BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, March 20, 2018

විමල්ට සහ ජයන්තට වරෙන්තු

ජාතික නිදහස්‌ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර යන මහත්වරුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ලාල් රණසිංහ බණ්‌ඩාර මහතා ඊයේ (19 දා) වරෙන්තු නිකුත් කළේය. 

එම මන්ත්‍රීවරුන් දෙදෙනා ඇතුළු හත්දෙනකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් පවරා තිබු නඩුවක්‌ කැඳවු අවස්‌ථාවේදී ඔවුන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම ගැන අවධානය යොමු කළ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා එම වරෙන්තු නියෝගය නිකුත් කළේය.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණීමට විරුද්ධත්වය දක්‌වමින් 2016.2.06 වැනිදා කොළඹ 7 බෞද්ධාලෝක මාවත හා හැව්ලොක්‌ මාර්ගය අවහිර කරමින් මහජනතාවට පීඩාවන පරිදි උද්ඝෝෂණයක්‌ පැවැත්වීම ඇතුළු චෝදනා යටතේ කුරුඳුවත්ත පොලිසිය එම නඩුව පවරා තිබිණි.

පළමුවන සැකකාර විමල් වීරවංශ මහතාගේ ඇපකරු අධිකරණය හමුවේ පෙනී සිටින බැවින් විමල් වීරවංශ මහතාට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළේය. සැකකාර මන්ත්‍රීවරයා පෙර නඩු දිනයේ ද අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු පාර්ලිමේන්තුවේ විශේෂ සැසියකට සහභාගී වන බැවින් නොපැමිණෙන බව විත්තියේ නීතිඥවරුන් එදින අධිකරණයට දැනුම් දී තිබිණි. එදින පාර්ලිමේන්තුවට සහභාගී වූ බවට සනාථ කර පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ ලිපියක්‌ ඉදිරිපත් කරන ලෙසට අධිකරණය කර තිබු නියෝගය අනුව විත්තියේ නීතිඥවරයා එම ලිපිය ඊයේ අධිකරණයට ඉදිරිපත් කළේය.

සැකකාර විමල් වීරවංශ මහතා අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා ලෙසට ඔහුගේ ඇපකරුට අධිකරණය ඊයේ නියෝග කළේය. එම සැකකරුවන් දෙදෙනා හැර වීරකුමාර දිසානායක, පියසිරි විඡේනායක, රොජර් සෙනෙවිරත්න හා මොහොමඩ් මුසම්මිල් යන සැකකරුවෝ හතර දෙනකු ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටියහ.

එම නඩුවේ හත්වන සැකකරු ලෙස නම්කොට ඇති චමින්ද ජයලාල් නමැත්තා ලබාදී තිබු ලිපිනයේ මේවනවිට පදිංචි නොමැති බැවින් ඔහුට සිතාසි භාරදීමට නොහැකිවූ බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. ඔහු පදිංචි ස්‌ථානය අනාවරණය කරගතහොත් එම ලිපිනයට සිතාසි යෑවීමට පියවර ගන්නා ලෙසට ද අධිකරණය පොලිසියට නියෝග කළේය. එම නඩුව ලබන ජුනි 12 වැනිදා යළි කැඳවීමටද අධිකරණය දින නියම කළේය.
« PREV
NEXT »