BREAKING NEWS
latest

728x90

468x60

Saturday, March 03, 2018

සජිත්ට, හරීන්ට, නවීන්ට මහ බලයක් - අගමැති හීනය හබක් - පසුගිය සතියේ වෙච්ච දේශපාලන අටමගලවල් මෙන්න




මැතිවරණයෙන් පස්සේ කරළියට ආ ප්‍රධානම මාතෘකාව වූයේ කැබිනට් සංශෝධනයයි. වෙනස් වෙන, අලුතින් ලැබෙන, අහිමිවෙන තනතුරු ගැන බොහෝ දෙනා සිටියේ බලවත් දෙගිඩියාවකිනි. පක්ෂ විපක්ෂ සියලු දෙනා කුතුහලය කරපින්නාගෙන සිටියදී එජාපයට ජනපතිගෙන් ඇරයුමක් ලැබිණි. ඒ ඉරිදා (25) පෙරවරු 11.00ට පැවැත්වෙන දිව්රුම්දීමේ අවස්ථාවකට සහභාගීවන ලෙසටය. ඒ සමඟම නව රජයක් නව අගමැතිවරයෙක් යනාදී ලෙස තැන තැන වූ කතා පුස්සක් බවට පත්විණි.

එහෙත්,ඒ කාලය තුළ කිහිප විටක් ජනපති අගමැති හමු වී 'තනතුරු' සම්බන්ධව කරුණු හුවමාරු කරගෙන තිබිණි. ආණ්ඩුව එකට යාවිද නොයාවිද යන දෙගිඩියාව පහව යන්නට එය ප්‍රමාණවත් විය.

තනතුරු කඹ ඇදිල්ලක

සංශෝධනයට පෙරාතුව එජාප ශ්‍රිලනිප දෙපාර්ශ්වයම තනතුරු සම්බන්ධව විවාදවල නිරත වන අයුරු දැකිය හැකි විය. ඉන් ප්‍රධානම තනතුර වූයේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය ගැන වූ 'කඹ ඇදිල්ලයි'. ඊට අමතරව තවත් අමාත්‍යාංශ කිහිපයක් ගැන තිබ්බේ දෙපාර්ශ්වයට නතු කරගැනීම ගැන 'වාදයකි.'

අවසානයේදී බොහෝ වාද විවාද හමාර කරමින් එජාපයේ කිහිපදෙනෙකුටත්, ශ්‍රිලනිපයේ දෙදෙනෙකුට හෝ අයෙකුටත් අමාත්‍ය තනතුරුවල දිවුරුම් දීමට තීරණය කෙරිණි.

ශ්‍රී ලනිපයට දෙන්න ගිය තනතුරු

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වයේ වෙනස්කම් කිහිපයක් ගැනද තැන තැන කතා විණි. ඒ අතරින් මහින්ද අමරවීර අමාත්‍යවරයාට කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙසත්, දුමින්ද දිසානායක අමාත්‍යවරයා කුසලතා සංවර්ධන සහ වෘත්තිය පුහුණු අමාත්‍යවරයා ලෙසත් පත්කිරීමට නියමිත බව පැවැසිණි. චන්දිම වීරක්කොඩි මහතාට ධීවර අමාත්‍යංශය ලබාදීමට නියමිත බවත් කියැවිනි. නමුත් තවදුරටත් ඒවා වෙනස් වී නැත.

රංගේ යි වසන්තයි 'ගේම්' එකක

පළාත් පාලන මැතිවරණයෙන් පසුව අගමැතිවරයාගේ ධුරය මෙන්ම ආණ්ඩුවේ ස්ථාවර බව පිළිබඳව විවිධ කතා හා මෙහෙයුම් දියත් වුවද ඒවා සියල්ල දැන් ඉතා ශීඝ්‍රයෙන් යට යාමේ ප්‍රවණතාවක් ඇතිව තිබේ.

අගමැතිවරයා හා ආණ්ඩුවේ ස්ථාවර බව තිබුණාටත් වඩා ශක්තිමත් වන පසුබිමක රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර ආනමඩුවේදී දෙබරයට යළිත් ගල් ගැසීය.

