BREAKING NEWS
latest

728x90

468x60

Thursday, May 31, 2018

රාජපක්‍ෂ පාලනයක් යටතේ මුස්ලිම් ජනතාවට බයෙන් ජීවත්වෙන්න ඉඩ තියන්නේ නෑ

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට සහ තමා සම්බන්ධ කරගෙන බොරු ප්‍රචාර ගෙන ගියත් ආරක්ෂක ලේකම්වරයාව සිටින කාලයේදීත්, නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් සිටියදීත් තමාට පැවැරී තිබුණු වගකීම් අතරින් විශේෂයෙන්ම මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට සෑම විටම ක්‍රියා කළ බව තමා සමඟ සමීපව කටයුතු කරපු මුස්ලිම් නායකවරුන් දන්නා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බේරුවලදී පැවැසීය.


ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ පැවැසුවේ බේරුවල මිල්පර් කපූර් පදනම මඟින් සංවිධානය කළ ඉෆ්තාර් උත්සවය අමතමිනි.

මෙම උත්සවය සඳහා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි මුස්ලිම් ආගමික නායකයන් මෙන්ම පන්දහසකට අධික මුස්ලිම් ප්‍රජාවක්ද සහභාගී විය.
එහිදී හෙතෙම මෙසේද කීය.

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ කොළඹ නගරයේ කරන ලද සංවර්ධන කාර්යයේදී විශාල වශයෙන් බොරු ප්‍රචාර කරගෙන ගියත් අවසානයේදී ඒ ප්‍රදේශවල ජීවත්වුණු මුස්ලිම් ජනතාවට කිසිදු අසාධාරණයක් නොවන පරිදි ඒ සංවර්ධන කටයුතු කළ බව දැන් ඒ ප්‍රදේශයේ ජීවත්වන මුස්ලිම් ජනතාව හො¼දාකාරවම දන්නවා.

2005 වර්ෂයේ මම ආරක්ෂක ලේකම්වරයාව සිටින කාලයේදී මට වගකීමක් පැවරී තිබුණා රට වෙනුවෙන් එවකට තිබුණු ත්‍රස්තවාදය පරාජය කිරීමට. එදා තිබුණු ත්‍රස්තවාදය නිසා නැඟෙනහිර පළාතේ ජීවත්වන ජනතාව කොපමණ අපහසුතාවකට පත්වෙලා තිබුණාද කියලා ඔබ දන්නවා. එදා මට තිබුණු වගකීම මේ රටේ සියලුම ජනතාව වෙනුවෙන් ත්‍රස්තවාදය පරාජය කිරීමට කටයුතු කිරීමයි. මම ඒ කටයුත්ත නොපිරිහෙළා ඉටු කළා.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මුස්ලිම් ජනතාවගෙන් විශාල ආදරයක් ඇති වෙලා තිබුණු අවස්ථාවක දේශීය හා විදේශීය බලවේග විසින් කුමන්ත්‍රණයක් කරලා මේ රටේ මුස්ලිම් ජනතාව අතර බොරු මතයක් ඇති කර මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ආණ්ඩුව කෙරෙහි අප්‍රසාදයක් ඇති කළා. ඒ කාලය තුළදී යම් යම් පුද්ගලයන්ගේ අනුදැනුම මත යම් යම් සිදුවීම් වෙනකොට ඒ සෑම අවස්ථාවකදීම ආරක්ෂාව පිළිබඳව ගතයුතු පියවර එවකට හිටපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් මමත් ඉතා ඉක්මනින්ම ගත්තා. දර්ගා නගරයේ ඇතිවුණු සිදුවීමෙන් පසුවත් එම ප්‍රදේශයේ සංවර්ධනය සඳහා අපි ත්‍රිවිධ හමුදාව යොදවලා ඉක්මනින්ම සහනයක් ලබා දෙන්නට කටයුතු කළ බව ඔබ දන්නවා. නමුත් අපට එදා පුළුවන්කමක් ලැබුණේ නෑ, මුස්ලිම් ජනතාවට කිසිම අයුරකින් අසාධාරණයක් සිදු කළේ නෑ කියන කාරණය ඔබට වටහා දෙන්නට. ඒ ගෙනගිය බොරු ප්‍රචාරවලට නිසි අයුරින් පිළිතුරු දෙන්නට පුළුවන්කමක් නැති තරමට ඒ බොරු ප්‍රචාර මේ ජනතාව අතර පතුරුවා තිබුණා. දැන් වැඩිදෙනකුට තේරුම් ගිහින් තිබෙනවා එදා ගෙන ගිය ප්‍රචාර බොරු බව.

මේ රටේ සියලුම පුරවැසියන්ට ශ්‍රී ලාංකිකයන් වශයෙන් ගෞරවනීය ලෙස තමන්ගේ ජීවිකාව කරගෙන යන්නට, තමන්ගේ ආගම අදහන්නට, තමන්ගේ චාරිත්‍ර වාරිත්‍ර ඒ ආකාරයෙන්ම පිළිපදින්නට සුදුසු රටක් බිහිකරන්නට තමයි එදා 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධුරයට පත්වෙලා ත්‍රස්තවාදය පරාජය කළාට පසුව අරමුණ වී තිබුණේ.

