BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, January 10, 2018

මොරගහකන්ද මහ සමුදුරෙ ප්‍රමාද වූ සැලසුම කඩිනම් වූ හැටි

රජරට වැව් බැඳි රාජ්‍යයේ ඈත පෙදෙස්වලට ජලය ගෙන යාමේ පුරාවෘත්තය ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවස දක්වා දිව යන්නකි. එදා ඊට මුල් වූ ගංගාව අඹන්ගඟයි. අඹන්ගඟ හරස් කර එක්රැස් වූ ජලය උතුරු මැද පළාතට හැරවීමේ පුරෝගාමියා ලෙස සැලකෙන්නේ ක්‍රි.පූ. 67 හා 111 දක්වා රජ කළ වසභ රජතුමා ය. එතුමා මෙම වාරි වික්‍රමය උදෙසා උපයෝගී කරගත් යෝධ ඇළ අදත් එම නොනිමි මෙහෙවරේ යෙදීම විස්මයජනකය; ඓතිහාසිකය.

වසභ රජුගෙන් පසු දැවැන්ත වාරි වික්‍රමයක යෙදුණු මහසෙන් රජු තම විස්මිත වාරි නිර්මාණය වූ මින්නේරිය වැවට අවැසි ජලය ලබා ගන්නා ලද්දේ ද ඇළහැර යෝධ ඇළ මගිනි. එසේම මහා පරාක්‍රමබාහු රජතුමා පරාක්‍රම සමුද්‍රයට අවශ්‍ය ජලය ලබා ගැනීමට උපයෝගී කර ගනු ලැබුවේ ද අඹන්ගඟයි. ඒ සඳහා අඹන්ගගේ අංග මැඩිල්ල අමුණ ඉදි කළ එතුමෝ ආකාස ගංගාව නමින් අතීතයේ හැඳින්වූ මහ ඇළ ඔස්සේ අඹන් ගඟේ ජලය පරාක්‍රම සමුද්‍රය වෙත ගෙන ආ බව වාරි ඉතිහාසයේ සටහන් වේ.

මේ ආදි වශයෙන් ගත් කල අඹන්ගඟ මෙරට වාරි ඉතිහාසයේ සුවිශේෂි ගංගාවක් ලෙසින් සැලකේ. එසේ ම එහි කාර්ය භාරය දෙවැනි වන්නේ මහවැලි ගඟට පමණක් සේ ය. අඹන්ගඟේ ජලය මේ රටේ සංවර්ධනයට යළි යොදා ගනු ලබන්නේ මහවැලි මහ සංවර්ධන ව්‍යාපාරයත් සමඟය‍.

මහවැලි ව්‍යාපාරය

1965 පසු මේ රටේ පැවැති සියලුම ආණ්ඩු මතභේදයකින් තොරව පොදුවේ සම්බන්ධ වූ යෝධ සංවර්ධන ව්‍යාපෘතිය ලෙසින් සැලකෙන්නේ මහවැලි සංවර්ධන ව්‍යාපාරයයි. නිදහස් සෞඛ්‍යය, නිදහස් අධ්‍යාපනය හා ජනසවියෙන් පසු ඇරඹි දුප්පත්කම දුරු කිරීමේ ව්‍යාපෘති මෙන්ම මහවැලි සංවර්ධන ව්‍යාපාරය දේශපාලන භේදයකින් තොරව පොදුවේ කාටත් එකඟ විය හැකි ව්‍යාපෘතියකි.

මහවැලි සංවර්ධන මහ සැලැස්මේ දැවැන්ත කෘෂි වාරි ව්‍යාපෘතිය ලෙස සැලකෙන්නේ. මොරගහකන්ද, කළුගඟ ව්‍යාපාරයයි. එමෙන් ම 30 අවුරුදු මහවැලි මහ සැලැස්ම කඩිනම් මහවැලිය වීමේ සිට අත්හැර දමන ලද ව්‍යාපෘතිය වන්නේ ද මොරගහකන්ද කළුගඟ ව්‍යාපාරය බව පෙනේ.

