BREAKING NEWS
latest

728x90

468x60

Saturday, December 16, 2017

ඒකාබද්දේ මන්ත්‍රී ප්‍රේමලාල් ඇමැති ජෝන් සමඟ රහස් කතාවක - පක්ෂ මාරු- නාමයෝජනා ගෝරිවලින් තිරය පිටුපස අළු යට ගිනි

ප්‍රථම වටයේ නාමයෝජනා කැඳවූ පළාත් පාලන ආයතනවල නාමයෝජනා භාරගැනීම හමාර වී තිබේ. ඉතිරි සභාවල නාමයෝජනා හමාර වන්නේ ලබන සතියේය. සෑම දේශපාලන පක්ෂයකටම මෙවර තදින්ම බලපෑ නාමයෝජනා අර්බුද නිසා ඇතැම් දේශපාලනඥයෝ තමන්ගේ පක්ෂ පවා මාරු කළෝය. ශ්‍රී.ල.නි.ප.යේ මහින්ද මෛත්‍රී පාර්ශ්ව දෙක එක්විය යුතු යැයි දිගින් දිගටම කියමින් සිටි ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා සිය පක්ෂයේ නායකත්වය විවේචනය කළේය. ඔහුට පෙර එම පක්ෂයේ ජාතික සංවිධායක ධුරය දැරූ පියසිරි විජේනායක මහතා ද පක්ෂ නායක විමල් වීරවංශ විවේචනය කළේය. මේ දෙදෙනා වෙනුවෙන්ම ජ.නි.පෙ. විනය ක්‍රියාමාර්ග නිර්දේශ කරද්දී වීරකුමාර හා පියසිරි ජනාධිපතිවරයා මුණගැසී ශ්‍රී.ල.නි.ප.යේ සාමාජිකත්වය ගත් බව වාර්තා විය. වීරකුමාර හා පියසිරි ජ.වි.පෙ.න් ජ.නි.පෙ.ටත් අනතුරැව ශ්‍රී.ල.නි.ප.යටත් සම්බන්ධ වූයේ එසේය. මෙම එකතුව නිසා වීරකුමාර දිසානායක මහතාට නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් හිමිවන බවට කතා පැතිරිණි.

ඒකාබද්ධ විපක්ෂයේ සිටි අම්පාර දිසා මන්ත්‍රිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ද ශ්‍රී.ල.නි.ප.යට එක් වූවාය. ඇය ඒකාබද්ධ විපක්ෂය සමඟ සිටියේ දිනේෂ් ගුණවර්ධන මහතා නායකත්වය දරන මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමිනි. විජේවික්‍රම මහත්මියට නාමයෝජනා සම්බන්ධයෙන් ප්‍රශ්නය හටගත්තේ අම්පාර දිස්ත්‍රික් ශ්‍රී.ල.නි.ප (ඒකාබද්ධය නියෝජනය කරන) මන්ත්‍රී විමලවීර දිසානායක මහතා සමඟය. විජේවික්‍රම මහත්මිය අම්පාරෙන් ඉල්ලා සිටි නාමයෝජනා කෝටාව ලබාදීමට විමලවීර මන්ත්‍රීවරයා දැඩි ලෙස විරුද්ධ විය. මේ ගැන සාකච්ඡා කරන්නට ඒකාබද්ධ විපක්ෂයේ නාමයෝජනා කමිටු ප්‍රධානී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨයන් විමලවීර මන්ත්‍රීවරයාට වාර 7ක්ම ආරාධනා කළත් ඔහු නාමයෝජනා කමිටුව හමුවට පැමිණියේ නැත. ආවේ ශ්‍රියානි මන්ත්‍රීවරිය පමණි. කෙසේ හෝ අවසානයේ තමන් ඇය ඉල්ලා සිටි අපේක්ෂක සංඛ්‍යාව ලබාදීමට සූදානම් නැතැයි ඔහු තරයේම කීය. ශ්‍රියානි මන්ත්‍රීවරියට තමන් සමඟ දේශපාලනය කළ පිරිස්වලට සාධාරණයට ඉටුකිරීමට නොහැකි වීම ගැන තදින්ම කේන්ති ගොස් තිබිණි. ඇය සිය පක්ෂ නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීම් පවා නොතකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසී රජයට සහාය පළකරමින් ශ්‍රී.ල.නි.ප.ය හා එක් විය. මේ ප්‍රශ්නය ගැන කතා කරන්නට ඇය මහින්ද රාජපක්ෂ මහතා හෝ හමුනොවූ බව දැනගන්නට තිබේ. අවසානයේ ශ්‍රියානි මන්ත්‍රීවරියට යන තැනට වැඩ සැලැස්වූයේ විමලවීර මන්ත්‍රී යැයි දිනේෂ් ගුණවර්ධන ප්‍රසිද්ධියේම චෝදනා කළේය.

