BREAKING NEWS
latest

728x90

468x60

Sunday, May 06, 2018

කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියට ගෙන ගියේ පාර්ලිමේන්තුවේ ඉල්ලීමකට නොවේ - කථානායක කියයි

කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ පිහිටි ගොඩනැඟිල්ලේ ස්‌ථාපිත කෙරුණේ පාර්ලිමේන්තුව විසින් කරන ලද ඉල්ලීමකට අනුව නොවන බව කථානායක කරු ජයසූරිය මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

කථානායක කාර්යාලය විසින් එවා ඇති නිවේදනයක ඒ බව දැක්‌වෙන අතර එහි තවදුරටත් මෙසේද සඳහන්වේ.

අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රකාශයක්‌ උපුටා දක්‌වමින් කෘෂිකර්ම අමාත්‍යාංශය රජමල්වත්ත ගොඩනැඟිලි සංකීර්ණයේ සිට රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක්‌ වෙත ගෙන යන ලද්දේ පාර්ලිමේන්තුවේ ඉල්ලීමක්‌ පරිදි බව පළව ඇති ප්‍රවෘත්තිය කථානායකතුමන්ගේ අවධානයට ලක්‌ව ඇත.

2015 නව රජය පත්වූ පසු පාර්ලිමේන්තුවේ ස්‌ථාපිත කරන ලද ආංශික කාරක සභාවන්හි කටයුතු සඳහා අමතර කාර්යාල පහසුකම් අවශ්‍යව තිබූ අතර ඒ සඳහා පාර්ලිමේන්තු බිම් මහලේ ගරාජය සුදුසු පරිදි සකසා ගැනීම සඳහා කථානායකතුමන්ගේ උපදෙස්‌ පරිදි පාර්ලිමේන්තුවේ නිලධාරීන් විසින් අවධානය යොමු කර තිබිණි.

නමුත් ඒ වන විට, සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද පාර්ලිමේන්තුවට ආසන්නයෙන් කාර්යාල පහසුකම් සැපයීම පිළිබඳව රජයේ අවධානය යොමු වී තිබූ බැවින් පාර්ලිමේන්තුවේ ආශිංක කාරක සභා සඳහා අවශ්‍ය අමතර ඉඩකඩ ලබාගැනීම සහ මන්ත්‍රී කාර්යාල සඳහා ගොඩනැඟිලි පහසුකම් ලබාගැනීම යන අරමුණ 02 සඳහාම එකම ගොඩනැඟිලි සංකීර්ණයක්‌ යොදා ගැනීම ප්‍රායෝගිකය යන අදහසින් යුතුව පාර්ලිමේන්තුවට ආසන්නව පවතින කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ගොඩනැඟිලි සංකීර්ණය ලබාගැනීමට රජය විසින් තීරණය කරන ලදී. කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනත් ස්‌ථානයක ස්‌ථාපිත කෙරුනේ රජයේ මෙම තීරණ මත වන අතර එය පාර්ලිමේන්තුව විසින් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක්‌ නොවේ.

මේ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවැති රජමල්වත්ත ගොඩනැඟිලි සංකීර්ණය හෝ එහි කොටසක්‌ පාර්ලිමේන්තුව වෙත ලබාදෙන ලෙස හෝ කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ නව ගොඩනැඟිල්ලකට ගෙන යැම පිළිබඳ යෝජනාවක්‌ පාර්ලිමේන්තුව විසින් ඉදිරිපත් කර නොමැති බව සඳහන් කළ යුතුය.
« PREV
NEXT »