"මට සාධාරණය ඉටුවුණේ නෑ. තවත් එහෙම අය ඉන්නවා. ඒවා නිවැරදි නොකරණ නිසා අගමැතිට එරෙහි විශ්වාසභංගයක් ගේනවා" පාලිත රංගෙ බණ්ඩාර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.

"අගමැති හොඳින් හෝ නරකින් ඉවත් කළ යුතුයි" තමාටද කිසිදු සාධාරණයක් නොවූ බව කියමින් නියෝජ්‍ය ඇමති වසන්ත සේනානායකද ප්‍රහාර එල්ල කළේය.

එහෙත් ඊට අදාළ විශ්වාසභංගයට අත්සන් තැබීමට මෙතෙක් කිසිදු මැති ඇමති කෙනෙකු ඉදිරිපත් නොවීම තුළ එකී උත්සාහයද ශීඝ්‍රයෙන් යට යන පසුබිමක් නිර්මාණය වී තිබේ. උඩින් මෙන්ම යටින්ද ගිනි පත්තු වී ඇති බව ඇතැම් ජනමාධ්‍ය වාර්තා කළද අගමැතිවරයා මේ සියලු තත්වයන්ට සුපුරුදු සැහැල්ලු බවකින් මුහුණ දෙන අයුරු පෙනේ. අගමැතිවරයා වෙනදා මෙන්ම බ්‍රහස්පතින්දාද සුපුරුදු රාජකාරිය සඳහා අරලියගහ මැදුරට පැමිණියේ ඒ අනුවය.

කිරිඇල්ලගෙන් ප්‍රහාරයක්

"එජාපයේ ඇමති සංශෝධනය අපි කළත්, ශ්‍රිලනිපයේ එක කල් ගියා. හරි නම් දෙකම එකටයි කරන්න තිබුණේ. අපේ සංශෝධන විතරක් කරන්න ඉඩදීම මම පෞද්ගලිකව එච්චර කැමති නැහැ" ලක්ෂ්මන් කිරිඇල්ල කතාවට මුල පිරුවේය.

"ආරංචි පළවෙන විදියට ශ්‍රීලනිප ඇමති මාරුව කරන්න අමාරු තත්වයක් ඇතිවෙලා කියලත් ආරංචියි. ශ්‍රීලනිප කවුරුවත් සංශෝධනවලට කැමති නැති කතාවකුත් තියනවා. මේ වෙලාවෙ කරන්න බැරි සංශෝධන පහුවෙලා නම් කරන්න බැරි වේවි. 

එජාපයට ශක්තිමත් සංවිධානයක් තියෙන නිසා සංශෝධන කළා. එහෙම හයියක් නැති පක්ෂයක මේවා කරන්න අමාරුයි" වජිර අබේවර්ධන කීය.

"මගේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග මාරු කළේ මගේ ප්‍රශ්නයක් නිසා නෙවෙයි අපේ වෙන කෙනෙකුගෙ ප්‍රශ්න නිසා කියලත් දැන් ඔප්පු වෙලා තියෙනවා" ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

"මගේ බැංකු ගලවනවා කියලත් පත්තර වල ගියා. එහෙම වුණොත් මට බෝඩ් ලෑල්ලක් විතරයි ඉතිරි වෙන්නේ. මම ජනාධිපතිතුමා හා අගමැතිතුමා ළඟ තියල, මේක ඇහුවම එතුමන්ල දෙන්නම බැංකු ගලවන්නෙ නැතිබව කීම සහනයක්" ලක්ෂ්මන් කිරිඇල්ල වැඩිදුරටත් කීය.

"ආණ්ඩුවේ පසුබෑමට හේතුව සමෘද්ධි හා කෘෂි අමාත්‍යාංශයේ පොහොර ඇතුළු ප්‍රශ්නයයි. අපේ නීතිය හා සාමයත් ශ්‍රීලංකා එකේ ප්‍රශ්නයත් නිසා ඒ ඇමතිකම මාරු කළා. හරිනම් ශ්‍රීලනිපයේ කෘෂි හා සමෘද්ධියත් මාරු කළ යුතු බව මිනිස්සු කියනවා" බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි කී දේ සියලු දෙනා අනුමත කළහ.