මේ ආකාරයට නාමයෝජනා ප්‍රශ්න මත ඒකාබද්ධයේ මන්ත්‍රීන් තමන්ගේ පක්ෂ මාරු කරද්දී ඒකාබද්ධයේ ජ්‍යෙෂ්ඨයන් ප්‍රකාශ කරන්නේ තමන්ගේ පැත්තටත් රජයෙන් මැති ඇමැති පිරිසක් පැමිණෙන බවයි. විශේෂයෙන්ම පසුගිය අයවැය අවසන් ඡන්ද විමසීම අවස්ථාවේ මැතිසබයේ නොසිටි මැති ඇමැතින් හතර පස් දෙනෙක් මෙසේ ඒකාබද්ධයට එන්නට නියමිත යැයි ඒකාබද්ධයේ ආරංචි මාර්ග පවසයි. එහෙත් විපක්ෂයට එක්වන බව වාර ගණනාවක් ප්‍රකාශ කළ ජෝන් සෙනවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත වැනි ජ්‍යෙෂ්ඨයන් මේ ගැන දරන මතය අපැහැදිලිය. ජෝන් සෙනවිරත්න මහතා පමණක් මාධ්‍යයට කියා තිබුණේ තමන් “පොහොට්ටුවට” ඕනෑ ඕනෑ වෙලාවට විපක්ෂයට එක්නොවන බවය. සුදුසු වේලාව පැමිණි විට නියම තීරණය ගන්නා බවද සෙනවිරත්න මහතා කීය. එහෙත් ජෝන් සෙනවිරත්න මහතාගේ දේශපාලන හිතවතුන් සෑහෙන පිරිසක් රත්නපුරයේ දී පළාත් සභා සහ ප්‍රාදේශීය සභා සඳහා නාමයෝජනා භාර දී තිබුණේ පොහොට්ටුවෙනි.

ඒ අතර තවත් දේශපාලන ආරංචියක් පහුගිය සතිය මැද පැතිර ගියේය. එයින් කියැවුණේ රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රේමලාල් ජයසේකර මහතා මෛත්‍රී පාර්ශ්වයට එක්වීමට ඉඩ ඇති බවයි. රත්නපුර මහාධිකරණයේ අපරාධ නඩුවකට මුහුණ දී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතා ඒකාබද්ධ විපක්ෂයට සහාය දෙන බව කියා තිබුණ ද ඔහු පසුගිය කාලය පුරාම ක්‍රියාකාරී ලෙස ඒකාබද්ධ විපක්ෂ කටයුතුවලට සහභාගි වූයේ නැත. නාමයෝජනා ප්‍රකාශයට පත්වීමත් සමඟ ජෝන් සෙනවිරත්න අමාත්‍යවරයා මුණගැසුණු ප්‍රේමලාල් ජයසේකර මහතා තමන්ගේ දේශපාලන අනාගතය ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත. මුල් සාකච්ඡා වටයෙන් පසුව ගිය අඟහරුවාදා කොළඹට පැමිණ ජෝන් සෙනවිරත්න මහතා සමඟ දෙවැනි සාකච්ඡා වටය ද පවත්වා තිබිණි. ඒ අතර ඔහු නිල නොවන මට්ටමින් ඒකාබද්ධ විපක්ෂයට පණිවුඩයක් ලබා දී තිබුණේ පවත්නා ප්‍රශ්න හේතුවෙන් තමන් මෛත්‍රී පාර්ශ්වයට සහාය දීමට ඉඩ ඇති බවකි. එහෙත් එය තරමක් පමාවන්නේ ඔහු රජයෙන් තනතුරක් අපේක්ෂා කරන නිසා බවද කියැවේ.