1970 වේ ඇරඹි සමගි පෙරමුණු රාජ්‍ය සමයේ මහවැලි ව්‍යාපාරය සැලසුම් වන්නේ 30 අවුරුදු ව්‍යාපෘතියක් ලෙසිනි. එහි මුල් අදියර පොල්ගොල්ලෙන් ඇරඹේ. පොල්ගොල්ල ජලාශය නිම වී එය ජලය මුදා හැරීමට විවෘත වන්නේ 1976 ජනවාරි 8 වැනි දා ය. 1977 පසු ඇරඹි එක්සත් ජාතික පක්ෂ රජය මහවැලිය කඩිනමින් නිමා කිරීමේ වැඩසටහන අරඹන ලද අතර, එය නම් වන්නේ ‘කඩිනම් මහවැලිය’ ලෙසිනි. 1977ඇරඹි විවෘත ආර්ථිකයත් සමඟ පුළුල් වන කර්මාන්ත හා නිෂ්පාදන ක්ෂේත්‍රයට අවැසි විදුලිය අවශ්‍යතාව ඉටු කර ගැනීමට ඔවුන් මහවැලි සංවර්ධන සැලැස්ම උපයෝගි කරගත් බව පෙනේ. මේ නිසා වසර 30ක කාලපරාසයක් දක්වා දිග හැරුණු මහවැලි මහ සැලැස්මේ කාර්යභාරය වසර 5කින් නිම කිරීමේ සැලසුම් ඇරඹිණ.

හොඳ නරක, විපාක අතුරු විපාක කෙසේ වෙතත් රටේ සංවර්ධනය වෙනුවෙන් ඇවැසි දැවැන්ත විදුලි ඉල්ලුම සපුරා ගැනීමට කඩිනම් මහවැලිය පිළියමක් වුණි. මෙමඟින් ප්‍රධාන ජලාශ 5ක් වසර 5ක් ඇතුළත ඉදි වූ අතර රටේ ජල විදුලි නිෂ්පාදනය එතෙක් පැවැති ධාරිතාවය මෙන් දෙගුණයකටත් වඩා වැඩි විය. මෙහි දී දීර්ඝ කාලීන වශයෙන් අරමුණු කරගත් රජරට ජනතාවගේ වාරි හා පානීය ජල අවශ්‍යතාවය උදෙසා මහවැලි ජලය ඍජු ලෙසින්ම මුදා හරිනු ලැබුවේ අඩු ප්‍රතිශතයකිනි. එදා 90%ක් ම ජලය මුදාහරිනු ලැබුවේ ජල විදුලි අවශ්‍යතා උදෙසාය. එම ජලය වාරිමාර්ග සඳහා මුදාහරිනු ලැබුවේ ජල විදුලියට උපයෝගීවීමෙන් අනතුරුවය.

පානීය ජල අවශ්‍යතාව

මේ නිසා වුව ද රජරටට මහවැලියෙන් සෙතක් නොවූ බවක් මින් අදහස් නොවේ. එහෙත් ඍජු ලෙසින් ම රජරට ඇතුළු උතුරු නැඟෙනහිර ප්‍රදේශ පදනම් කරගත් ගොවිජනයාගේ කෘෂිකාර්මික හා පානීය ජල අවශ්‍යතා පදනම් කරගත් මොරගහකන්ද කළු ගඟ ව්‍යාපාරය එදා කඩිනම් මහවැලියට ඇතුළත් නොවුණි.