සජිත්ට නවීන්ට හරීන්ට 'බලය'

"අපේ දක්ෂ තරුණ අයට මීට වඩා වගකීම් ආණ්ඩුවේ හා පක්ෂය තුළ ලබාදීම කරන්න යන එක වටිනවා" දයා ගමගේ කීය.

"දූෂණ වංචා සෙවීම සඳහා කමිටුවක් ඇතුළු ප්‍රධාන කමිටු 03ක් දැම්මා. ඒවා කඩිනමින් වැඩ කරාවි. ඊළඟට ජේ.සී. අලවතුවලගෙ ප්‍රධානත්වයෙන් එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ට ජනතා ප්‍රශ්න විසඳීමට වැඩ පිළිවෙලක් සකස් කරලා පහසුකම් දීම ගැනත් පත්කළ කමිටු වාර්තාව අලවතුවල මට ලබාදුන්නා. සජිත් නවීන් අජිත් හර්ෂලගෙ කමිටුව හරහා තරුණ ඇමතිවරුන්ගේ වැඩපිළිවෙල ශක්තිමත් කරන නිර්දේශ හෙට ලැබේවි. ඒ හරහාත් ජනතාවගේ මූලික ප්‍රශ්නවලට විසඳුම් දෙනවා. රුවන් විජේවර්ධනගෙ ප්‍රධානත්වයෙන් එජාප ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටු නිර්දේශ සඳුදා ලැබේවි. මේ සියලු කමිටුවල නිර්දේශ එකතු කරලා එක වැඩපිළිවෙළක් කඩිනමින් දියත් කරනවා" අගමැති කීවේ සියලු දෙනාගේ ප්‍රශංසා මැදය.

අවුරුද්දට 'ලොකු'සහන

"ණය ගෙවලම හරියන්නෙ නෑ. ඒක කරන ගමන් ජනතාවට සහන, තරුණයන්ට රැකියා හා රටට ගමට සංවර්ධනයත් මේ හරහා වේගවත් කරන්න තීන්දු කිරීම වටිනවා. මේවා කලින් නොකළ නිසයි ජනතාව අපට රිදෙන්න ටොක්කක් දුන්නේ" ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ සිනාමැදය.

"ලඟ එන සිංහල හින්දු අලුත් අවුරුද්ද හා ඉදිරි අනාගතය වෙනුවෙන් ජනතාවගෙ ඇඟට දැනෙන වෙනස්කම් කරනවා. තරුණ මන්ත්‍රීල ඇමතිල හා අනිත් අයටත් මීට වඩා වගකීම් හා පහසුකම් දෙනවා" අගමැති කීය.

ෆොන්සේකට 'හරස් වුණේ කවුද?

"පොන්සේකාට නීතිය හා සාමය ලබාදීමට එජාපය එකඟවෙලා තියෙද්දී ඒක යට යාම ගැන ජනතාව අසතුටුයි වගේ" දයා ගමගේ කීය.

"ෆීල්ඩ් මාර්ෂල්ගෙ පත්වීම වැලැක්වූයේ එජාපය නෙවෙයි බාහිර බලවේග බව දැන් එළිවෙලා" ගයන්ත කරුණාතිලක කී දේ සියල්ල අනුමත කළහ.

“ඒ වගකීම් තාවකාලිකව අගමැතිතුමා ගැනීම හොඳයි. සතියකින් දෙකකින් ඒ වගකීම් සුදුසු කෙනෙකුට ලබා දීමට තීන්දු කළ එකත් හොඳ දෙයක්. හැබැයි හොරු ඇල්ලුවේ නැත්තම් ආණ්ඩුව ඉවරයි” ජේ ඩී අලවතුවල හා චමින්ද විජේසිරි කීවේ එකම කථාවකි.