මේ ආකාරයට ඒකාබද්ධ විපක්ෂයෙන් මන්ත්‍රීන් මෛත්‍රී පිලට එක්වෙද්දී දැනට රජය සමඟ සිටින තනතුරුධාරීන් කිහිපදෙනකු ඒකාබද්ධය සමඟ එක්වීමට පිඹුරුපතක් සකස් කර ඇත. පසුගිය අයවැය අවසන් ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්දය දීමට නොපැමිණි ශ්‍රී.ල.නි.ප.යේ මැති ඇමැතින් කිහිපදෙනෙක් ද මේ අය අතර සිටිතියි වාර්තා වේ. මේ අය මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී තමන් නිශ්චිතවම ඒකාබද්ධය වෙත එක්වන බව පසුගිය සතියේ දන්වා ඇතැයි සඳහන්ය.

එක්සත් ජාතික පක්ෂය සිරිකොත කාර්යාලයේ දී තමන්ගේ නාමයෝජනා ලේඛන සකස් කළේය. ප්‍රථම වටයේ නාමයෝජනා භාරගත් පළාත් ආයතන 93 සඳහා නාමයෝජනා භාරදීම සඳහා අවශ්‍ය සංවිධාන කටයුතු කෙරුණේ පක්ෂ මහ ලේකම් කබීර් හෂීම් මහතා අතිනි. සුළු පක්ෂ හා සෙසු හවුල්කාර කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීම් බොහෝවිට සිදුකළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨයන්ගේ මණ්ඩලයක් මගිනි. එ.ජා.ප.යේ නාමයෝජනා සම්බන්ධයෙන් යම් යම් ප්‍රශ්න හටගත්තේ සුළු පක්ෂවලට නාමයෝජනා දීම සම්බන්ධවයි. මනෝගනේෂන්, රවුෆ් හකීම්, රාධා ක්‍රිෂ්ණන් හා රිෂාඩ් බදුයුදීන්, පලනි දිගම්බරම් ආදී සුළු පක්ෂ නායකයන් අතරින් ඇතැමුන් කොළඹින් බැහැරව ඡන්දය ඉල්ලද්දී එ.ජා.ප.ය සමඟත්, කොළඹ හා බස්නාහිර සෙසු ප්‍රදේශවල ඡන්දය කරද්දී තනි තනිවත් අපේක්ෂක ලැයිස්තු ඉදිරිපත් කිරීමට එ.ජා.ප.ය සමඟ එකඟත්වයක් ඇතිකරගත්තේය. ඊට හේතුව අගනුවර හා සෙසු ප්‍රදේශවලදී එම පක්ෂ ඉල්ලා සිටි අපේක්ෂක කෝටාව විශාල වීම නිසාය. ඒ අනුව මනෝගනේෂන්, රවුෆ් හකීම් ඇතුළු පක්ෂ නායකයන් කිහිපදෙනෙක් ඇතැම් සභාවලට එ.ජා.ප.ය සමඟත්, ඇතැම් සභාවලට තනිවමත් තරග කරති. මේ ආකාරයට එ.ජා.ප.ය සමඟ පක්ෂ සහ සංවිධාන 22 ක් නාමයෝජනා සඳහා ඉල්ලීම් ඉදිරිපත් කර තිබිණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා මැද කොළඹ එ.ජා.ප බලමණ්ඩලය අමතා පළාත් පාලන ඡන්දයටත් අදාළව විශේෂ දෙසුමක් පැවැත්වීය. එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන වශයෙන්ම රාජපක්ෂ රෙජිමයෙන් ප්‍රශ්න කළේ කොළඹ ප්‍රදේශයේ ජනතාවට නිවාස හිමිකම ලබානොදී කරන නගර අලංකාරයෙන් වැඩක් තිබේද කියායි. ඒ නිසා ජනතාවට සැබැවින්ම ප්‍රයෝජනවත් වන සංවර්ධන කාර්යයන් රුසක් ඉටුකරගන්නට ඉදිරි මැතිවරණයේ දී එ.ජා.ප.යට කොළඹ දී විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්පත් කර දිය යුතු යැයි රනිල් වික්‍රමසිංහ මහතා කීය.

