BREAKING NEWS
latest

728x90

468x60

Thursday, December 28, 2017

තේ කුරුමිණියා, අස්බැස්ටස් හා රුසියානු ඔත්තුකරු. - සීඅයිඒ පැහැර ගැනීම්වලට ලංකාව සහය සහාය දෙන බවට ලෝකයේ ලිඛිත සාක්‍ෂි මෙන්න

පිවිතුරු හෙල උරුමය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්න්පිල මහතා මෙසේ අදමස් පල කලේය.

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍ය විද්‍යාවට පිරිනමන නොබෙල් තෑග්ග ලංකාවේ වෛද්‍යවරයෙකුට පිරි නැමෙනවා. මේ වෛද්‍යවරයා වෛද්‍ය විද්‍යාව උඩු යටිකුරු වෙන ප්‍රබල සොයා ගැනීමක් කර තිබෙනවා. තේ බහලුමක කුරුමිණියෙක් හමු වුණොත් ඇස්බැස්ටොස් වල විෂ මැරෙනවා කියන එක තමයි ඒ අපූරු සොයා ගැනීම. ඒ වෛද්‍ය උපදෙස ලබා දුන්නු වෛද්‍යවරයා කවුදැයි අපි දන්නේ නෑ. නමුත් ඔහුට වෛද්‍ය විද්‍යාවට හිමි නොබෙල් තෑග්ග නම් සිකුරුයි.

2015 දී 2018 ජනවාරි 01 දින සිට ආණ්ඩුව විසින් ඇස්බැස්ටස් භාවිතාව තහනම් කලේ කාගෙන් බලපෑම් ආවත් තහනම ඉවත් කරන්නේ නෑ කියලා. ජනාධිපතිතුමා රුසියානු සංචාරයට ගියාම රුසියානු නිළධාරින් මේ පිළිබඳ ප්‍රශ්න කලා. ලෝකය පුරා තහනමට ලක් වී තිබෙන්නේ නිල් සහ දුඹුරු ඇස්බැස්ටොස් බවත් රුසියාවෙන් ලංකාවට එවන්නේ සුදු ඇස්බැස්ටොස් බවත් ඒවා තහනම් කර ඇත්තේ රටවල් 55 පමණක් බවත්, එමෙන්ම සුදු ඇස්බැස්ටොස්හි පිළිකා අවදානම ඇත්තේ කෙඳි වාතයට මුසු විය හැකි නිෂ්පාදිත වලින් බවත් ඒ අය පෙන්වා දුන්නා. ලංකාවේ ඇස්බැස්ටස් භාවිතා කරන්නේ සෙවිලි තහඩු සෑදීමට බවත් එහි ඇස්බැස්ටස් අඩංගු 10%ක් පමණ බවත් එයින් කෙඳි වාතයට මුසු නොවන බවත් ඒ අය පැවසුවා.

ඇස්බැස්ටස් නිසා ඇති වන ඇස්බැස්ටෝසිස් හෝ පෙනහළු පිලිකා හැදුනු අය අවම වශයෙන් සෙවිලි තහඩු නිපදවන සමාගම් වල සේවකයින් අතුරෙන් වත් වාර්තා වී තිබෙනවා ද කියන ප්‍රශ්නයට ආණ්ඩුවේ නියෝජිතයින්ට කිසිම පිලිතුරක් තිබුණේ නෑ. ඒ අයට කියන්න පුළුවන් වුණේ පරිසරවේදින්ගෙන් දැවැන්ත විරෝධයක් තිබෙනවා කියන එක පමණයි. එවිට රුසියානු ආණ්ඩුව ඉල්ලා සිටියේ ලංකාවේ පරිසර නිළධාරින් කණ්ඩායමක් රුසියාවට එවන්න. අපි ඒ අයව මේ විෂය පිළිබඳ හොඳ පුහුණුවක් දෙන්නම් කියා. එසේ එවන්න පොරොන්දු වුවත් අවස්ථා ගණනක දී සිහි කැඳවීම් කළත් ඒ දේ සිදු වුණේ නෑ. ඔන්න තේ කුරුමිණියාගේ නිධාන කතාව.