අගමැතිගේ කමිටුව ජනපති අහෝසි කළාද?

“අගමැතිතුමාගේ ආර්ථික කමිටුව ගැන ජනාධිපතිතුමා ගිය කැබිනට් එකේදි ප්‍රශ්ණ කළා. ඒ කමිටුවේදී වැඩ හිරවෙන බවට යම් මතයක් තිබෙනවා. ඒ නිසා කමිටුවේ වැඩ කඩිනම් කිරීම වටිනවා” වජිර අබේවර්ධන කීය.

“කමිටුවේ වැඩ නවත්තන්න තීන්දු කළේ නෑ. දූෂණය වලක්වන්නයි ඔය කමිටුව හැදුවේ. හැම දෙයක්ම හොයලා තීන්දු දෙන්න ගියාම සුළු ප්‍රමාද වෙනවා. ඒ ප්‍රමාද නැති කරන්න වහාම පියවර ගන්නවා” අගමැති පිළිතුරු දුන්නේය.

චම්පිකට මුදල්

“චම්පික රණවකගේ නාගරික නිවාස වැඩ පිළිවෙළ හිර වුණේ කමිටුවෙන් නෙවෙයි මුදල් හිඟකම නිසයි” නිළධාරියෙක් කීය.

“චම්පිකට අපි මුදල් සොයලා දෙනවා. එජාප ප්‍රමුඛ ආර්ථික න්‍යායපත්‍රය හා ජනාධිපතිකතුමා ප්‍රමුඛ ශ්‍රීලනිප අදහස් හා යෝජනා මත ආර්ථිකය වේගයෙන් ඉදිරියට තල්ලු කරනවා” අගමැතිවරයා කීය.

අම්පාරේ සිද්ධිය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්විණි. පළමුව අම්පාර නගරයේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමු විය. අමාත්‍ය දයා ගමගේ මහතා ඒ පිළිබදව කරුණු ඉදිරිපත් කිරීමට සුදානම් වන අවස්ථාවේ දී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මම සියලු කරුණු දැන ගත් බවයි. මේ පිළිබඳව දිර්ඝව කථා කළ යුතුයි. තනිකරම මෙය ජාතිවාදය ඇවිස්සීමේ වැඩපිළිවෙළක පෙරනිමිත්තක්. මෙය පිටුපස ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයිනුත් ඉන්නවා යැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් සංවිධානාත්මකව අම්පාර සිද්ධිය ක්‍රියාත්මක වූ බවත්, සිදු වූ දේපල හානි වලට වන්දි ගෙවන ලෙසත් රවුෆ් හකීම් අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය. රජය අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් මෙම සිදුකළ බව මනෝ ගනේෂන් අමාත්‍යවරයාගේ අදහස විය. ඉන් පසු අදහස් දැක් වූ ජනාධිපතිවරයා කියා සිටියේ මෙම සිද්ධියේ සැකකරුවන් හඳුනාගෙන ඇති බැවින් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවයි. සිද්ධිය සිදුවන විට පොලීසිය නිහඩව බලා සිටි බවත්, පසුව ක්‍රියාත්මක වී ඇති බවත් අමාත්‍ය රවුෆ් හකීම් මහතා චෝදනා කළේය. ඒ පිළිබඳව ද සොයා බැලීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරන ලදි.