ඡන්ද උණුසුම නිසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනා යටපත් වී ඇති සැටියක් පෙනේ. පසුගිය සඳුදා මැතිසබයේ දී ඒ ගැන සාකච්ඡා කරන්නට විශේෂ ව්‍යවස්ථා සභා වාරයක් කැඳවා තිබිණි. ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීන් රැසක් කතානායක කරු ජයසූරිය මහතාගෙන් කළ ඉල්ලීමක් සලකා බැලූ කරු ජයසූරිය මහතා ව්‍යවස්ථා සාකච්ඡාවට මුළු දවසක්ම විශේෂයෙන් ලබාදීමට තීන්දු කළේය. කරු ජයසූරිය මහතා ඒ අවස්ථාවේ පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුවෙන් බැහැරව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය විවේචනය නොකර සභාවටම පැමිණ තමන්ගේ විවේචන ඉදිරිපත් කරන්නට අවස්ථාව සලසා දෙන බවය. එයින් මැති ඇමැතින් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස ජයසූරිය මහතා විශේෂ ඉල්ලීමක් ද කර තිබිණි. එහෙත් ගිය සඳුදා ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය කැඳවූ අවස්ථාවේ පැවතියේ ඉතාම උදාසීන සහ කනගාටුදායක තත්ත්වයකි.

නව ව්‍යවස්ථාව සම්බන්ධව අදහස් දැක්වීමට කතා ඉල්ලා තිබූ කිසිදු කථිකයෙක් මැතිසබයට පැමිණ සිටියේ නැත. කතානායක කරු ජයසූරිය මහතා නම් ප්‍රකාශ කළ එස්.එම්. චන්ද්‍රසේන, වසන්ත දිසානායක, රවී සමරවීර, අනෝමා ගමගේ, චතුර සේනාරත්න, හිරැණිකා ප්‍රේමචන්ද්‍ර, ලකී ජයවර්ධන, වජිර අබේවර්ධන, අමීර් අලී යන මැති ඇමැතිවරු කිසිවකු සභාවට නොපැමිණීම මහත් ප්‍රශ්නයක් විය. මෙම පිරිසෙන් එක් අයකු හැරුණු විට අන් සියල්ලන්ම රජයේ මැති ඇමැතිවරුය. කථිකයන් නොපැමිණීම නිසා ව්‍යවස්ථා සභාවේ රැස්වීම විනාඩි 4කට සීමා වූ අතර න්‍යාය පත්‍රයේ හැටියට එදින සවස 6.30 දක්වා විවාදය පවත්වාගෙන යාමට සැලසුම් කර තිබිණි. මේ ආකාරයට කතා ඉල්ලා මන්ත්‍රීන් සභාවට නොපැමිණීම ගැන කතානායකවරයා ද දැඩි ලෙස කනස්සල්ල පළ කර තිබිණි. එසේම ජ.වි.පෙ මන්ත්‍රී විමල් රත්නායක මහතා කීවේ ව්‍යවස්ථා සම්පාදනය විවේචනය කරන උදවියත් ආණ්ඩුවේ මැති ඇමැතිනුත් මේ ආකාරයට වගකීම් විරහිතව ක්‍රියා කිරීම ජ.වි.පෙ තරයේම හෙළාදකින බවය. රටේ මූලික නීතිය සැකසීමට දායක වීම කාගෙ කාගේත් වගකීම බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා මහනුවර හුරීකඩුව විද්‍යාසාගර පිරිවෙණට ගොස් 96 වැනි ජන්ම දිනය සම්පූර්ණ කළ රාමඤ්ඤ මහා නිකායේ නායක නාපාන ප්‍රේමසිරි නාහිමියන් බැහැදුටුවේය. එහිදී හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ විශාල ඡන්ද පදනම් නැති උදවිය නාමයෝජනා ප්‍රශ්න මුල්කරගෙන පක්ෂ මාරුකළද එයින් විපක්ෂයට ප්‍රශ්න ඇතිනොවන බවය. තම පක්ෂයේ සොරුන් සිටිනවා යැයි කියන ආණ්ඩුවේ ද සොරැන් රැසක්ම සිටින බව රාජපක්ෂ මහතා කීය. තම පක්ෂ රනිල් වික්‍රමසිංහලා සමඟ ඩීල් දමා ඇතැයි ඇතැමුන් අභූත චෝදනා නගන්නේ වේදනාවෙන් බවද පැවසීය. එ.ජා.ප.යෙන් ඉවත්ව ශ්‍රී.ල.නි.ප.ය සාකච්ඡාවට පැමිණියහොත් ඒ කතාබහ සාර්ථක වනු ඇතැයි ද රාජපක්ෂ මහතා කීය.

