BREAKING NEWS
latest

728x90

468x60

Saturday, May 19, 2018

ශ්‍රී ලනිප තනතුරු වෙනසේදී මහින්දලාට කැපිල්ලක්

ජුනි 3 වැනිදා ආරම්භ කිරීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලියේදී පක්ෂයේ අනුශාසක වශයෙන් සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සියලු දෙනා තනතුරුවලින් ඉවත් කිරීමට සූදානම් වෙයි. 

මිට අමතරව කුමාර වෙල්ගම, ඩලස් අලහප්පෙරුම, පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු හිටපු ජනාධිපතිවරයාට හිතවත් සෑම කෙනකුම මෙම ප්‍රතිසංවිධාන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමේ සූදානමක් පවතින බව ඒකාබද්ධ විපක්ෂයේ ජේ‍යෂ්ඨ නියෝජිතයෙක් ඉරිදා 'මව්බිම'ට පැවැසීය. 



මෙම ප්‍රතිසංවිධාන ක්‍රියාවලියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කිසිදු අසාධාරණයක් සිදුනොවන බවත් එවැනි තත්ත්වයක් මතුවුවහොත් එය වැළැක්වීමට ක්‍රියාකරන බවත් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමේ ජේ‍යෂ්ඨයෙක් ඉරිදා 'මව්බිම'ට පැවැසීය. 

මෙම ප්‍රතිසංවිධානයේදී සිදුවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතාව අතරට ගෙනා හැකි ක්‍රියාවලියක් බවත් ඒ හැර වෙන කිසිදු අරමුණක් මෙහි නොමැති බවත් එම ජේ‍යෂ්ඨ සාමාජිකයා ප්‍රකාශ කළේය. ජුනි 3 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා තාවකාලික නව නිලධාරි මණ්ඩලය පත් කිරීමට නියමිතව ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසිනි. 

පක්ෂයේ ප්‍රතිසංවිධානයට අදාළව පොහොට්ටුව නියෝජනය කරමින් ශ්‍රී ලනිපයේ තනතුරු දරන අය ගැන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතාගෙන් විමසූ විට කීවේ නිලධාරි මණ්ඩලය නියෝජනය කරන එම පිරිසේ වෙනස්කම් කළ යුතු බවට පක්ෂ නායකත්වයද යම් අදහසක් දැරූ බවත් සමහර විට නව නිලධාරි මණ්ඩලයක් හෝ පක්ෂයේ ඉදිරි කටයුතු ගෙනයෑමට කමිටුවක් හෝ පත් කිරීමට ඉඩ තිබෙන බවත් ඒ වෙනස පක්ෂ නායකත්වය විසින් සිදුකරනු ඇති බවත්ය. 

විශේෂයෙන් සැප්තැම්බර් 2 වැනිදා පැවැත්වෙන පක්ෂ සම්මේලනයට පෙර පක්ෂ ශාඛා බල මණ්ඩල, දිස්ත්‍රික් සංවිධාන, කාන්තා, තරුණ හා වෘත්තීය සමිති අංශ ශක්තිමත් කිරීම ප්‍රතිසංවිධානයත් සමඟ සිදුවනු ඇතැයිද මහ ලේකම්වරයා පැවැසීය.
« PREV
NEXT »