හැට පැන්න දිසාපතිවරු.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගෙන් දිස්ත්‍රික් ලේකම්වරු පිළිබදව විමසා සිටියේය. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ වයස අවුරුදු 60 ඉක්ම වූ දිසාපතිවරුන් 03 කගේ කාලය දිර්ඝ කිරීම නිසා එම ක්ෂේත්‍ර යේ නිලධාරීන් අප්‍රසාදය පළකරන බවයි. තරුණ නිලධාරීන්ට දිස්ත්‍රික් ලේකම් තනතුරුවලට පැමිණිමට ඇති අවස්ථාව මෙමඟින් මඟහැරී ඇති බව ජනාධිපතිවරයා කියා සිටියේය. ඊට පිළිතුරු ලබාදුන් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසුවේ එම දිසාපතිවරුන්ට සේවා දිගුවක් ලබාදුන්නේ පළාත් පාලන මැතිවරණය හේතුවෙනි. නැවත ලබාදෙන්නේ නැහැ. ඉන් පසු අදහස් දැක් වූ ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේය. නියමිත කාලයට විශ්‍රාම යාමට නියමිත නිලධාරීන් අනිවාර්යයෙන්ම විශ්‍රාම යවන්න. ග්‍රාම නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ටත් මෙම නීතිය ක්‍රියාත්මක කරන්න, එවිට නවක පරපුරට අවස්ථාව උදාවෙනවා. මෙය ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක කරන්න යැයි ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.

ආර්ථික කළමනාකරණ කමිටුව සහ චීන කඩ.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආර්ථික කළමනාකරණ කමිටුව පිළිබදව ඉන්පසු කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අවධානය යොමුවිය. පළමුව අදහස් දැක් වූ ජනාධිපතිවරයා මෙසේ පැවැසීය. “ ටයර් කර්මාන්ත ශාලාවක් හොරණ ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට කටයුතු කළා. නමුත් එම කර්මාන්ත ශාලාව පිහිටා ඇත්තේ කර්මාන්ත පුරයෙන් පිටතයි. අවසරයකින් තොරව ඉදිකිරිම් සිදු කරනවා. මෙමඟින් රජය අපහසුතාවයට පත්වෙනවා. වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් පිහිටුවීම සදහා මමත්, අග්‍රාමාත්‍යවරයාත් එම කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමේ අවස්ථාවටත් එක් වුණා. නමුත් වොක්ස්වැගන් ආයතනය ප්‍රකාශ කළා අපේ කිසිදු සම්බන්ධයක් නැහැ කියලා.” ජනාධිපතිවරයා කියා සිටියේය. එවිට අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසුවේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ස්ථාපිත කිරීමේ ගිවිසුමේ ප්‍රශ්න තිබුණා. නමුත් එම සමාගමේ කොටස් හිමියන් විසින් එවැනි කර්මාන්ත ශාලාවක් කුලියාපිටියේ මේ වන විට ඉදිකරනවා යැයි පැවැසීය. එවිට ජනාධිපතිවරයා මෙසේ පැවැසීය. “මෙවැනි සංවර්ධන ව්‍යාපෘති ආර්ථික කළමනාකරණ කමිටුවට යොමු කිරීමෙන් ප්‍රමාදයක් ඇති වෙනවා. සියලු ව්‍යාපෘති කැබිනට් අමාත්‍යවරුන්ට බාරදෙන්න. ඔවුන් ගැන විශ්වාසයක් තබන්න. මමත් ජනාධිපතිවරු කිහිප දෙනෙක් යටතේ වැඩ කළ මෙවැනි කමිටුවක් පත්කළේ පළමු වරට” යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය. නැහැ ප්‍රේමදාස හා චන්ද්‍රිකා ජනාධිපතිවරු යටතේ ද මෙවැනි කමිටු පත්කර තිබු බව අග්‍රාමාත්‍යවරයා පැවැසිය. එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේ පැවැසීය. මගේ සංවර්ධන ව්‍යාපෘති යෝජනා 80ක් පමණ ද ආර්ථික කළමනාකරණ කමිටුවේ හිරවෙලා තිබෙනවා. ඒවා 2015 වසරේ සිට ඉදිරිපත් කළ ඒවායි. මේ වන විට ඉන් ස්වල්පයක් පමණක් අනුමත වී තිබෙනවා. මෙම ප්‍රමාදය මඟහරවා ගත යුතු යැයි කියා සිටියේය. එහෙත් අමාත්‍ය මංගල සමරවීර මහතා සදහන් කළේ මෙවැනි කමිටුවක් පැවැතීම ඉතා හොඳ බවයි. 

