙමයි. තුවක්කුවෙන් ප්‍රශ්න විසඳිලා නැහැ. විශේෂයෙන්ම අපි දන්නවා ජාතිවාදය හා ගෝත්‍රවාදය නිසා ඇතිවන ගැටුම්. ඒවා ඇතිවන්නේ මිනිසුන්ගේ දියුණුව නැතිකම නිසායි. භාෂාව මුල් කරගෙන, ආගම මුල්කරගෙන, සමේ වර්ණය මුල්කරගෙන මිනිසුන් සටන් කරනවා නම් ඒක මොනතරම් ම්ලේච්ඡ ක්‍රියාවක් ද.

අපේ රටේත් පසුගිය දශක කිහිපයේම අත්දැකීම් තිබෙනවා. යුද්ධයක් කියන්නේ කවුරුත් ජය ගන්නා දෙයක් නෙමේ. යුද්ධයෙන් මියයන මිනිසුන්ගේ ජීවිතවල වටිනාකම් තක්සේරු කරන්න බැහැ. යුද්ධය නිසා මියයන මිනිසුන් ගණනය කරන්න බැහැ. යුද්ධයකින් කවුරුත් දිනන්නේ නැහැ කියා කියන්නේ ඒ නිසායි.

අද අපි සෑම කෙනෙකුටම වගකීම් හා යුතුකම් රාශියක් තිබෙනවා. අපේ රටේ ජීවත් වන සෑම කෙනෙක්ම මිත්‍රශීලිව එක පවුලක් ලෙසින් ගොඩනැ‍ඟීම අවශ්‍යයි. මනෝ ගනේෂන් ඇමැතිතුමා මේ කරන්නේ ඒ කටයුත්තයි. අපි සෑම කෙනෙක්ම අනෙක් සියලූ දෙනාට ගරු කරන්න ඕනෑ. අපිට හයියෙන් කෑ ගහන්න පුළුවන්. උද්ඝෝෂණ, පෙළපාළි, උපවාස, සත්‍යග්‍රහ කරන්න පුළුවන්. කොළඹ විවිධ පැතිවල හැමදාම එහෙම තිබෙනවා. නමුත් ඒ තුළ ඇතිවන විසඳම මොනවාද කියලා අපි හිතන්න ඕනෑ. අපි එක එක පාර්ශ්වවලට බෙදී උද්ඝෝෂණ කළාට පිළිතුරු ලැබෙන්නේ නැහැ. එහෙම කරාම අවසන් ප්‍රථිඵලය තමයි තුවක්කු අතට ගන්න එක. ඒ නිසා අපේ නැවත තුවක්කු අතට නොගන්නා විදියට වැඩ කළ යුතුයි. සාධාරණ සමාජයක් ඇති කළ යුතුයි. සෑම කෙනෙකුගේම ආර්ථිකය ගොඩඟන්න ඕනෑ. සෑම කෙනෙකුටම හොඳ අධ්‍යාපනයක්, සෞඛ්‍ය සේවයක් තිබෙන්න ඕනෑ. පොදු ප්‍රවාහන සේවයක් අවශ්‍යයි ජීවත්වීම සඳහා අවශ්‍ය සෑම දෙයක්ම මිනිසෙක්ට ලැබිය යුතුයි. ඒ සඳහා අපි රට ගොඩනඟන්න ඕනෑ. ජනතාව අතර සමගිය සහෝදරත්ව තිබෙන්න ඕනෑ. ජනතාව අතරේ අසමගියෙන්, පිල් බෙදීමෙන්, වෙන්වීමෙන් කවදාවත් ජනතාව දිනන්නෙත් නැහැ, රට දිනන්නෙත් නැහැ. ඒ නිසා අපි සැම කෙනෙක්ම ඒ වගකීම් සහ යුතුකම් ඉටුකළ යුතු වෙනවා.

සමාජයේ ජීවත්වන සෑම කෙනෙක්ම සහෝදරත්වයෙන් ජීවත්වීමේ වැදගත්කම අපි පැහැදිළි කරන්න ඕනෑ. සැකය, බිය, අවිශ්වාසය නැති වෙන්න ඕනෑ. සැකය, බිය, අවිශ්වාසය තිබුණොත් කිසිවිටෙකත් සහෝදරත්වය සහ සමගිය ගොඩනැ‍ඟෙන්නේ නැහැ. ඒ නිසා අපි රජයක් විදියට වගේම පොදු ජනතාව මේ සියලූ සංවිධාන ඒකරාශිවෙලා ඒ වගකීම් යුතුකම් හිතට සහ අතට ගන්න ඕනෑ.