පසුගිය ජනවාරි 8 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් නිවැරදි වූයේ එම ඓතිහාසික වරද හා අතපසුවීමයි. මොරගහකන්ද කළුගඟ ව්‍යාපාරය මහවැලි මහ සැලැස්මේ දැවැන්තම මෙන් ම අති විශාල ජල ධාරාවක් ගබඩා කර ගන්නා ප්‍රධාන ව්‍යාපෘතියයි. මෙහි ජලය රඳවා තබා ගන්නා ධාරිතාව පරාක්‍රම සමුද්‍රය මෙන් 6 ගුණයකි. වාරි ජලය සැපයෙන කුඹුරු ප්‍රමාණය හෙක්ටර්යාර් 82000කි. ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාව අක්කර අඩි 660,000කි. පෝෂණය ලබන ලොකු කුඩා වැව් සංඛ්‍යාව 1551කි.

වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 1989 දි තරුණ මන්ත්‍රීවරයකු ලෙසින් ප්‍රථම වරට පොළොන්නරුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි දා සිට ම මොරගහකන්ද ව්‍යාපාරය සියලුම ආණ්ඩුවල අවධානයට ලක් කළ බව රහසක් නොවේ. එදා මෙදා තුර රජරටින් පැමිණි නායකකාරකාදීන් කිසිවකුට ඉටු කර ගත නොහැකි වූ මොරගහකන්ද සිහිනය සැබෑවක් කර ගැනීම ඇරඹීමට 2007 ජනවාරි 25 වැනි දා එතුමාට හැකි විය. එනම් මහින්ද රාජපක්ෂ රාජ්‍ය සමයේ මොරගහකන්ද ව්‍යාපාරයට මුල් ගල තැබීමට හැකිවීමයි. එහෙත් එය සක්‍රීය දැවැන්ත වාරි ව්‍යාපෘතියක් ලෙසින් අවසන් කිරීමට හැකි වූයේ නැත. එය වෙනම කතාවකි. ජනවාරි 8 වැනි දායින් පසු එතුමා නායකත්වය දෙන වත්මන් යහපාලන රජය යටතේ තම අරමුණ ඉටු කර ගැනීමට එතුමාට හැකි වීම ඓතිහාසික සිදුවීමක් සේ ඉතිහාසයේ සටහන් විය යුතුය.

සත්‍ය වශයෙන් ම මොරගහකන්ද වත්මන් මෛත්‍රීපාල සමයේ වසර තුනක් ඇතුළත නිම කිරීමට හැකි වීම විශේෂයෙන්ම රජරට වැව් බැදි රාජ්‍යය මෙන් ම සමස්තයක් වශයෙන් මේ රට ලැබු ජයග්‍රහණයකි. රජරට වාරි ඉතිහාසයේ මෙවන් දැවැන්ත ව්‍යාපෘතියක් හමු නොවේ. ඒ අනුව වසභ, මහසෙන්, මහාපරක්‍රමබාහු මෙන් මෛත්‍රීපාල සිරිසේන නාමය ද රජරට වාරි ඉතිහාසයට එක් වනු ඇත.

පසුගිය සමයේ යම් ප්‍රමාණයක් හෝ මහවැලි ජලය රජරටට ගලා යෑමේ දී අනුරාධපුරයෙන් උතුරට හෝ ත්‍රිකුණාමලය හා මඩකළපුව ප්‍රදේශයට ජලය නොලැබෙනවා ය යන අදෝනාවක් එම ප්‍රදේශවලින් අසන්නට ලැබුණි. එය තවත් තීව්‍ර වූයේ වාර්ගික වශයෙන් කරනු ලැබු නොසැලකිල්ලක් ලෙසිනි. මේ නිසා එක් අවස්ථාවක මහවැලි අධිකාරියේ සභාපතිවරයාට පවා ඉවත් වීමට සිදු විය.