කලකට පසු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ආන්දෝලනාත්මක කතාවක් කර තිබේ. අමාත්‍යවරයා වත්තල දී සිය පාක්ෂිකයන් අමතමින් කියා ඇත්තේ පසුගිය ඡන්දවලදී මෙන් ඡන්ද දායකයන් බියට පත් කර ඡන්ද ලබාගන්නට මෙවර ඉඩනොදෙන බවයි. ආණ්ඩුවත් පොලීසියත් අපේ නිසා එවැනි කරන්න එන ඕනෑම එකකුට ගහලා පන්නනවා යැයි ඇමැති අමරතුංග මහතා කීය. ඒ ගැන ඡන්දදායකයා බියක් සැකක් ඇතිකරගන්නේ නැතිව ඡන්දය පමණක් එ.ජා.ප.යට දෙන්නැයි ද ජෝන් අමාත්‍යවරයා කියා තිබිණි. මේ දිනවල හාල් පොල් එළවළුත් මිල ගිහින් යැයි කී හෙතෙම ගිනි ගණනට තිබෙන පොලුත් ඇබිත්තන් ඒවා බැවින් පිටරටින් හාල් පොල් පමණක් නොවේ, එළවළුත් ගේන්නට සූදානම් යැයි ද කීය. ඒ නිසා රජයට බණින්න එපා යැයි ඔහු ඡන්දදායකයන්ගෙන් ඉල්ලීය.

කවදත් නිර්භයව මෙබඳු ප්‍රකාශ කරන ජෝන් අමරතුංග මහතාගේ කතාවෙන් පසු විපක්ෂයේ පක්ෂ ගණනාවක් ඒ ගැන ගත යුතු ඉදිරි පියවර සාකච්ඡා කර ඇත. පළමුකොට ඇමැතිවරයාගේ කතාව ගැන ස්වාධීන මැතිවරණ කොමිසමට පැමිණිලි කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ඒකාබද්ධ විපක්ෂය තීන්දු කළේය.

ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා දීපව්‍යාප්තව සිය දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරය අරඹා ඇත. මනාපයට ගහනොගන්නා ජ.වි.පෙ. රට පුරා යන්නේ ජාතික සම්පත් රුකගැනීම ඇතුළු කාරණා ගණනාවක් තමන්ගේ ඡන්ද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තේමාවන් බවට පත්කර ගනිමිනි. පසුගියදා යෝජිත ඡන්දය ගැන මාධ්‍යයට අදහස් දැක්වූ ජ.වි.පෙ. නායකයා, ජාතික සම්පත් විකුණන ආණ්ඩුවට ගම භාරදුන්නොත් වැව් ටිකත් විකුණගෙන කනු ඇතැයි ජනතාවට අනතුරු ඇඟවීය. මෙවර මැතිවරණයේ දී ශ්‍රී.ල.නි.ප.ය කැඩීයාම ජනතාවට ප්‍රශ්නයක් නොවන්නේ යැයි පැවසූ ජ.වි.පෙ. නායකයා රාජපක්ෂලාටද මෙරට වංචා දූෂණ ගැන කතා කරන්නට කිසිදු සදාචාරාත්මක හිමිකමක් නැතැයි කීය. අද පළාත් පාලන ආයතන හොර තිප්පොළවල් බවට පත්ව ඇතැයි කී අනුර දිසානායක මහතා, ඒ හොර තිප්පොළවල් ශුද්ධ කිරීම ජ.වි.පෙ. කදිමට කරන්නේ යැයි ද පැවසීය.

සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම ගිය අඟහරැවාදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඡන්ද උණුසුම නිසා අමාත්‍යවරුන්ගේ සහභාගීත්වය ද පැවතියේ තරමක් අඩු මට්ටමිනි. වෛද්‍ය අධ්‍යාපනය ලැබීම සඳහා නියම කර තිබෙන උසස් පෙළ සුදුසුකම්වල වෙනසක් කිරීමට උසස් අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කර තිබූ නිර්දේශය අමාත්‍ය මණ්ඩලය අනුමත කළේය. ඒ අනුව සී සාමාර්ථ දෙකක් හා එස් සාමාර්ථ දෙකක් වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ අවම සුදුසුකම බවට පත්කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

ඡන්ද උණුසුම නිසා අමාත්‍ය මණ්ඩල කතාබහ සිදුවූයේ කෙටියෙනි. දුම්රිය වර්ජනය හා පොහොර හිඟය ගැනත් සාකච්ඡා වූ අතර දුම්රිය වර්ජනය ගැන ඇමැතිවරැ කනස්සල්ල පළ කළහ. එසේම පොහොර ප්‍රශ්නය විසඳීමට ජනාධිපතිවරයා පියවර ගන්නා බව කැබිනට්ටුවට දැන්වීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක සමරුහලේ පැවති ජාතික සහ ජීවන සමුළුව අමතා කතා කළේ මේ සතියේය. එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළ ප්‍රධාන කරුණ වූයේ ජන හදවත් තුළ විශ්වාසය හා සුහදතාව ඇති කළ යුතු බවය. වසර 30 ක් මෙරට උතුරු නැගෙනහිර වෙලාගත් යුද්ධය අවි ආයුධ භාවිතයෙන් පරාජය කළ නමුත් ජනතාවගේ හදවත් එකට යාවී නැතැයි ජනපතිවරයා කීය. රට තුළ කෙසේ වෙතත් රටින් පිටත පවා මෙම මතවාදය දැඩි ලෙස ක්‍රියාත්මක වන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. එනිසා සමාජය තුළ නිවැරදි මතයක් ගොඩනැංවීම ආගමික නායකයන්ගේ වගකීමක් යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී.ල.නි.ප.ය අතර සමගිය තහවුරු කිරීමට අපේක්ෂා කළ කිහිපදෙනා අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද විය. මහින්ද රාජපක්ෂ මහතා ද සමගියට විරුද්ධ වූයේ නැත. එහෙත් ඔහු මධ්‍යස්ථ මතයක් දරමින් අන්තිම තීන්දුව ගැනීම පක්ෂයට පැවරීය. ඊට හේතුව පියංකර ජයරත්න වැනි ඇතැම් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරැන් තනි මතයට තීන්දු නොගත යුතු බව පක්ෂයට පෙන්වා දීම නිසාය. කෙසේ හෝ සමගි සන්ධාන කතාවට ගම්පහ ප්‍රසන්න රණතුංග, නාමල් රාජපක්ෂ පමණක් නොව, රාජපක්ෂ පවුලේ තවත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ගණනාවක්ම හදවතින් එකඟ වූයේ නැත. මේ ගැන යමක් නොකළොත් එ.ජා.ප.ය ශක්තිමත් වේ යැයි මුල සිටම කල්පනා කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමගි කතා අඩාලවීමත් සමඟ දීර්ඝ නිවාඩුවකට විදේශගත විය. ඔහු තවත් සති කිහිපයක් එම විදේශ චාරිකාවේ නිරතවනු ඇතැයි කියැවේ. ඒ අතර ශ්‍රී.ල.නි.ප.යේ සමගිය අපේක්ෂා කළ ජ්‍යෙෂ්ඨ මැති ඇමැතින් මෙම සන්ධාන කටයුත්ත කඩාකප්පල් කළ බවට ඒකාබද්ධයේ පිරිසකට තදින් චෝදනා කරන්නට පටන්ගෙන ඇති අතර නාමල්, ප්‍රසන්න හා ජී.එල්. පීරිස් වැනි අය ඔවුනගේ උදහසට ද ලක්ව ඇතැයි දැනගන්නට තිබේ. දයාසිරි ජයසේකර වැනි අමාත්‍යවරුන් මේ ගැන ප්‍රසිද්ධියේම දෝෂාරෝපණයක් කර තිබිණි.

