BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, May 09, 2018

රට දිනවන්න බල අරගල නතර කරමු; ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනපති පවසයි

රට හමුවේ ඇති අභියෝග ජය ගැනීමට නම් ජාතික ආණ්‌ඩුවේ පක්‌ෂ අතර පවතින බල අරගලයත්, ආණ්‌ඩුව සහ විපක්‌ෂය අතර පවතින බල අරගලයත් සමනය කර ගත යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (8දා) පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේදී සඳහන් කළේය. 

අප රට දැන් මුහුණ දී සිටින්නේ විවිධ පක්‌ෂ සහ කණ්‌ඩායම්වල දේශපාලන බලය උරගා බැලීමට සුදුසු මොහොතක නොවන බවත් ජනාධිපතිවරයා එහිදී පැවසීය.

ශ්‍රී ලංකාව සියලුම සංවර්ධන පැතිකඩ අතරින් පරාජය කළ නොහැකි දේශයක්‌ ලෙස ගොඩනැඟීම රජයේ පළමු ඉලක්‌කය බවත් ශ්‍රී ලංකාවේ දේශපාලන ස්‌ථාවරත්වය සඳහා ජාතික ආගමික සහජීවනය සාක්‌ෂාත් කර ගත යුතු බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

දූෂණයෙන් සහ අක්‍රමිකතාවෙන් තොර රාජ්‍ය තන්ත්‍රයක්‌ ගොඩනැඟීම රජයේ තෙවැනි ඉලක්‌කය බවත් දූෂණය මුලිනුපුටා දමා සියලු දූෂිතයන්ට නීතිය ක්‍රියාත්මක කිරීම අපගේ ඒකාන්ත අරමුණ බවත් එය මේ රටේ පොදු මහජනතාවගේ ප්‍රාර්ථනයක්‌ බවත් ජනාධිපතිවරයා පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය ආධිපත්‍යය ස්‌ථාපිත කර ජාතීන් අතර විශ්වාසය සහ සමඟිය තහවුරු කර දැවැන්ත ණය උගුලින් රට බේරාගෙන ආර්ථිකය යළි නඟාසිටුවීම සහ ජාත්‍යන්තරය දිනා ගැනීම යන කාරණා අප ජයග්‍රහණය කර ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.

ගජමිතුරු ආර්ථිකය පරදවා සමාජ මිතුරු ජනතා හිතවාදී ආර්ථිකයක්‌ ගොඩනැඟීමට කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
« PREV
NEXT »