BREAKING NEWS
latest

728x90

468x60

Saturday, February 10, 2018

ඡන්ද මධ්‍යස්ථාන 13374කදී පළාත් පාලන ආයතන 340කට අපේක්ෂක අපේක්ෂිකාවන් 57219ක් සටනේ

අද (10) පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්දය ලබාදීම සඳහා පුද්ගලයන් 15760867ක් සුදුසුකම් ලැබ සිටිති. දේශපාලන පක්ෂ 43ක් සහ ස්වාධීන කණ්ඩායම් 222ක් තරග වැද සිටිති.

පළාත් පාලන ආයතන 340ක් සඳහා අපෙක්ෂකයන් 57219ක් තරග වැදී සිටින අතර මෙයින් 8346ක් තෝරා පත් කර ගැනීමට නියමිතය. ඒ අනුව මහා නගර සභා 24ක් නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 276ක් වෙනුවෙන් මේ මැතිවරණය පැවැත්වේ.

මෙතෙක් පැවැති පළාත් පාලන ආයතන සංඛ්‍යාව ද 335 සිට 341 දක්වා වැඩි වුවද ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ඡන්ද පෙත්සමක් ලැබීම හේතුවෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්දය අත්හිටුවා තිබේ. ඒ අනුව අලුතින් එක්වන පොලොන්නරුව මහ නගර සභාව, මිල්ලනිය, නෝර්වුඩ්, ආගරපතන, කොටගල හා මස්කෙළිය යන ප්‍රාදේශීය සභා හේතුවෙන් පාළාත් පාලන ආයතන සංඛ්‍යාව 341ක් දක්වා වැඩිවී තිබේ.

කොට්ඨාස යටතේ තෝරාපත් කරගත යුතු සභික සංඛ්‍යාව 60%ක් ලෙස සලකා, ඉතිරි 40% වූ සභික සංඛ්‍යාවට අපේක්ෂකයන් 3ක් එකතු කිරීමෙන් ලබාගන්නා සංඛ්‍යාවට සමාන අපේක්ෂකයන් සංඛ්‍යාවක් මේ නාමයෝජනා පත්‍රයට ඇතුළත් කළ යුතුය.

මෙවර පළාත් පාලන මැතිවරණය මෙරට ඉතිහාසයේ විශාලතම මැතිවරණය වනු ඇති බව මැතිවරණ කොමිසමේ අදහසයි. 1969 දක්වා පැවැති ගම් සභා ක්‍රමයත් ඉන් පසුව 2011 දක්වා පැවැත් වූ සමානුපාතික නියෝජන ක්‍රමයත් වෙනුවට 2012 අංක 22 දරන කොට්ඨාස සහ සමානුපාතික මිශ්‍රිත නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දී තිබේ. මේ මගින් කොට්ඨාස මට්ටමින් අපේක්ෂකයන් 60%ක් ද, සමානුපාතික මට්ටමින් අපේක්ෂකයන් 40%ක් ද තෝරා ගැනෙයි.

කේවල සභික කොට්ඨාස 4750ක් ද, දෙදෙනකු පත් වන බහු සභික කොට්ඨාස 165ක් ද තිදෙනකු පත්වන බහු සභික කොට්ඨාස 4ක් ද වෙයි. කොට්ඨාස මට්ටමින් සභිකයන් 5092ක් ඇතුළුව පත්වීමට නියමිත සභික සංඛ්‍යාව 8346 දෙනෙකි. එනම්, මීට පෙර සිටි පළාත් පාලන මන්ත්‍රී සංඛ්‍යාවට වඩා දෙගුණයක ඉහළ යෑමකි.

මෙවර මැතිවරණයේ දී කාන්තා අපේක්ෂිකාවන්ට ද වැඩි අවස්ථාවක් දී ඇත. කාන්තා නියෝජනය පළාත් පාලන ආයතනයකට පත්වන මුළු සභික සංඛ්‍යාවෙන් 10%ක් විය යුතුය.

එම ප්‍රතිශතය තෝරා ගැනෙන්නේ පළමු නාමයෝජනා පත්‍රයට අනුවයි. දෙවැනි සමානුපාතික අතිරේක නාමයෝජනා පත්‍රයට අනුව අපේක්ෂකයන්ගෙන් 50%ක් කාන්තාවන් විය යුතුය.

ඡන්ද මධ්‍යස්ථාන 13374ක දී පළාත් පාලන මැතිවරණය පවත්වනු ලබන අතර, ඡන්ද ගණන් කිරීම ද එම ස්ථානයේ දී සිදුකරනු ලබන අතර, ඇතැම් කොට්ඨා‍සවල කලින් තෝරා ගත් ස්ථානවල ඡන්ද ගණනය කිරීම සිදුවේ. ඒ අනුව ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන 6823කි. මැතිවරණ කටයුතු වෙනුවෙන් යොදවනු ලබන වැඩිම නිලධාරි සංඛ්‍යාව මෙවර යොදවයි. එම සංඛ්‍යාව ලක්‍ෂ තුනක් පමණ වේ.

පළාත් පාලන මැතිවරණයේ දී ඡන්දදායකයන් විසින් ඡන්දය ලබා දිය යුත්තේ පක්ෂයකට හෝ කණ්ඩායමක සලකුණක් ඉදිරියේ පමණක් බව පවසන මැතිවරණ කොමිසම ඡන්ද පත්‍රිකාවේ අපේක්ෂකයන්ගේ නම් මුද්‍රණය වන්නේ ද නැති බව සඳහන් කරයි.
« PREV
NEXT »