BREAKING NEWS
latest

728x90

468x60

Sunday, May 27, 2018

සිංගප්පූරු ගිවිසුමේ ගේම්කාරයා මහේන්ද්‍රන් යැයි කියමින් ජනපතිට පැමිණිල්ලක්. | Arjun Mahendran

ශ්‍රී ලංකා-සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ ප්‍රධානියා වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ සිට කටයුතු කරන්නේ කුමන පදනමකින්ද යන්නත් ඔහුට...එවැනි බලයක් ලබාදී ඇත්නම් එය කවුරුන් විසින් කරන ලද්දක්දැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පැමිණිලි කිරීමට ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 කණ්ඩායම තීරණය කරයි. මේ වන විටත් එයට අදාළ තොරතුරු ලැබී තිබෙන බැවින් ඒ පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කරන බවට ඒ කණ්ඩායම පැවැසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා-සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන පුද්ගලයා වශයෙන් අර්ජුන මහේන්ද්‍රන් මහතා ක්‍රියා කිරීම ගැන වහාම සොයා බැලීමක් සිදු කරන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරන බවයි.

ශ්‍රී ලංකා-සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම සැලසුම් කිරීමට අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් සිටින විටද දැඩි උනන්දුවක් දැක්වූවෙකි. ප්‍රබල චෝදනාවක් එල්ල වී තිබෙන පුද්ගලයකු තවදුරටත් ශ්‍රී ලංකාවේ වෙළෙඳ ගිවිසුම්වලට සම්බන්ධ වීම ඉතා බරපතළ තත්ත්වයක් බවත් දයාසිරි ජයසේකර මහතා පෙන්වා දෙයි.

නිල් වරෙන්තු, රතු වරෙන්තු නිකුත් වී තිබෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව කටයුතු නොකර ඒ මහතා තවදුරටත් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම්වලට සම්බන්ධ කර ගැනීම ඉතා බරපතළ තත්ත්වයක් බවත් එම නිසා මේ ගැන සොයා බලා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙසට ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බවත් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කෙළේය.

අර්ජුන මහේන්ද්‍රන් මහතා මහ බැංකුවේ අධිපති ධුරයෙන් ඉවත් කළාට පසුව අගමැතිවරයාගේ අමාත්‍යාංශයක උපදේශකයකු ලෙස පත්කර ගැනීමත්, සිංගප්පූරු ගිවිසුමට අදාළ කටයුතු ආරම්භ කිරීමත් එකම කාලයක සිදුවූ බව පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළ ජයසේකර මන්ත්‍රිවරයා එම ගිවිසුමේ මහ මොළකරු අර්ජුන බවද පැවැසීය.

අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පූරු පුරවැසියකු වන අතර, ඔහු මහ බැංකුවේ අධිපති තනතුරට පත්වන අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පක්ෂ බවට ප්‍රතිඥා දීමේ ප්‍රකාශයද කළේ නැත.
« PREV
NEXT »