BREAKING NEWS
latest

728x90

468x60

Saturday, April 14, 2018

සිංහල- හින්දු අලුත් අවුරුදු සුබ පැතුම්

සාමයේ-සෞභාග්‍යයේ අස්වැන්න නෙළා ගනිමු - ජනපති

මුළු මහත් ජන සමාජයකට සාධනීය ගුණ යහපත්කම් සහ ආචාර ධර්ම වපුරන මහා සාර සංස්කෘතික මංගල්‍යය වන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ගැඹුරින් හදාරා, උත්කර්ෂවත් ලෙස සැමරීම මඟින් සාමය සහ සෞභාග්‍යය නම් අස්වැන්න නෙළා ගැනීමට අපට නිසැකවම හැකියාව ලැබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා සිය අලුත් අවුරුදු පණිවිඩය නිකුත් කරමින් මේ බව පවසයි.

හෙතෙම සිය පණිවිඩය මඟින් මෙසේ ද කියා සිටියි.

යුගයෙන් යුගයට මානව ශිෂ්ටාචාරය පරිණාමය වුයේ සංස්කෘතික මිනිසා ද පරිපූර්ණත්වයට පත් කරමිනි. ලොව විවිධ ජාතීන් සමරනු ලබන ඔවුන්ගේ ජාතිකත්වය අනන්‍ය වු සංස්කෘතික උළෙල කෙරෙන් පැවසෙන්නේ ඔවුන් තම චිරාගත උරුමයන්ට දක්වන ළබැඳියාව සහ අපරිමිත වු කැපවීමය.

සිංහල, දෙමළ අලුත් අවුරුද්ද කෙරෙන් ද සම්ප්‍රේෂණය වනුයේ පෙරදිග වාසීන් වන අප සතු උදාරත්වයේ විශිෂ්ට පිළිබිඹුවයි.

අලුත් අවුරුද්ද යනු, සැබැවින්ම අලුත් දැක්මක්, අලුත් කියැවීමක් සහිත අලුත් මිනිසකු සමාජයට පිළිගැන්වීමය. නොනගතය නම් සංක්‍රාන්තිමය විරාමයේ ස්වයං හැදෑරීමකට අනුගතව, අවුරුදු චාරිත්‍ර සමඟ ගනුදෙනු කරන මේ අලුත් මිනිසා, අලුත් අවුරුදු උදාවත් සමඟ සමාජයට ප්‍රවේශ වන්නේ සාමකාමී සහජීවනය සහ සමාජ සංහිඳියාව කැටුව නෑගම් යන සමීප ඥාතියකු ලෙසය.

අන්‍යෝන්‍ය බැඳීම් සහ සමාජයීය සබඳතා එරබඳු කැකුළු සේ විකසිත කරනු ලබන චිරාගත සිරිත් විරිත් සමඟ බැඳුණු අලුත් අවුරුද්ද, මිනිස් සිතිවිලි පරාසය පරමාදර්ශී සුවඳින් දෝවනය කරමින් අනාගතයට ගලා යන්නේ අපේ ගැඹුරු අවබෝධය සහ අප අලුත් අවුරුද්දට දක්වන ගෞරවනීය පිළිගැනීම ඔස්සේය. මුළු මහත් ජන සමාජයකට සාධනීය ගුණ යහපත්කම් සහ ආචාර ධර්ම වපුරන මහා සාර සංස්කෘතික මංගල්‍යය වන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ගැඹුරින් හදාරා, උත්කර්ෂවත් ලෙස සැමරීම මඟින් සාමය සහ සෞභාග්‍යය සම් අස්වැන්න නෙළා ගැනීමට අපට නිසැකවම හැකි වෙනු ඇත.

සොබාදහමත් මිනිසාත් අතර වන ආදීකල්පිත අවියෝජනීය බැඳීම ද මිනිසා සතු කෘතවේදීත්වය පිළිබඳ ආශ්වාදනීය කැපවීම ද අලුත් අවුරුදු චාරිත්‍ර ඔස්සේ වර නැඟෙනුයේ අපේ ආදිතමයන්ගේ උත්තුංග ගුණ යහපත්කම අප හමුවේ විහිදාලමිනි. එවන් මහරු සාරධර්මයන් යාවත්කාලීන කරමින් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමරන එතෙර මෙතෙර වැසි සමස්ත ශ්‍රී ලාංකිකයන්ට සාමය සෞභාග්‍යය සපිරි ඉසුරුමත් අලුත් අවුරුද්දකට මාගේ සුබ පැතුම් පිරිනමමි.

