BREAKING NEWS
latest

728x90

468x60

Saturday, December 16, 2017

විමල් ඇයි මේ අවුල?

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නායකත්වය දරන ජනිපෙ හෙවත් ජාතික නිදහස් පෙරමුණ ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී ගිය කණ්ඩායමක් විසින් පිහිටුවා ගත් පක්ෂයකි. 1965 දී කොමියුනිස්ට් පක්ෂයේ රෝහණ විජේවීර මහතාගේ නායකත්වයෙන් ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ විය. ජනතා විමුක්ති පෙරමුණ අවස්ථා දෙකකදී ආණ්ඩු විරෝධ සන්නද්ධ සටන් දෙකකට සම්බන්ධ විය. විමල් වීරවංශ 1989 දී ජනතා විමුක්ති පෙරමුණට සිය තරුණ වියේදීම සම්බන්ධ විය. දක්ෂ කථිකයෙකු වූ පක්ෂය හොඳම සංවිධායකයෙක් බවට ද පත්විය. 2002න් පසු එජාපයට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සම්බන්ධ වී ශ්‍රී ලංකා නිදහස් සන්ධානය පිහිටුවා ගත්තේය. ප්‍රථමයෙන් චන්ද්‍රිකා පාලන සමයේ ද අනතුරුව මහින්ද ආණ්ඩුවේ ද කොටස්කාරයන් බවට ජනතා විමුක්ති පෙරමුණ පත්වෙද්දී විමල් වීරවංශ පක්ෂයේ ප්‍රචාරක ලේකම්ය. 


මහින්ද ආණ්ඩුව යටතේ ජනතා විමුක්ති පෙරමුණට ඇමැති ධූර කිහිපයක් ද හිමිව තිබූ අතර විමල් වීරවංශ ද ඇමැති ධූරයක් හෙබවීය. ජනතා විමුක්ති පෙරමුණ 2005 මැතිවරණයේදී විශාල ජයක් අත්කරගත් පක්ෂය ප්‍රතිපත්තිමය වශයෙන් පිරිහෙන්නට පටන් ගැනුණි. වාමාංශික පක්ෂයක් වූ ජවිපෙ දක්ෂිණාංශික ආණ්ඩුවක් හා දීගයෑම පිළිබඳව බිම් මට්ටමින් විවේචන එල්ල විය. ඒ හේතුවෙන් ජවිපෙ ගත් දේශපාලන තීන්දුව වූයේ මහින්ද ආණ්ඩුවෙන් ඉවත්වීමය. නමුත් යුද්ධයක් පැවැත්වෙන මෙවැනි අවස්ථාවක ආණ්ඩුවෙන් ඉවත් නොවිය යුතුය යන තර්කය විමල් වීරවංශ ඉදිරිපත් කළේය. විමල්ගේ මතය අනුමත කරමින් ජවිපෙ කණ්ඩායමක් ආණ්ඩුවෙන් ඉවත් නොවිය යුතුය යන ස්ථාවරය පිළිගත්හ. තදබල ලෙස ජවිපෙ තුළ ඇති වූ මේ මතවාදීමය භේදය කෙළවර වූයේ පක්ෂය දෙකඩ වීමෙනි. සෝමවංශ අමරවීරගේ නායකත්වයෙන් යුතු ජවිපෙ ආණ්ඩුවෙන් ඉවත්වෙද්දී විමල් වීරවංශ ප්‍රමුඛ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරැ 10 දෙනෙකු තවදුරටත් ඇමති ධූර සහ තනතුරු දරමින් ආණ්ඩුවේ සිටියහ.
විමල් වීරවංශගේ ක්‍රියාකලාපයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ජවිපෙ තීරණය කළේය. ඔහුගේ දේශපාලන බලමණ්ඩලයෙන් ඉවත් කළේය. පක්ෂය තුළ දැරූ සියලු තනතුරු පවරා ගත්තේය. අවසානයේ විමල් වීරවංශයට එල්ලවී තිබූ චෝදනා නිසා 2008 මාර්තු 21 පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා පක්ෂයෙන් ඉවත් කිරීමටත් නායකත්ව මණ්ඩලය තීන්දු කළේය. විමල් වීරවංශට අමතරව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායකට ද පක්ෂයට එරෙහිව කුමන්ත්‍රණ කළ බවට චෝදනා එල්ල විය. ඔහුට අමතරව ජවිපෙ ත්‍රිකුණාමලේ දිස්ත්‍රික්ක පාර්ලිමෙන්තු මන්ත්‍රී ජයන්ත විජේසේකරගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමකට චෝදනා එල්ල වී පක්ෂයෙන් ඉවත් කරනු ලැබූහ.

