BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, April 10, 2018

තැටිය රත් වුනාම රජය වැඩ පටන් ගත්තා - ඇමැති රාජිත

රජයට එරෙහි විශ්වාසභංග යෝජනාව මීට පෙර ඉදිරිපත් කළේ නම් රජය ක්‍රියාශීලීව වැඩ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. ශ්‍රී ලංකා ටෙලිකොම් මෑන් පවර් සේවකයින් 452 කට ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී මෙම උත්සවය පසුගියදා පැවැත්විනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “විශ්වාසභංග යෝජනාවෙන් පසු රජය දැන් වැඩ කරන්න පටන් අරන් තිබෙනවා. තැටිය රත් වෙනකොට තමයි වැඩ කෙරෙන්නේ. තැටිය ගිනියම් වෙන්නම රත් වුනා. රජය යහ පාලනය ඇති කිරීම සදහා තමයි කටයුතු කළේ. උතුරේ සහ දකුණේ පැවැති කැරැලි වලින් මිය ගියේ අපේ දරුවෝ. ඒ තත්ත්වය නිර්මාණය කළේ දේශපාලනඥයින් විසින්. පසුගිය රජයේ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් රජය පිළිබද ගැටලු මතුවුනා. අපි කාලය පැමිණෙන තුරු ඉදලා වැඩේ දුන්නා. ජනතාවට අමාරු වෙනකන් ඉදලා තමයි අපි රජය පෙරළා දැමීමට තීරණය කළේ. රහස් ඔත්තු සේවා තිබුනත් ඔවුන්ටත් සොයා ගන්න බැරි වුනා. රජය පෙරළා දමමින් අපි තව නායකයෙක් පත් කරන්න නෙවෙයි හැදුවේ. රට හදන්න. යුතුකම් ඉෂ්ඨ කළ යුතුයි. විශාල වෙනසක් සිදු කර තිබෙනවා.”
“ශ්‍රී ලංකා ටෙලිකොම් මෑන් පවර් සේවකයින්ගේ ගැටලු අවසන් වෙන තුරු සහයෝගය ලබාදෙනවා. මෙය හොද පියවරක්. අදියරෙන් අදියර මෙම සේවකයින්ගේ ගැටලු විසදිය යුතුයි. ඔවුන්ගේ අයිතිය ලබාදිය යුතුයි. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලික ආයතනයක් වුවත්, රජයට බරක් නැතිව කටයුතු කරනවා. නවීන තාක්ෂණය ඉදිරියට ගෙන යා යුතුයි. සන්නිවේදනයත් සමග රට දියුණු කළ යුතුයි. මෑන් පවර් සේවකයින් තවත් 1000 ක් විතර ඉන්නවා. ඔවුන්ගේ සේවය ස්ථීර කළ යුතුයි. ඉල්ලීම් දිනා ගැනීමේ හොදම ක්‍රමය සංවාදයයි. පැරණි ක්‍රමය තමයි ක්‍රියාමාර්ග වන්නේ. ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපතිවරයා වන්නේ ජනාධිපතිවරයාගේ සොහොයුරායි. හොද වැඩ සදහා පදවිය භාවිතා කළ යුතුයි. සභාපතිවරයා ලග තිබෙන කඩුව සාධාරණ විදිහට භාවිත කරන්න. එවිට ප්‍රශ්න ඔක්කොම විසදෙයි. මෙම මෑන් පවර් සේවකයින් බදවා ගත් කොන්ත්‍රාත් සමාගම ස්ථාපිත කළේ කොහොමද, එහි ලාභය ගිය ස්ථානය, මුදල් ගිය ස්ථානය අපි දන්නවා. දේශප්‍රේමය ගැන දැන් කථා කරනවා. ඒ කාලේ දේශප්‍රේමයට වඩා මුදල් ප්‍රේමය වැඩි වුනා. සේවක ශ්‍රමය සූරාගෙන කෑවා. මමත් වෘත්තීය සමිති නායකයෙක්. තවත් අතකින් දේශපාලනඥයෙක්. කොන්ත්‍රාත් ක්‍රමයට සේවකයින් බදවා ගැනීම ආරම්භ කළේ ලංකා බැංකුවයි. එම සේවකයින් ස්ථිර කිරීමේ වැඩපිළිවෙලටත් මම දායක වුනා. එම සේවකයින් ස්ථිර කළේ අරගලයකින් අනතුරුවයි. ටෙලිකොම් මෑන් පවර් සේවකයින් ද අරගලයකින් තමයි ජයග්‍රහණය ලබාගත්තේ. 2019 වර්ෂය අවසන් වන විට සියලුම සේවකයින් බදවා ගැනීමට කටයුතු කරන බව සභාපතිවරයා ප්‍රකාශ කළා. සේවක වැටුප් පිළිබදව අවධානය යොමු කළ යුතුයි. මෙම සේවකයින් යහපාලන රජය බිහි කිරිමට දායක වුනා.”

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන මහතා, ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලය, සේවක සේවිකාවන් එක්ව සිටියහ.
« PREV
NEXT »