මෙවර අලුත් අවුරුද්ද ඇරඹුමක් කර ගනිමු - අගමැති

ජාතිය, ආගම, තරාතිරම කුමක් වුව ද සංස්කෘතික විවිධත්වය පිළිගනිමින්, අගයමින් සියල්ලන් සමඟ සතුටින්, සාමයෙන් දිවි ගෙවීමට මෙම අළුත් අවුරුද්ද නව ඇරඹුමක් කර ගනිමු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් ශුභාශිංසන පණිවිඩයක් නිකුත් කරමින් අගමැති වික්‍රමසිංහ මහතා මේ බව පවසයි. එම ශුභාශිංසන පණිවිඩයේ මෙසේ ද සඳහන් කරයි. සොබාදහම සහ මනුෂ්‍යයා අතර පවතින අන්‍යෝන්‍ය සබැඳියාව අර්ථවත් කරමින්, හිරු ප්‍රමුඛ සොබා දහමට කෘතවේදිත්වය පුද කරන, ජාතික සමඟිය සහෝදරත්වය ඔප් නංවන සූර්ය මංගල්‍යය නව සිතුම් පැතුම්, අධිෂ්ඨානයන් සමඟ ජීවිතය අලූත් කර ගන්නට ලැබෙන කදිම අවස්ථාවකි.

වාර්ගික, ආගමික, පක්ෂ පාට භේද පසෙක ලා අප රටේ සැම දෙනා එක්ව සමරනු ලබන ප්‍රමුඛතම ජාතික උත්සවය සිංහල, දමිළ අලුත් අවුරුද්දයි. ජාතිය, ආගම, තරාතිරම කුමක් වුවද සංස්කෘතික විවිධත්වය පිළිගනිමින්, අගයමින්, සියල්ලන් සමඟ සතුටින්, සාමයෙන් දිවි ගෙවීමට මෙම අළුත් අවුරුද්ද නව ඇරඹුමක් කරගනිමු.

චිරාත් කාලයක සිට දේශීය ජන ජීවිතය හා ඒකාත්මිකව පැවත එන අළුත් අවුරුදු සිරිත් විරිත් සඳහා අර්ථවත්ව සහභාගි වෙමින් එම සංස්කෘතික උරුමය අපගේ අනාගත පරපුරට තිළිණ කිරීම සඳහා ද මෙය අවස්ථාවක් කරගනිමු.

සමෘද්ධිමත් දේශයක් ගොඩනැංවීම උදෙසා, සාමය, සංහිඳියාව, සහජීවනය වෙනුවෙන් කැප වී කටයුතු කරන, ප්‍රීතිමත්, සුබ අළුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනය කරමි.

සියලු බාධක-අභියෝග ජය ගැනීමට හැකි වේවා ! - විපක්ෂ නායක

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා ඇති සියලු බාධක හා අභියෝග ජය ගෙන, ජනතාවට ආත්ම අභිමානයෙන් හා ගෞරවයකින් යුතුව ජීවත්වීමේ අයිතිය ලබාදීමට නව වසරේ දී හැකිවේවායි! ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි.

එළඹෙන අලුත් අවුරුද්ද නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සම්බන්ධන් මහතා මේ බව ප්‍රකාශ කරයි.

එහි මෙසේ ද සඳහන් කර ඇත.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය සමරන මෙම රටේ සිංහල හා දෙමළ ජනතාවට මගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.

රටක සංවර්ධනය හා අනිකුත් ක්ෂේත්‍රවල ප්‍රගතියක් ඇති කිරීම සඳහා ස්ථිර සාමයක් හා සමඟියක් පැවතීම අත්‍යවශ්‍යයි. ජාතික ගැටලුවට ස්ථිර විසඳුමක් ගෙන දීමට මං පෙත් විවර කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා ඇති සියලු බාධක හා අභියෝග ජය ගෙන, ජනතාවට ආත්ම අභිමානයෙන් හා ගෞරවයකින් යුතුව ජීවත්වීමේ අයිතිය ලබාදීමට නව වසරේ දී හැකිවේවායි මම ප්‍රාර්ථනා කරමි.

මෙම නව වසර එකමුතුව සමරන ලෙසත් අපගේ ජනතාව අතර සැබෑ සාමයක් අවබෝධයක් වාර්ගික සමඟියක් හා සංහිඳියාවක් ගොඩනැගීම සඳහා ද එක්ව කටයුතු කරන ලෙසත් සියලුම ජනතාවගෙන් මම ඉල්ලා සිටිමි.

විශේෂයෙන්ම, අවාසනාවන්ත සිද්ධීන්වලට මුහුණ පා ඒවායින් පීඩාවන් විඳිමින් සිටින අයටත් ඔවුන් විඳි එම පීඩාවන්ට අවසානයක් ගෙන දීමටත් මෙම වසරේ දී හැකියාව ලැබී අප සියලු දෙනාටම නව අපේක්ෂාවන් ඇති කර ගැනීමට අවස්ථාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
« PREV
NEXT »