අපි අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන සාකච්ජා කරනවා. ඒ පිළිබඳ සංවාද කරනවා. නමුත් ඒ පිළිබඳ බොහෝ අසත්‍ය ප්‍රචාර පළ වෙනවා. රට බෙදනවා කියලා කියනවා. රට කඩනවා කියලා කියනවා. ජාතිය පාවා දෙනවා කියලා කියනවා. බුද්ධාගම නැති කරනවා කියනවා. ඒ චෝදනා සියල්ලම අපි ප්‍රතික්ෂේප කරනවා. මේ රටේ ප්‍රශ්නයක් තිබෙනවා කියන එක අපි සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕනෑ . ඒ ප්‍රශ්නයට විසඳුම් සොයන්න ඕනෑ. ඒ විසඳුම් සොයා ගැනීමෙන් තමයි අපිට හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්නේ. ඒ නිසා මේ අසත්‍ය ප්‍රචාර කරමින් සමාජය නොමඟ යවන්න එපා කියලා මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ වාර්තාවේ ඒ තිබෙන කරුණු ඕනෑම අයකුට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ නිසා තමයි අදත්, හෙටත්, අනිද්දත් දවස් තුනක් පාර්ලිමේන්තුවේ විවාදයකට ඒ වාර්තාව ලක් කර තිබෙන්නේ. එහි දී එන අදහස් අපට සාකච්ඡා කරන්න පුළුවන්. අපිට නොගැළපෙන දෙයක් තිබෙනව නම් ඒ වාර්තාවෙන් ඉවත් කරන්න පුළුවන්. තව ගැළපෙන දේවල් තිබෙනව නම් එක් කරන්න පුළුවන්. පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම කෙනෙකුටම ඒ පිළිබඳ වගකීමක් තිබෙනවා. මේ පිළිබඳ විවිධ අදහස් සමාජයේ තිබෙනවා. මේ අදහස් නිවැරැදිකර ගන්න මම යෝජනා කිහිපයක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන් එකක් තමයි, මම බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂවල සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීම. මා එයින් බලාපොරොත්තු වෙන්නේ ගැටලූ සහගත දේවල් නිරාකරණය කර ගන්නයි. බහුතරයකගේ අදහස් සමඟ රට වෙනුවෙන් වඩා සුදුසු දේ තෝරා ගන්නයි. ඒ වගේම රටේ සියලූ ආගමික නායකයන්ගෙන් සැදුම්ලත් සමුළුවක් කැඳවන්නත් මා බලාපොරොත්තු වෙනවා. බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් ඒ සියලූම ආගමික නායකයන්ට එක මේසයකට වාඩිවෙන්න කියා මා ඉදිරියේ දී ආරාධනා කරනවා.

ඒ වගේම තමයි මේ තිබෙන ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමේ වගකීම තිබෙන්නේ දේශපාලනඥයන්ට විතරක් නෙවෙයි. දේශපාලනඥයන්ට ප්‍රධාන වගකීමක් තිබෙනවා. ඒ වගේම යහපත් සමාජයක්, සාමකාමී සමාජයක් ගොඩනඟන්න කැපවෙලා ඉන්න සියලූම ආගම්වල ගෞරවණිය පූජකතුමන්ලාට, ආගමික නායකයන්ටත් වගකීමක් තිබෙනවා. ඒ වගේම තමයි මේ රටේ විශාල උගතුන් සහ බුද්ධිමතුන් පිරිසක් ඉන්නවා. මේ පිළිබඳ උනන්දුවක් දක්වන විශාල උගතුන් පිරිසක් ඉන්නවා. මේ රටේ උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ සමුළුවක් කැඳවීමටත් මාබලාපොරොත්තු වෙනවා. ඒ අයටත් එකට වාඩිවෙල අපිත් එක්ක කතා කරන්න පුළුවන්.

