ආණ්‌ඩුවට එරෙහිව ප්‍රබල විපක්‌ෂයක් ගොඩනැගීමට ඒකාබද්ධ විපක්ෂය සමග එක්‌ව කටයුතු කිරීමට තම කණ්‌ඩායම ඊයේ (23 වැනිදා) සවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ඡාවේදී එකඟවූ බව හිටපු ඇමැති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
හෙතෙම මේ බැව් පැවසුවේ ඇමැතිධුරවලින් ඉවත්ව විපක්‌ෂයේ අසුන්ගත් ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ 16 දෙනාගෙන් යුත් පාර්ලිමේන්තු කණ්‌ඩායම ලෙසින් ඊයේ සවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්‌වමිනි.
මෙම සාකච්ඡාව සඳහා සහභාගි නොවූවේ ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන මහතා පමණක් බවත් ඊට හේතුව ඔහු අසනීප තත්ත්වයෙන් පසුවීම බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.
විපක්‌ෂයේ සියලු පක්‌ෂ සමග එක්‌ව ආණ්‌ඩුවට එරෙහිව කටයුතු කිරීමටත් ඉදිරි මැතිවරණවලදී තම කණ්‌ඩායමද ඒකාබද්ධ විපක්ෂය සමග එක්‌ව පුළුල් සන්ධානයක් ලෙසින් සන්ධාන ගතවීමටත් මෙම සාකච්ඡාවේදී එකඟ වූ බව පැවසූ ප්‍රේමජයන්ත මහතා සාකච්ඡා ඉතා සාර්ථකව පැවැති බවද කීවේය.
මෙම සාකච්ඡාවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. බී. ඒකනායක මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුවේ විපක්‌ෂය නියෝජනය කරන වෙනම කණ්‌ඩායමක් ලෙසින් කටයුතු කරන බවත් ඒ අනුව ඉදිරියේදී කණ්‌ඩායම් නායකයකු කැඳවුම්කරුවකු වැනි තනතුරු සඳහා ද සුදුස්‌සන් පත්කර ගැනීමට පියවර ගන්නා බවත්ය.
අනුර බාලසූරිය