පක්ෂයෙන් නෙරපා හරින ලද කණ්ඩායම එක්වී නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට 2008 අගෝස්තු 20 අස්ගිරි මල්වතු නාහිමියන් බැහැ දැක ආශීර්වාද ලබාගත්හ. පසුව රෝහණ විජේවීර නව පක්ෂය ආරම්භ කළේ මැයි 04 බැවින් විමල් වීරවංශ ජාතික නිදහස් පෙරමුණ නමින් නව දේශපාලන ව්‍යාපාරයක් 2009 මැයි 04 ආරම්භ කළේය. පක්ෂය ආරම්භ කරමින් විමල් වීරවංශ කියා සිටියේ නව පක්ෂය එජාපය සහ ශ්‍රීලනිපයට විකල්ප පක්ෂයක් බවයි.

එතැන් පටන් ජාතික නිදහස් පෙරමුණ හෙවත් ජානිපෙ ශ්‍රී ලංකා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂයක් බවට පත්විය. 2010 සහ 2015 ජනාධිපතිවරණවලදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කළේය. එමෙන්ම 2009 සහ 2015 මහ මැතිවරණවලදී ශ්‍රීලනිපය සමඟ සන්ධානගතව තරග කළේය. 2009න් පසු විමල් වීරවංශ නිවාස සංවර්ධන අමාත්‍යවරයා බවට පත්වූයේය. ඒ හැරුණුවිට පක්ෂයට ප්‍රධාන අමාත්‍ය ධූරයක් හිමි නොවීය. 2013 පළාත් සභා මැතිවරණයේදී ස්ථාන කිහිපයක ස්වාධීන තරග කිරීමට පක්ෂයේ දිස්ත්‍රික් කමිටු තීරණය කළේය. එම ස්ථානවල පක්ෂයේ ලකුණ වන පංචායුධය ලකුණින් තරග කළේය. ජාතිකවාදය ජාතික නිදහස් පෙරමුණේ ප්‍රතිපත්තියයි. ජාත්‍යන්තර මැදිහත්වීම, මානව හිමිකම් කවුන්සිලය ආදිය සම්බන්ධයෙන් ජානිපෙ කළ විවේචනය රට තුළ ප්‍රබලව බලපෑවේය.

2015 මහමැතිවරණයෙන් ජාතික නිදහස් පෙරමුණේ 05 දෙනෙකු පාර්ලිමේන්තු වරම් ලබා ගත්හ. නමුත් සන්ධානයට හිමි වූ ජාතික ලැයිස්තු ධූරවලින් කිසිවක් ජානිපෙට හිමි නොවීය. යහපාලන ආණ්ඩුව බිහිවූ පසු ජානිපෙ මන්ත්‍රීවරුන් වන වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, පක්ෂ නායක විමල් වීරවංශ, පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් යන අය විවිධ චෝදනා යටතේ අත්අඩංගුවට ගනු ලැබූහ. 2016 ඒකාබද්ධ විපක්ෂය වශයෙන් මහින්ද පිල සංවිධානය වනවිට ජානිපෙ ද සක්‍රී‍ය දායකත්වයක් ලබා දුන්නේය. එමෙන්ම පක්ෂ නායකත්ව රැස්වීම් සඳහා සහභාගී වීමට තම පක්ෂයට අවශ්‍ය යැයි ද එම පක්ෂය කතානායකවරයාගෙන් ඉල්ලීම් කළහ. නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප විය.