තුවක්කුව සහ වෙඩි හඬ කිසි දවසක මේ රටේ නැවත ඇති නොවෙන්න අපි වගබලා ගත යුතුයි. ප්‍රශ්න අවුල්කරන්න ඕනෙම කෙනෙකුට පුළුවන්. බොහොම පහසුයි. නමුත් ප්‍රශ්න විසඳීමේ වගකීම ඉෂ්ට කරන්න ඒ අවුල් කරන අයට පුළුවන්කමක් නැහැ. මේ රටේ උගත්, බුද්ධිමත් ජනතාවක් සිටිනවා. මේ රටේ ගෞරවණිය මහා සංඝරත්නය, ගෞරවණීය හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි පූජකතුමන්ලාට මම ආරාධනා කරනවා මේ ගැටුම් නැති කරන්න අපි එකතුවෙලා කටයුතු කරමු කියා. මේ රටේ සියලූ උගතුන්ට, බුද්ධිමතුන්ට ආරාධනා කරනවා අපි සියලූදෙනා එකට වාඩිවෙලා සාකච්ජා කර මේ ගැටලූ විසඳා ගනිමු කියා.

මහත්මා ගාන්ධිතුමා ඉන්දියානු නිදහස් අරගලය ගෙන ගියේ අවිහිංසාවාදී ව්‍යාපාරයක් විදිහටයි. ඒ අවිහිංසාවාදී ව්‍යාපාරය ජයග්‍රහණය කළා. ඒ වගේම තමයි අපි දන්නවා අමෙරිකාවේ ආචාර්ය මාටින් ලූතර් කිං වර්ණබේදවාදයට විරුද්ධව සටන් කළා. ඔහු මානව සමාජයේ විශිෂ්ට නායකයෙක්. ඔහුට වෙඩි පහරක් එල්ලකර ඔහුව ඝාතනය කළා. ඒ වගේම මහත්මා ගාන්ධිතුමා ඝාතනය කළා. මානව සමාජය එක් කරන්න, සහයෝගීතාවයෙන් වැඩ කරන්න, සාධාරණ සමාජයක් ගොඩනඟන්න වැඩකරපු බොහෝ නායකයන්ට එ් ඉරණම අත් වුණා.

අපි ඉතිහාසයේ පාඩම් ඉගෙන ගන්න ඕනෑ. ඒ යුගයන්ට වඩා අද හුගාක් මිනිස්සු දියුණුයි. තොරතුරු තාක්ෂණය දියුණුයි. මුළු ලෝකය වශයෙන් මිනිසුන්ගේ බැඳීමක් තිබෙනවා. ඒ තුළ අපිට අපේ ප්‍රශ්න විසදා ගන්න පුළුවන් කියා මම විශ්වාස කරනවා. අපි ශ්‍රී ලාංකිකයන් විදියට අපේ අනන්‍යතාව ශක්තිමත් කරගන්න ඕනෑ. අපි ශ්‍රී ලාංකිකයන් කියන අනන්‍යතාව ලෝකයට පෙන්නන්න ඕනෑ. අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ එවිටයි. ඒ සඳහා අපි සියලූදෙනා කැපවෙමු කියා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය-