ඒ අතර ඒකාබද්ධ විපක්ෂය මේ සමගි සන්ධාන වැඩපිළිවෙළ අඩාල වීම ගැන දොස් පවරන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියට, ශ්‍රී.ල.නි.ප මහ ලේකම් දුමින්ද දිසානායකට සහ එ.ජ.නි.ස මහ ලේකම් මහින්ද අමරවීර යන තිදෙනා ප්‍රමුඛ කිහිපදෙනකුටය. ඔවුන් තමන්ගේ බලය හා තනතුරු රැකගන්නට සමගියට අකුල්හෙලූ බව ඒකාබද්ධයේ සමගිය ප්‍රාර්ථනා කළ ඇතැමෙක් ප්‍රකාශ කර තිබිණි. සමගිය වෙනුවෙන් පෙනී සිටි ඒකාබද්ධ විපක්ෂයේ මහින්දානන්ද අලුත්ගමගේ, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම වැනි චරිත නාමයෝජනා සමයේ දැඩි නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ද විශේෂයකි.

විමල් වීරවංශ මහතා ඒකාබද්ධයේ නාමයෝජනා සම්බන්ධව අසතුටින් සිටී. විමල්, උදය වැනි සුළු පක්ෂ නායකයන්ට වෙන් කළ අපේක්ෂකයන් නාමයෝජනා ලේඛන අත්සන් කරන්නට එන විට වෙනත් අය අත්සන් කර තිබීම නිසාද අර්බුද හට ගැනුණි. මේ සියල්ලටම විමල්ලා උදයලා ඝෝෂා කළ අතර මේවා කරන්නේ කවුදැයි දන්නා බව කියන්නට ද පටන්ගෙන තිබේ.

පළාත් පාලන මැතිවරණයේ මුල් කොටසට අයත් ආයතන 93 මැතිවරණය සඳහා ගිය බ්‍රහස්පතින්දා නාමයෝජනා භාරගත් අතර එයින් නාමයෝජනා ගණනක් ප්‍රතික්ෂේප විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා 6ක්ම ප්‍රතික්ෂේප වූ අතර මහරගම, පානදුර, බදුල්ල, වැලිගම, මහියංගනය හා අගලවත්ත මෙසේ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ නගර සභා සහ ප්‍රාදේශීය සභා වෙයි. කාන්තා නියෝජනය සම්පූර්ණ නොවීම, ඡන්ද නියෝජිතයන් විසින් නාමයෝජනා නිසි ලෙස භාර නොදීම, අයදුම්පත්‍ර නිසිලෙස පුරවා නොතිබීම ආදී හේතු මත මෙම නාමයෝජනා ප්‍රතික්ෂේප විය.

ඒ අතර ශ්‍රී.ල.නි.ප.යේ පදියතලාව සහ දෙහිඅත්තකණ්ඩිය නාමයෝජනා ද ප්‍රතික්ෂේප වූ බව ප්‍රකාශිතය. ඒ නාමයෝජනා ද නියමිත නීතිමය අවශ්‍යතා සපුරා නොතිබීම හේතුවෙන් ප්‍රතික්ෂේප කළ බව වාර්තා වෙයි. මේ හැර තවත් සභා ගණනක පළාත් පාලන නියෝජිතයන්ගේ නම් පමණක් ප්‍රතික්ෂේප කර නාමයෝජනා භාරගත් බවද මැතිවරණ ආරංචි මාර්ග කියයි.

මෙසේ නාමයෝජනවා ප්‍රතික්ෂේප වූ ආසනවලින් නීතිමය වශයෙන් අභියෝග කළහැකි හේතු සහිත ආසන වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට පොහොට්ටුව කණ්ඩායම තීන්දු කර ඇත. ශ්‍රී.ල.නි.ප.යද මේ ගැන අවසන් තීන්දුව සිකුරාදා ගැනීමට නියමිතව තිබිණි.

ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර
« PREV
NEXT »