පොහොට්ටුව දිනුවාට සාදයක්

පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය සැමරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වල උදවියට විශේෂ සාදයක් සඳුදා රාත්‍රියේ පැවැත් වුණේ මහින්දගේ විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදීය. ඒකාබද්ධයේ සියලු දෙනාම පාහේ එම සාදයට සහභාගී වී සිටියහ.

සවස 6.30ට පමණ සාදය ආරම්භ වූ අතර මන්ත්‍රීවරුන් සමඟ පැමිණ සිටි පවුල්වල උදවිය සියලු දෙනා වෙත ගිය මහින්ද ඔවුන් සමඟ කතාබහ කරමින් සුවදුක් විමසුවේය.

මහින්දගෙන් මන්ත්‍රි බිරින්දෑවරුන්ට ප්‍රසංසා

"අපේ ජයග්‍රහණයට සෘජුව දායකත්වය දක්වපු අපේ මන්ත්‍රීවරුන් වගේම ගෙදර අයටත් ස්තුති කරන්නම ‍ඕනේ. මොකද මන්ත්‍රීවරුන් මේ සටන අරගෙන යනකොට ඔයාලා තමයි ගෙදර ඉඳලා ඒකට ශක්තිය දුන්නේ. අපිට මේ මැතිවරණයේ දී වගේම ඉදිරියේ දී එන මැතිවරණ වලදිත් ඔයාලගේ සහයෝගය ඕනේ වෙනවා. එහෙම වුණොත් තමයි අපි ලොකු ජයග්‍රහණයකට යන්න පුළුවන් වෙන්නේ" මහින්ද පැවසීය.

සාදයට පැමිණි මන්ත්‍රීවරු තම තමන්ගේ හිතවතුන් සමඟ අසුන්ගෙන සිටින අතරතුර මහින්දගේ අවධානය යොමු වූයේ විශේෂ පිරිසක් අසුන්ගෙන සිටි මේසයක් වෙතය. එහි සිටියේ ලන්සා, අරුන්දික, පියංකර, ඩුලිප් යන අයය. එහි විශේෂත්වය වුයේ ඔවුන් සියලුදෙනාම යහපාලන ආණ්ඩුවේ ඇමැතිකම් දරා පසුව ඒකාබද්ධ විපක්ෂයට එකතු වූවන් වීමය.

"මොකද මේ අය එකට වාඩිවෙලා. කොහොම වුණත් ඔයාලා හොඳ වෙලාවට ඡන්දෙට ඉස්සෙල්ලා ආවේ? මහින්ද ඔවුන් වෙත ගියේ විහිලුවක් ද කරමිනි.

"ඒක නම් ඇත්ත සර්. අපි ඒ තීන්දුව ගත්තේ නැත්නම් මිනිස්සු අපිටත් ගහයි. " ලන්සා පැවසීය.

විමල් නොනැවතී සිංදු කියයි

මැතිවරණ ජය වෙනුවෙන් පොහොට්ටුව පැවැත්වූ සාදය පහන්වන තුරු පැවැතිණි. ඉස්තරම් මධුවිතෙන් පිරී තිබිණි. එය ආරම්භ වී පැය තුනක පමණ කාලයක් මහින්ද මන්ත්‍රීවරුන් සමඟ ගත කළේය. සාදයේ මුලින්ම ගීත ගායනා කරන්නට එකතු වූයේ විමල්ය. ගුණදාස කපුගේ ශූරින්ගේ දවසක් පැල නැති හේනේ ගීතයෙන් ගායනය ආරම්භ කළ විමල් එක දිගට ගීත දහයක් පමණ ගැයුවේය.

විමල් ගීත ගැයුම අවසන් කළේ ඔහුගේ දියණිය සමඟ ගැයූ දම්පාටින් ලා සඳ බැස යනවා ගීතයත් සමඟිනි.

'අනේ මන්ත්‍රීතුමා අපිටත් මයික් එක දෙන්නකෝ' කියා පියල් නිශාන්ත විමල්ගෙන් මයික් එක ඉල්ලුවද ඔහු පැයකටවත් එය දුන්නේ නැත.