එසේ ම රජරට පුරාණ වැව් පද්ධතියේ ජලවහන රටාවට මහවැලිය නිසා හානි සිදු වී ඇති බවක් ද පසුගිය සමයේ විවේචනාත්මකව අසන්නට ලැබුණි. ජනාධිපති මෛත්‍රී මොරගහ කන්ද කළු ගඟ ව්‍යාපෘතිය මගින් මේ කාරණා දෙකටම පිළිතුරු සපයා ඇත. මොරගහකන්ද ජලය වවුනියාවෙන් උතුරටත් නැඟෙනහිර පළාතේ කන්තලේ හරහා ත්‍රිකුණාමලය දක්වාත් ගමන් කරනු ඇත. එසේ ම මාදුරුඔයෙන් නැගෙනහිර පළාතේ සංවර්ධනයට ද මොරගහකන්ද ජල දහරා ගමන් කරනු ඇත.

එසේ ම ඓතිහාසික රජරට වාරි රටාව යළි සක්‍රීය කරමින් මහවැව්වල සිට කුඩා වැව් දක්වා ජලය ගලා ගිය ක්‍රමය යම් ප්‍රමාණයකින් යළි මොරගහකන්ද මඟින් සක්‍රීය කර තිබෙන බව දැන ගැනීමට තිබේ.

ප්‍රමාද වූ සැලසුම

මොරගහකන්ද නිම වීමට නියමිතව තිබුණේ මීට පෙරය. සාමාන්‍ය මහවැලි සැලැස්ම යටතේ වුව ද මීට දසවසරකට පෙර ය. ඊට හේතුව මුල දී සැලසුම් වූ 30 අවුරුදු මහවැලි සැලැස්ම වුවද මීට දස වසරකට පෙර අවසන් විය යුතුව තිබු බැවිනි. මේ වන විට පොල්ගොල්ල විවෘත වී වසර 42ක් ගත වී අවසන් ය. ජනාධිපතිවරයා පසුගිය 8 වැනි දා මොරගහකන්ද ව්‍යාපෘතියේ වැඩ අවසන් කර එදිනම පොල්ගොල්ල සැමරුම් උත්සවයට සහභාගි වන විට මහවැලියට වයස අවුරුදු 42කි. මීට දස වසරකට පෙර ලෙහෙසියෙන් ම මොරගහකන්ද අවසන් කිරීමට ඉඩ තිබුණි. ඒදා මෙදාතුර මේ රටේ සිදු වූවා යැයි වාර්තා වන නාස්තිකාර වියදම්, අක්‍රමිකතා, දූෂණ එකිනෙකාගේ සාක්කුවලට හොර රහසේ වැටුණු මුදල් දෙස බලන විට මේ රු. කෝටි 18100 ප්‍රශ්නගත මුදලක් නොවනු ඇත. එසේ වී තිබුණි නම් මේ වන විට රට සහලින් ස්වයංපෝෂිත වනු ඇත. එසේ ම රජරට ජනතාවගේ පානීය ජල ප්‍රශ්නයට විසඳුමක් ලැබී වකුගඩු රෝගය මේතරම් ව්‍යසනයක් නොවනු ඇත. මෙය ජාතියේ අවාසනාව නොව පංගු පේරු දේශපාලනය මේ රටට දායාද කළ අවාසනාවකි.

ප්‍රමාද වී හෝ මෛත්‍රී පාලනය යටතේ කඩිනම් වූ මොරගහකන්ද කළුගඟ ව්‍යාපාරය නැවත අපට පසක් කර දෙන්නේ අපේ රටේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රමුඛතාවය හඳුනාගෙන තිබේ ද යන්නය. එසේ ම මෛත්‍රී කෙනෙක් නොසිටින්නට මෙන් ම මෛත්‍රීවන් සාමාන්‍ය පන්තියේ ගොවි පුතෙක් රජරටින් රටේ නායකත්වයට පත් නොවන්නට මොරගහකන්ද තවදුරටත් අඹන්ගහ මිටියාවතේ මිහිදුම් සිහින අතර දැවටෙන සුන්දර සිහිනයක්ම වනු ඇත.

වසන්ත ප්‍රිය රාමනායක
« PREV
NEXT »