Friday, February 02, 2018
Home
Gossip Lanka News
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධව හිටපු පොලිස් ලොක්‌කෙක් දැලේ
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධව හිටපු පොලිස් ලොක්‌කෙක් දැලේ
-
Friday, February 02, 2018
‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවකට ගල්කිස්‌ස පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපතිවරයාව සිටි තිස්‌ස සුගතපාල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (01) අත්අඩංගුවට ගෙන ඇත.
ලසන්ත ඝාතන සිද්ධියට අදාළ රහසිගත තොරතුරු රැසක් වසන් කිරීම, සාක්ෂි විනාශ කිරීම, විමර්ශන නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොකිරීම ඇතුළු චෝදනා රැසක් සැකකාර හිටපු පොලිස් පරීක්ෂකවරයා වෙත එල්ල වී ඇති බව පොලිස් මූලස්‌ථානය පවසයි.
සැකකාර හිටපු පොලිස් පරීක්ෂකවරයා පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ලබාගෙන ඇත. පොලිස් පරීක්ෂක තිස්‌ස සුගතපාල අවස්‌ථා කිහිපයකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණ ද ඔහු එහි පෙනී සිට නොමැත. ඒ අනුව විශේෂ පොලිස් කණ්‌ඩායමක් ඊයේ (01) ඔහුගේ නිවස වටලා ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
2009 වර්ෂයේ ජනවාරි 08 වැනි දා ලසන්ත වික්‍රමතුංග සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටිය දී ගල්කිස්‌ස අත්තිඩිය මලගල කනිෂ්ට විද්‍යාලය ඉදිරිපිට දී නාඳුනන සන්නද්ධ කණ්‌ඩායමක් විසින් ඔහු ඝාතනය කර තිබිණ.
එවකට තිස්‌ස සුගතපාල අපරාධ අංශයේ ස්‌ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේ ය. 2009 වර්ෂයේ ජනවාරි 16 වැනි දා සැකකාර පොලිස් පරීක්ෂකවරයා ලසන්ත ඝාතන සිද්ධියට අදාළ සාක්ෂි රැසක් විනාශ කර දැමූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබිණ.
තිස්‌ස සුගතපාල මේ වනවිට වෙනත් සිද්ධියක් සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක් ව සිටී.
