BREAKING NEWS
latest

728x90

468x60

Thursday, February 08, 2018

කථානායක ජනපති අගමැතිට දුන් අවවාදය

බැඳුම්කර කොමිසම පිළිබඳ දේශපාලන වේදිකාවේ කතා බහට ලක්වන අතරවාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂ නායකයන් ජනාධිපති ‍ලේකම් කාර්යාලයට කැඳවූවේ පසුගිය සඳුදාය. ඇතැම් පක්ෂ නායකයන්ට ජනාධිපති ‍ලේකම් කාර්යාලයෙන් දුරකථන ඇමතුම් ලබාදී තිබුණේ ඉරිදා සවසය. මැතිවරණ කටයුතු සමග කාර්යබහුල වූ ඇතැම් පක්ෂ නායකයන්ට මේ රැස්වීමට සහභාගීවීමට නොහැකි වූ නමුත් තමන්ගේ නියෝජිතයෙක් හෝ සහභාගි කරවන බවට ඇතැම් අය සහතිකයක් ලබාදුන්නේය.
ඒ අනුව සඳුදා උදෑසන ජනාධිපති ‍ලේකම් කාර්යාලයට දේශපාලන පක්ෂ නියෝජිතයන් පැමිණ සිටි අතර ජනතා විමුක්ති පෙරමුණෙන් නියෝජිතයෙක් සහභාගී කර තිබුණේ නැත. එහෙත් ඒ බව කල් ඇතිවම දැනුම් දී තිබුණේය.

“මේ වනවිට බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ගෙන තිබෙන පියවර ගැන අපි සාකච්ඡා කරනවා. මේ වාර්තාව මම අපේ ‍ලේකම්තුමාට දීලා තියෙන්නේ. ඒ ගැන ‍ලේකම්තුමා පැහැදිලි කරාවි” මෛත්‍රී වැඩි කතාවක් නැතිව ජනාධිපති ‍ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුට අදහස් දැක්වීමට අවස්ථාව ලබාදුන්නේය.
“හැමෝම බැඳුම්කර වාර්තාව ගැන කතා කරනවා. අත්සන් කරලා තියෙන්නේ එකම එක වාර්තාවක් විතරයි. ඒ වාර්තාව තමයි මේ. අනික් හැම තැනටම අපි යවලා තියෙන්නේ පිටපත් විතරයි”ජනාධිපති ‍ලේකම්වරයා පැවැසුවේය.

නීතිපතිවරයා, මහ බැංකු අධිපතිවරයා, අල්ලස් කොමිසමේ කොමසාරිස්වරයෙක්, රහස් ‍පොලීසියේ නිලධාරීන් ඇතුළු පිරිසක්ද මෙහි පැමිණ සිටි අතර ඉන් පසුව ඔවුන් ද අදහස් දක්වන්නට වූහ.
“අල්ලස් පනත ගෙනවිත් අවුරුදු විසි තුනක් වෙනවා. ඒත් මේ අවුරුදු විසි තුනටම පනතට එක සංශෝධනයක්වත් ගෙනැල්ලා නෑ. අවුරුදු විසි තුනක් තිස්සේ සංශෝධනය නොවී තියෙන ලෝකයේ එකම අල්ලස් පනත මේ පනතයි. ලෝකයේ අල්ලස් දූෂණ සිදුවන අලුත් ආකාර තිබෙනවා. තාක්ෂණය එක්ක ඒවා වෙන විදිය ගැන අපි අවධානය යොමු කරන්න ඕන” අල්ලස් කොමිසමේ කොමසාරිස්වරයා පැවැසුවේය.
“මේ කාලයේ අල්ලස් පනත යටතේ නඩු දාලා වරදකරුවන් කළ කී දෙනෙක් ඉන්නවාද” එතැන සිටි අයෙක් ඇසුවේය.

“හතර දෙනෙක්ට තමයි නඩු දාලා වැරදිකරුවන් කරල තියෙන්නේ” ඔහු කීවේය.
මේ අතර නීතිපතිවරයාද අදහස් දක්වමින් සිවිල් නඩු කටයුත්තක් මෙන්ම අපරාධ නඩු කටයුත්තක්ද ඉදිරියට ගෙන යන බව සඳහන් කළේය. 

“දේශපාලන පක්ෂවල අදහස මොකක්ද” මෛත්‍රී ඇසුවේය.

“ඔබතුමා ජනාධිපති කොමිසමක් පත් කිරීමට තීරණය කළා. මම තමයි මුලින්ම අධිකරණ බලය තිබෙන ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා ඉල්ලුවේ. එහෙම අධිකරණ බලයක් තිබෙන කොමිසමක් පත් කළානම් අපිට අද මේ රැස්වීම තියන්නත් ඕන වෙන්නෙ නෑ” ඩිව් ගුණසේකර හිටපු ඇමැතිවරයා කීවේය. 
“අපි පර්පචුවල් ට්‍රේෂරීස් සමාගමට සම්බන්ධ ආයතනවල බැංකු ගිණුම් තහනම් කර තිබෙනවා. මූලික ආයෝජන ප්‍රාග්ධනයක් තිබෙන ආකාරයට, එම ආයතන කඩා නොවැටෙන ආකාරයට, එම ආයතනවල සේවකයන්ට බලපෑමක් නොවන ආකාරයට තමයි අපි එම ගිණුම් තහනම් කර තිබෙන්නේ” මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය.
« PREV
NEXT »