BREAKING NEWS
latest

728x90

468x60

Thursday, February 22, 2018

උදයංග වීරතුංගට රතු නිවේදන - පොලිස් අධිකාරී රුවන් ගුණසේකර

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නොපැමිණි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිස් මූලස්ථානය රතු නිවේදනයක් නිකුත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.


උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත් කළ පසු එය ජාත්‍යන්තර පොලිසිය මගින් ක්‍රියාත්මක කිරීමට ඉල්ලීමක් කළ බවත්, ඒ අනුව ජාත්‍යන්තර පොලිස් මූලස්ථානය මුලින්ම නිල් නේවදනයක් නිකුත් කර පසුව රතු නිවේදනයක් නිකුත් කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

2006 වසරේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යුක්රේනයේ යුක්රේන්මාෂි නැමැති සමාගම වෙතින් මිග් ගුවන් යානා හතරක් මිලදී ගැනීම සහ ශ්‍රි ලංකා ගුවන් හමුදාව සතුව තිබූ මිග් ගුවන් යානා හතරක් ඕවර්හෝල් කිරීමේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවී ඇති බවට 2015 මාර්තු 10 වැනි දා මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ වූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කීවේය.

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මේ ගනුදෙනුවට මැදිහත්ව කටයුතු කර ඇති බව විමර්ශනයේ දී අනාවරණය වීයැයි ද, ඔහුගේ බැංකු ගිනුම් වෙත විදේශ රටවල් වලින් සැකකටයුතු ලෙස විශාල වශයෙන් මුදල් බැරවී ඇතැයි ද ඒ සම්බන්ධයෙන් වීරතුංග මහතාගෙන් ප්‍රශ්න කිරීමට කැඳවූවත් නොපැමිණි බැවින් 2016 ඔක්තෝබර් 20 වැනි දා අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත් කළේයැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

උසාවි නියෝගයක් අනුව උදයංග වීරතුංග මහතාගේ බැංකු ගිනුම් 16ක ඉදිරි ගනුදෙනු අත්හිටුවූ බවත් ඒ වන විට බැංකු ගිණුම්වල ඇමෙරිකානු ඩොලර් මිලියන 1.7ක ශේෂයක් තිබූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

රුසියාවේ තානාපති ලෙස උදයංග වීරතුංග මහතාගේ සේවය 2015 පෙබරවාරි දෙවැනිදායින් අවසන් කර ඇතැයි කී රුවන් ගුණසේකර මහතා ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය භාර නොදී 2015 මාර්තු තුන් වැනි දා ශ්‍රී ලංකාවේ ආගමන විගමන පාලකගෙන් සාමාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් ගෙන 2016 ඔක්තෝබර හතර වැනි දා එක්සත් අරාබි එමීර් රාජ්‍යට ගොස් ඇතැයි ආනවරණය වූ බව ද සඳහන් කළේය.

මෙම පරීක්ෂණ සඳහා විමර්ශන කණ්ඩායමක් යුක්රේනයට ගිය ද වීරතුංග මහතා එහි නොසිටි බව ද, තමාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස ඉල්ලා සිටියත් මූල්‍ය අපරාධ කොට්ඨාසය ප්‍රකාශ නොගත් බවට වීරතුංග මහතා කරන ප්‍රකාශ අසත්‍ය බව ද, ඔහු කිසිදු අවස්ථාවක ප්‍රකාශයක් ලබා දීමට අවස්ථාවක් ඉල්ලා නොසිටි බව ද රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පුරවැසියකු වන වීරංතුංග මහතා ශ්‍රී ලංකාවේ පවත්නා නීතියට යටත්ව ක්‍රියා කළ යුතු බවත්, ලංකාවේ අධිකරණ නියෝග වලට අවනතව කටයුතු කළ යුතු බවත්, තමන්ගේ නිර්දේෂීභාව ගැන සමාජ ජාලා වෙබ් අඩවි මගින් ප්‍රකාශ කරනු වෙනුවට ලංකාවේ අධිකරණයට ඉදිරිපත් වී නිර්දේශී භාවය ඔප්පු කළ හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා ප්‍රකාශ කළේය.
« PREV
NEXT »