BREAKING NEWS
latest

728x90

468x60

Saturday, June 02, 2018

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්‌පති ලසන්ත ඝාතනයේ යතුරුපැදි ගැන විමර්ශනය නොකරන ලෙස තර්ජනය කරලා

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා වෙඩිතබා ඝාතනය කළ ඝාතකයන් පලාගිය යතුරුපැදි හා ඔහුගේ වාහනයේ සටහන් කර තිබූ යතුරුපැදි අංක දෙක සම්බන්ධයෙන් විමර්ශනය නොකරන ලෙසට බලපෑම් කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රසන්න නානායක්‌කාර මහතා ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට ගියහොත් ලසන්ත වික්‍රමතුංග මහතාට සිදුවූ දෙයම සිදුවිය හැකි බවට සිය සේවාදායකයාට තර්ජනය කර ඇතැයි සැකකාර පොලිස්‌ පරීක්‍ෂක තිස්‌ස සුගතපාල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඊයේ (01 දා) ගල්කිස්‌ස ප්‍රධාන අධිකරණය හමුවේදී ප්‍රකාශ කළේය.

එවකට කොට්‌ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වූ තුන්වැනි සැකකාර නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රසන්න නානායක්‌කාර මහතා සිය සේවාදායකයාගේ ජීවිතයට පමණක්‌ නොව ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ ජීවිතවලට එල්ල කළ එකී තර්ජන සහ ලසන්ත වික්‍රමතුංග මහතාගේ වාහනයේ තිබූ සැක සහිත යතුරුපැදි දෙකක අංක සටහන් කොට තිබූ සටහන් පොත හා විමර්ශනය සටහන් ඇතුළත් පොලිස්‌ තොරතුරු සටහන් පොත ගෙන ගොස්‌ ඔහුට භාරදී ඇති බවද දෙවැනි විත්තිකාර තිස්‌ස සුගතපාල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රසික වීරතුංග මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ සටහන් පොත නියෝජ්‍ය පොලිස්‌පතිවරයාට භාරදීමට පෙර එහි සටහන් කර තිබූ යතුරුපැදි අංක සහිත පිටුවල ඡායාස්‌ථ පිටපත් ලබාගෙන සන්තකයේ තබාගැනීමට සිය සේවාදායකයා පියවර ගෙන ඇති බවද එහිදී පෙන්වා දුන් ගල්කිස්‌ස පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස්‌ පරීක්‍ෂක තිස්‌ස සුගතපාල මහතාගේ නීතිඥවරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

දෙවැනි සැකකාර තිස්‌ස සුගතපාල මහතා මෙන්ම එවකට ගල්කිස්‌ස ප්‍රදේශයේ රාජකාරි කළ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි හේමන්ත අධිකාරි මහතා ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති රහස්‌ ප්‍රකාශවල පිටපත් ලබාදෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්‌ඩාර මහතා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම නඩුවේ දෙවැනි සැකකාර හිටපු පොලිස්‌ පරීක්‍ෂක තිස්‌ස සුගතපාල හා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රසන්න නානායක්‌කාර යන මහත්වරුන් ලබන 12 වැනිදා දක්‌වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට ගල්කිස්‌ස ප්‍රධාන මහෙස්‌ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා නියෝග කළේය.
« PREV
NEXT »