ඊට පස්සේ තවත් සිදු වීමක් වුණා. මනෝකින් රවුෆොවිච් නමැති රුසියානු ජාතික හැකරුවෙක් නැතිනම් පරිගණක වලට රහසේ ඇතුළු වන්නෙකු ඇමෙරිකානු රහස් දත්ත සොරකම් කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවට අවශ්‍ය වී තිබුණා. මොහු සිය බිරිද සහ දියණිය සමග ලංකාවේ සංචාරයක යෙදී සිටිය දී අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළා. ඇප පිට ඔහු නිදහස් උනා. ඉන් පසු මේ පුද්ගලයා අතුරුදහන් වුණා. ලංකාවෙන් ගිය බවට ආගමන විගමන වාර්තා නෑ. මේ පුද්ගලයාව ඇමෙරිකානු බුද්ධි අංශ විසින් ලංකා ආණ්ඩුවේ උදව් ඇතිව රහසිගතව ඇමෙරිකාවට ගෙන ගිය බවට සැක පහළ කරනවා. ඇමෙරිකාව මෙසේ පැහැර ගෙන යෑමටත් ලංකාව ඒවාට උදව් කිරීමටත් දක්ෂ බව අතීත වාර්තා පෙන්නුම් කරනවා.

හිටපු ඉන්දියානු අගමැති මන්මෝහන් සිංගේ දියණිය නීතිඥ අම්රිත් සිං අපූරු පොතක් ලිව්වා. ඒ පොතේ නම Globalizing Torture : CIA Secret Detention and Extraordinary Rendition. මේ පොතේ කියන විධියට සීඅයිඒ සංවිධානය තමන්ට ඕනෑ කරන පුද්ගලයින් පිටරටක සංචාරයක යෙදෙන විට පැහැර ගන්නවා. ඊට පස්සේ පෞද්ගලික ගුවන් යානයක් හමුදා කඳවුරක ගොඩ බස්සලා මේ පුද්ගලයාව ගෙන යනවා. එවිට මේ පුද්ගලයා රටින් ගිය බවට කිසිම ආගමන විගමන වාර්තාවක් නෑ. මේ පුද්ගලයාව ගෙනි යන්නේ ඇමෙරිකාවට නොවේ. වද හිංසා පිළිබඳ නීති ලිහිල්ව තිබෙන රටක තිබෙන තමන්ගේ වධකාගාරයකට. ඇමෙරිකාවේ මෙවැනි ක්‍රියා වලට සහය දක්වන රටවල ලැයිස්තුවක් මේ පොතේ තිබෙනවා. ලංකාවත් ඊට අයත්.

සීඅයිඒ සංවිධානයේ මේ නීති විරෝධි පැහැර ගැනීම් වලට ලංකාණ්ඩුව සහය දුන් බවට මේ පොතේ 109 පිටුවේ සඳහන් වෙනවා. 2003 අගෝස්තු මාසයේ දී රිදුවාන් ඉසමුදීන් නමැති පුද්ගලයාව පැහැර ගෙන රහසේ ගෙන යෑමට ලංකාවත් සී අයි ඒ සංවිධානයට සහය වී තිබෙන බවයි මේ පොතේ සඳහන් වෙන්නේ. ඒ දිනවල ලංකාවේ අගමැති ධූරය දැරූ රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි අදත් මේ රටේ අගමැති කියන එක අමතක කරන්න එපා. ඇමරිකාවට බැදුනු ප්‍රේමයකින් එතුමන් කටයුතු කරන බව මුළු ලෝකයටම රහසක් නෙමේ.

ඒ නිසා යුධ සමයේ ශ්‍රී ලංකාව අමාරුවේ වැටුනු සෑම විටම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි එමෙන්ම ඉතිහාසය පුරා ශ්‍රී ලංකාවේ කාර්මික සංවර්ධනයට දැවැන්ත දායකත්වයක් ලබාදුන් අපේ ඓතිහිසික මිතුරු රුසියාවේ පුරවැසියාට ශ්‍රී ලංකාව තුල කුමක් සිදුවුනිදැයි උත්තර බැදීමේ වගකීම මේ ආණ්ඩුවට තිබෙනවා. රිදුවාන් ඉසමුදීන්ට අත්වු ඉරනම මේ රුසියානු හැකරුවාටත් අත්වුනාද කියන එක ලෝකයට හෙළි කිරීමේ වගකීම ඇත්තේ මේ රජයටයි.

– අරවින්ද අතුකෝරල
« PREV
NEXT »