ජානිපෙ නැවත කතාබහට ලක්වන්නේ පසුගිය මාස දෙක තුනක කලක් තිස්සේය. මීට මාස 04කට ඉහත දී ජානිපෙ මන්ත්‍රීවරු 05 දෙනාම ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡාවක් ද පැවැත්වූහ. එමෙන්ම පක්ෂ නායක විමල් වීරවංශ පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු යැයි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේය. එම ප්‍රකාශයෙන් පසු පක්ෂය තුළ කලක් තිස්සේ නිර්මාණය වෙමින් තිබූ ඉරිතැලීම් දෙදරා යන්නට විය. පක්ෂයේ ජාතික සංවිධායක පියසිරි විජේනායක විමල් වීරවංශගේ ප්‍රකාශය විවේචනය කරමින් ඒ ඔහුගේ මතය මිසක් පක්ෂයේ මතය නොවන්නේ යැයි කීවේය. අනතුරුව නායකත්වය සහ පක්ෂය විවේචනය කිරීම සම්බන්ධයෙන් පියසිරි විජේනායක වරදකරු යැයි පක්ෂ දේශපාලන බල මණ්ඩලය තීන්දු කළේය.

මීට සමගාමීව ජානිපෙ ප්‍රබලයෙකු වූ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවිධායක ජයන්ත විජේසේකර පක්ෂයෙන් ඉවත්වූයේ නාමයෝජනා සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් හේතුවෙනි. එමෙන්ම පක්ෂයේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක අනුරාධපුර සිය කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ මෛත්‍රී පිල සහ මහින්ද පිල එක්විය යුතු බවයි. එහිදී ඔහු සිය පක්ෂය හෝ පක්ෂ නායකත්වයට බැන නොවැදුණ ද වක්‍රව විවේචනය කළේය. කලක් පටන් පක්ෂය තුළ විමල් විරෝධයක් නිර්මාණය වී තිබුණි. ඊට නායකත්වය දී තිබුණේ වීරකුමාර දිසානායක විසිනි. පක්ෂ නායක විමල් වීරවංශ සහාය දී ඇත්තේ ජයන්ත සමරවීර, මුසම්මිල් ඇතුළු පිරිසක් පමණක් පමණි. පක්ෂ නායකයා දින 87ක් පමණ සිරගතව සිටි කාලයේ පක්ෂ නායකත්වය දැරුවේ ඔහුගේ බිරිය විසිනි. ජානිපෙ ආරම්භ කර වසර දහයක් ගතවීමට මත්තෙන් මේ දෙදරා යාම්, මතගැටුම්, අභ්‍යන්තර කැරලි ආරම්භ වී ඇත්තේ ඒ කාලය තුළ යැයි පැවසෙයි.

පිළිවෙලින් පියසිරි විජේනායක, ජයන්ත විජේසේකර සහ වීරකුමාර දිසානායක පක්ෂය විවේචනය කරමින් ස්වාධීන වූහ. අනතුරු ඉකුත් සතියේ තිදෙනා ජනාධිපතිවරයා හමුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබාගත්හ. එහිදී ඔවුන් කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ තුළ තමන්ගේ කාර්යයන් අවසන් වූ නිසා ජාතික නිදහස් පෙරමුණ පිහිටුවා ගත් බවත් ජාතික නිදහස් පෙරමුණේ තමන්ගේ කාර්යය අවසන් වූ නිසා එයින්ද ඉවත් වූ බවයි. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ තුළ සිටියදීත්, ජානිපෙ තුළ සිටියදීත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කළ නිසා මෙතැන් පටන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා පක්ෂය ආරක්ෂා කරන බවයි.
සකීෆ් සාම් තන්වීරි
« PREV
NEXT »