ඒ ආණ්ඩුව යටතේ නැඟෙනහිර පළාතේ කරපු දියුණුව, ඒ පළාතට ඔබ ගිහින් තියෙනවානම් දන්නවා ඇති. ඒ වගේම උතුරු ප්‍රදේශයේ ත්‍රස්තවාදය පරාජය කළාට පසුව ඒ ජනතාව වෙනුවන් විශාල සංවර්ධනයක් ඇති කළා. නැඟෙනහිර උතුරු පළාත්වල ඒ සංවර්ධනය ඇති කළේ විශේෂයෙන්ම ඒ පළාත්වල ජීවත්වන මුස්ලිම් හා දෙමළ ජනතාවගේ සුබසිද්ධිය සඳහා. මෙවැනි සංවර්ධනයක් කරලා තිබෙන කාලයකම තමයි මේ විවිධ බලවේග විසින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව පරාජය කිරීම සඳහා ඒ කුමන්ත්‍රණය දියත් කර තිබුණේ.

අපේ ප්‍රතිපත්තිය මේ රටේ ජීවත්වන සෑම පුරවැසියකුටම මේ රටේ ගෞරවනීය පුරවැසියකු ලෙස ජීවත් වීමට මේ රට සකස් කිරීමයි. මේ රටේ ජීවත් වන මුස්ලිම් ජනතාවට මට බය නැතුව කියන්න පුළුවන් කිසිම ආකාරයකින් රාජපක්ෂ පාලනයක් යටතේ කවදාකවත් බියකින් ජීවත් වෙන්නට ඉඩ තියන්නේ නෑ. පූජකතුමන්ලා සමඟ, මුස්ලිම් සමාජයේ ප්‍රභූවරුන් සමඟ එදත් අපි සාකච්ඡා පැවැත්වූවා, ඉන්පසුවත්, දැනුත් අපි ඒ සාකච්ඡා පවත්වමින් යනවා. මුස්ලිම් ජනතාවට තිබෙන ප්‍රශ්න මොනවාද? හිතේ තියෙන බිය සැක මොනවාද? ඒ බිය සැක දුරු කිරීම සඳහා ගතයුතු පියවර මොනවාද යන්න හඳුනාගෙන ඒ සඳහා ඉදිරියේදී ක්‍රියා කිරීමට අපි සාකච්ඡා කරගෙන යනවා.

මේ රටේ ඉපදුණු, ජීවත්වුණු සිංහල, දෙමළ, මුස්ලිම් සෑම පුද්ගලයකුටම තමන්ගේ ජීවිතය ආරක්ෂිතව ගෙන යෑමට සුදුසු රටක් අපි එදා බිහිකරමින් තිබුණා, ඒක අවාසනාවකට නැවැතුණා. ඒ ආරක්ෂිත රට, සංවර්ධිත රට මේ ශ්‍රී ලංකාව තුළ බිහිකරන්න පුළුවන් වෙයි කියලා අපට විශ්වාසයි.

බේරුවල පවත්වන මේ ඉෆ්තාර් උත්සවයේදී බිය නැතුව සැකයකින් තොරව ප්‍රකාශ කරන්න පුළුවන්, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ ඉදිරියේදී බිහිවන පාලනයකදී කිසිම බියක් නැතුව තමාගේ ආගම අදහන්නට, තමාගේ වෙළෙඳ ව්‍යාපාර සාර්ථකව කරගෙන යන්නට, ජීවිකාව බියකින් තොරව කරගෙන යන්නට සුදුසු වාතාවරණයක් බිහි වෙන බව.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාත් මමත් එදා තමුන්නාන්සේලාගේ ආගම ඇදහීම එපමණක් නෙවෙයි සියලු ආගම්වල ජනතාවට එම ඇදහිලි බියෙන් සැකෙන් තොරව කටයුතු කරන්න පුළුවන් වාතාවරණයක් ඇති කළා. රට සංවර්ධනය කරන්න නම් රටේ ස්ථාවර ආරක්ෂාවක් තියෙන්න ඕනේ. එහෙම ආරක්ෂාවක් නැත්නම් ආයෝජකයෝ එන්නේ නැහැ. ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ මම ඍජුවම මැදිහත් වෙලා රටට ආයෝජකයන් ගෙනාවා. අද කොළඹ කොටුව අවට තියෙන්නේ ඒ ආයෝජනයි. බලපෑම් නිසා අද ආයෝජකයෝ එන්නේ නැහැ. ඔවුන්ට නිදහසේ වැඩක් කරන්න බැහැ.

අප බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ජීවත් වෙන සෑම පුද්ගලයකුටම පළමුව ආරක්ෂාව තිබිය යුතුයි කියලා. දෙවනුව තමන්ගේ රැකියාව කරගෙන යෑමට සුදුසු වාතාවරණයක් තිබිය යුතුයි. ඒ වගේම තමන්ගේ හිසට වහලක්, තමන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, ඒ වගේම මේ රට තුළ ව්‍යාපාර සඳහා සුදුසු වාතාවරණයක් ඇති කළ යුතුයි. අපේ ප්‍රතිපත්ති සකස් කර තිබෙන්නේ මෙන්න මේවා පදනම් කරගෙනයි.

මෙම උත්සවයට සහභාගි වීමට ලැබීමත්, ඔබ ඉදිරියේ පසුගිය කාලයේදී පැතිරී ගිය බොරුප්‍රචාර පිළිබඳව පැහැදිලි කර දීමටත් එසේම ඉදිරියේදී ඔබට කිසිදු බියකින් තොරව ජීවත්වීමට වාතාවරණයක් සකස් කරනවා කියන පොරොන්දුව දීමටත් අවස්ථාව දීම ගැන ස්තූතිවන්ත වෙනවා.

මතුගම - වසන්ත කුමාර,
« PREV
NEXT »