BREAKING NEWS
latest

728x90

468x60

Thursday, February 01, 2018

ගෝඨා අත්අඩංගුවට ගන්න සියල්ල සූදානම්

ගෝඨාභය රාජපක්‌ෂ අත්අඩංගුවට ගැනීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවත් ඔහුට විරුද්ධව චෝදනා ඔප්පු වී ඇති බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ කරුණු අනාවරණය කළේ ඊයේ (31 දා) කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්‌වෙමිනි. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

රටේ ප්‍රධාන පෙළේ පුවත්පත් කතුවරයකු ප්‍රථම වරට ඝාතනය කළේ රාජපක්‌ෂ යුගයේ දීයි. ඒ ලසන්ත වික්‍රමතුංග මහතායි. හිටපු ආරක්‌ෂක ලේකම්වරයා විසින් සිදු කළ මිග් යානා ගනුදෙනුව පිළිබඳ මාධ්‍යයේ ලිපි පළකිරීම එම ඝාතනයට හේතු වී තිබෙනවා. එය රණවිරු ගැහිල්ලක්‌. අද මෙම රණවිරුවා රටෙත් නැහැ. ඇමරිකාවට පැනලා ඉන්නේ. පොහොට්‌ටුවේ අනාගත ජනාධිපති අපේක්‌ෂකයා ඔහුයි. රටේ නැති අනාගත ජනාධිපති අපේක්‌ෂකයා ලංකාවට එන්නේ දොළොස්‌වැනිදායි. ඒ මැතිවරණය අවසන් වූ පසුවයි. අත්අඩංගුවට ගනියි කියලා රටෙන් පැනලා ඉන්නේ. නමුත් එම රණවිරු ගෝඨාභය අත්අඩගුවට ගැනීමට සියල්ල සූදානම්. චෝදනා ඔප්පු වී තිබෙනවා. ඉදිරි කාලයේ දී හිරේ විලංගුවේ වැටෙනවා. 

එක්‌සත් ජාතික පක්‌ෂය වැරදි කළ පුද්ගලයන්ටත් ද`ඩුවම් ලබාදෙනවා. පක්‌ෂයේ උප නායක රවි කරුණානායක මහතා එම ධූරයෙන් ඉවත් කරන ලෙස තිලක්‌ මාරපන කමිටුව නිර්දේශ කර තිබෙනවා. මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා අපි සමග සාකච්ඡාවකුත් පැවැත්වූවා. එයයි අපේ පක්‌ෂයේ වෙනස. කඩිනමින් තීන්දු තීරණ ගන්නවා. රජය පිහිටුවීමට දායක වූ පමණින් සියලු දෙනාම ශුද්ධවන්තයින් වෙන්නේ නැහැ. 

මීට පෙර එස්‌.ඩබ්.ආර්.ඩී. බණ්‌ඩාරනායක මහතා තල්ගොඩපිටිය කමිටුව මගින් අමාත්‍යවරු 04 දෙනකුගේ අමාත්‍යධූර ඉවත් කළා. හිටපු ජනාධිපතිවරයාගේ කාලයේ අඩුම තරමින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුවත් ඉවත් කළේ නැහැ. දූෂිතයින් ගමන් කළේ හිටපු ජනාධිපතිවරයාගේ වාහනවලින්. ලිච්ඡවි රාජ්‍ය පාලනයේත් වැරදි තිබුණා. එම නිසා එම වැරදි විසඳන්න බුදුරජාණන් වහන්සේටත් වඩින්න සිදු වුණා. 

වැරදි කරන අයට ද`ඩුවම් ලබාදිය යුතුයි. අග්‍රාමාත්‍යවරයා හොරකම් කරන පුද්ගලයෙක්‌ නම් කෝප් කමිටුවේ සභාපති ධූරය ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රීවරයකුට ලබාදෙයි ද? එක්‌සත් ජාතික පක්‌ෂය දුප්පතාගේ රජයක්‌ බවට පත් කර තිබෙනවා. පිරිසිදු නායකයන් දෙදෙනකු රට පාලනය කරනවා. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මැතිවරණ වේදිකාවේ දී කුමක්‌ ප්‍රකාශ කළත් පෙබරවාරි 10 වනිදායින් පසු එම ප්‍රකාශ අවසන් වෙනවා. පෙබරවාරි 11 වනදායින් පසු යහපාලන රජය ඉදිරියට ගෙනයන ආකාරය පිළිබඳව එම නායකයන් දෙදෙනා කරුණු ඉදිරිපත් කරනවා. 

පසුගිය රජය සමයේ බලු වැඩ කරන්න කියනකොට බැහැ කියපු පොලිස්‌ නිලධාරීන් ද ඉන්නවා. මහර එක්‌සත් ජාතික පක්‌ෂ සංවිධායක ප්‍රිශාන්ත ජයකොඩි මහතා එවැනි නිලධාරියෙක්‌. බලු වැඩවලට විරුද්ධ වූ ඔහු නිල ඇඳුම ගලවා දමා පොලිස්‌ සේවාවෙන් ඉවත් වුණා. 2018 වසර පසුගිය රජයේ දූෂිතයන් සිරගෙට යන වසරයි. 2020 වනවිට ඔවුන්ගේ ලිපිනය තිබෙන්නේ වැලිකඩ හිරගෙදරයි. එහිදී රාජපක්‌ෂලා හමුවෙන්න පුළුවන්. මම රාජපක්‌ෂලාට විරුද්ධව කථා කරන නිසා ඔවුන් මා සමග විරුද්ධයි.

කඩවත - කරුණාදාස ජයකොඩිආරච්චි
« PREV
NEXT »