අපේ රටේ ලෝකයේ තිබෙන ප්‍රධාන ආගම් හතරටම අයිති ජනතාව ජීවත්වනවා. කාලයක් තිස්සේ අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඇතුළු සියලුම ජනතාව සමගියෙන් ජීවත් වුණා. වෙනත් ප්‍රදේශවලින් පැමිණි ජනතාවත් ආදරයෙන් පිළිගත්තා. අනතුරුව යටත් විජිත පාලන සමයේ යටත් විජිත පාලකයන් ඔවුන්ගේ පාලනය පහසු කර ගන්න විවිධ ජාතීන් අතර අසමගිය ඇති කළා. මේ රටේ සෑමදෙනාම එකතුව ලබා ගත් නිදහස කෙලෙසා අන්තිමේ දී ඇන කොටා ගන්නා යුද්ධයක් දක්වා අපේ රට ඇදගෙන ගියා. නිදහස ලබා ගන්නා විට ලංකාව තුන්වන ලෝකයේ දුප්පත් රටවල් අතරින් හොඳම අධ්‍යාපනය තිබුණ රට ලෙස මුල් තැන ගෙන තිබුණා. 1960 දී ලී ක්වාන් යු මහතා කීවේ ශ්‍රී ලංකාවේ ආකාරයට අපේ රට දියුණු කරන්න ඕනෑ කියායි. නිදහස් ලංකාව පාලනය කරපු ආණ්ඩුවලට 1956න් පසුව ජාති වාදී ගැටුම්වලට විසඳුම් සොයන්න සිදුවුනා. දුෂණය මැඩ පවත්වන්න ආණ්ඩුවලට වෙලාවක් තිබුණේ නැහැ. වැඩි හරියක් රජයේ සම්පත්, මුදල්, ශ්‍රමය වියදම් කරන්න සිදුවුණේ යුද්ධයටයි. ජාතික සංහිඳියාව මිත්‍රත්වය සියලු ජනතාව අතර ගොඩනඟන්න මේ සියලු දෙනාම කැප වී සිටින අතර රජ‍යේ කැපවීම පැහැදිලිව ස්ථිරවම සිදුකරනවා. පාසල් සිසුන් වැඩිහිටියන් අතර සාමය සමගිය ජාතික සංහිඳියාව ගොඩනැ‍ඟෙන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි. රටේ උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ඒ තුළින් සියලු ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු විය යුතුයි. සුළුතරය මොනවා කිව්වත් බහුතරය කියන දේ ඉටුකරන්න ජනපතිට, අගමැතිට ශක්තිය ඇතිබව කිව යුතුයි. මේ රටේ සුළු ජාතීන්ගේ අයිතීවාසිකම් මානව හිමිකම්වලට ගරුකරමින් විවිධත්වය සපුරන රටක් ලෙස ඉදිරියට යන්න හැකියාව ඇති කර ගත යුතුයි.

ජාතික සහජීවන සංවාද හා රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන් මහතා- මේ රටේ අපි අලුත් ව්‍යවස්ථාවක් හදලා ඉවරයි, තීන්දු තිරණ අරන් ඉවරයි, බලතල බෙදල ඉවරයි කියමින් විපක්ෂයේ සුළු පිරිසක් රට ගිනි තියන්න හදනවා. නමුත් නව ව්‍යවස්ථාවක් හදලත් නැහැ බලතල බෙදලත් නැහැ. ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ අගමැතිතුමා පාර්ලිමේන්තුවට අතුරු වාර්තා යෝජනා ඉදිරිපත් කරලා තිබෙනවා. ඒක අල්ලගෙන සුළු පිරිසක් රට ගිනි තියන්න, උඩ ඉදල පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න හදනවා. මහින්ද රාජපක්ෂ මහතා ඒ කාලේ සර්ව පාක්ෂික කමිටුවක් හැදුවා. ඒ මහතා කියනවා එම කමිටුවට ජාතික ප්‍රශ්නය විසඳා ගන්න ව්‍යවස්ථානුකූල විසඳුමක් ලබාදෙන්න කියලා. මේ කමිටුවට කියනවා මේ රටේ බණ්ඩාරණායක චෙල්වනායගම් සිට 2006 දක්වා හැදුව සෑම ගිවිසුමක්ම ඇතුළත් කරගෙන ඒ යෝජනා සොයා බලන්න කියා. බෑන් කී මුන් මහතා එක්ක සාකච්ඡාකර නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයට තර්ටීන් ප්ලස් ලබා දෙනවා කියා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ට මහින්ද රාජපක්ෂ මහතා කියා තිබෙනවා. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා වර්තමාන ව්‍යවස්ථාවෙන් බුදු දහමට තිබෙන තැන එක අකුරක්වත් වෙනස් කරන්නේ නැහැ කියා.

මහගල්කඩවර පුණ්‍යසාර නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික පූජකවරුන්, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග, අමාත්‍ය මනෝ ගනේෂන්, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි යන මහත්ම මහත්මීන් ඇතුළු මැති ඇමැතිවරුන්, තානාපතිවරුන්, විදෙස් නියෝජිතයන්, ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු විද්වතුන්, සහජීවන කමිටු සාමාජකයන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
« PREV
NEXT »