ගීය ගයන්නට ගිය පියල්ට අවසානයේ සිදු වූයේ බොංගෝව වයන්නටය.

පියල් ගයද්දී පවිත්‍රා නටයි

බොංගෝ වයමින් සිටි පියල් විමල්ගෙන් පසුව ගීත දෙකක් ගැයුවේය. ඒ නම් ආදරේ රන් විමන් සහ කුණ්ඩුමනී යන ගීතය. පියල් කුණ්ඩුමනී ගීතය ගායනා කරන විට පවිත්‍රා සහ කාංචන නැටුමකින් ගීතය වර්ණවත් කළහ. එහෙත් සැමගේ සිත් ගත්තේ ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා සාදය ආරම්භයේ සිට අවසානය දක්වාම නැටූ නන්ස්ටොප් නැටුමය.

ප්‍රසන්නලා 'බෙල්ල කඩන්න'යයි

මහ මැතිවරණයක් ඉල්ලා ඒකාබද්ධ විපක්ෂ ජනරැළි මාලාවක් තියන්නට යයි. ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් බදාදා සවස නෙළුම් මාවතේ දී පැවැත්විණි. ජනවරම ප්‍රදර්ශනය වන අයුරින් නුගේගොඩ ජනරැළිය සාර්ථක කර ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. "පහුගිය ඡන්දෙන් මිනිස්සු මේ ආණ්ඩුවේ කකුල් සහ අත් කඩලා දැම්මා. දැන් තියෙන්නේ ඊළඟ ඡන්දෙන් ආණ්ඩුවේ බෙල්ලම කඩලා දාන්නයි" ප්‍රසන්න පැවසුවේ කවුරුත් සිනහා ගන්වමිනි.

අගමැති හීනය 'හබක්'

අගමැතිකම මාරුවෙන බවට කතාවක් යද් දී එක්තරා ජේෂ්ඨයෙක් එහෙ මෙහෙ දුවමින් 'අගමැතිකම' තමන්ට ලබාගන්නට වෑයම්කොට තිබේ. ඔහු ආණ්ඩුවේ ලොකු අය හමු වී තමන්ගේ සුදුසුකම් කියා ඇති අතර ජෝතිෂ‍යවේදීන් හමුවී අනාගතය ගැන විමසා තිබේ.

'මට අගමැති වෙන්න පුලුවන්ද?'

ඔහු ප්‍රකට අංජනම් බලන්නියකගෙන් විමසා තිබේ.

'බෑ, කොහොමටවත් බෑ' ඇයගේ කතාවෙන් ඔහු කම්පා වී තිබේ.

'එහෙම වෙන්නේ කොහොමද?'

'එහෙම වෙන්නේ, ඉන්න කෙනා වෙනස් නොවෙන හින්දා'

අගමැති වෙන්න ගිය ඇමතිවරයා හිස බිමට නවාගෙන නැවත පැමිණ තිබේ.

අගමැතිගෙන් රාජිතට හදිසි ඇමතුමක්

පොහෝ දින පෙරවරුවේ සෞඛය අමාත්‍ය රාජිත ශාරීරික ව්‍යායාමවල නිරතවන විට අග්‍රාමාත්‍යවරයාගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි.

'මම අද සිංගප්පුරුවේ යනවා. ඉන්වෙස්ට් ශ්‍රී ලංකා සමුළුවට සහභාගිවීම සදහා. සිකුරාදා දිවයිනට පැමිණෙනවා. සෙනසුරාදා දින අපි හමුවෙලා දේශපාලන සාකච්ඡාවක් සිදුකළ යුතුයි. ඊට රාජිත අනිවාර්යයෙන්ම එන්න. යැයි පැවැසීය. එම ආරාධනාව 

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පිළිගත් අතර, තවත් දේශපාලන කරුණු කිහිපයක් ඔවුන් දෙදෙනා සාකච්ඡා කරන ලදි.


 රංජිත් කුමාර සමරකෝන්

resa.lk
« PREV
NEXT »