BREAKING NEWS
latest

728x90

468x60

Monday, June 04, 2018

ජගත් පරිසර දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

මානව හා සත්ත්ව සංහතියේ සුරක්ෂිතභාවය රදා පවතින පරිසරයේ සුවිශේෂී වැදගත්කම කියාපාන ජගත් පරිසර දිනය ජූනි 05 වනදාට යෙදී තිඛෙන අතර ඒ නිමිත්තෙන් සංවිධානය කළ

ජගත් පරිසර දින සැමරුම අද (04) පෙ.ව 10.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේ දී ආරමභ වෙයි.

හෙටට (05) යෙදී ඇති ජගත් පරිසර දිනයට සමගාමීව පැවැත්වෙන මෙම උළෙල අද දිනය පුරා පැවැත් වීමට කටයුතු යොදා ඇති අතර ‘ප්ලාස්ටික් අවභාවිතාව මගින් සිදුවන පරිසර දූෂණය පිටු දකිමු, යන්න මෙවර පරිසර දිනයේ තේමාව වේ.

ජගත් පරිසර ජාතික සැමරුම් දිනයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සංකේතාත්මකව පැළයක් රෝපණය කරමින් ජගත් පරිසර දින සැමරුම් ජාතික උත්සවය ආරම්භ කරනු ලබයි.

එහිදී ප්‍රදේශයේ කසළ කළමනාකරණයට අදාළ පහසුකම් සැපයීම සම්බන්ධයෙන් කෑගල්ල දිස්ත්‍රික් පරිසර පැතිකඩ පිළිබඳ මූලික ජෛව පරිසර දත්ත වාර්තාව එළිදැක්වීමත්, පරිසර දිනයට සමගාමීව පවත්වන ලද තරගවල ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කිරීමත් ඇතුළු වැඩසටහන් රැසක් පැවැත්වෙයි.

මීට අමතරව රටපුරා පරිසර සංරක්ෂණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය හා අනුබද්ධ ආයතන එක් සැලසුම් කර තිබේ.

පසුගිය මැයි 30 වනදා සිට ජූනි 05 වනදා දක්වා සතියක කාලය ජාතික පරිසර සතිය ලෙස ප්‍රකාශයට පත්කර විවිධ වැඩසටහන් රැසක් ද ක්‍රියාවට නංවා තිබේ.

ජගත් පරිසර දින සැමරුම ආරම්භ කෙරුණේ 1972 වර්ෂයේදි ස්වීඩනයේ එක්සත් ජාතින්ගේ සම්මේලනයට ඉදිරිපත්වූ යෝජනාවක් සම්මත වීමත් සමගය. පරිසරය පිළිබඳ දැනුවත් කිරීමත්, පරිසරය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, පරිසර දූෂණය වළක්වාලමින් සුරක්ෂිත පරිසරයක් සඳහා ක්‍රියාකාරිත්වය වැඩි කිරීම මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රධාන අරමුණ වී තිබේ.

ස්වභාවික විපත් වන ගංවතුර, නායයෑම්,ගිනි කඳු පිපිරිම් ආදිය වර්තමානයේ බහුලව ලොව පුරා ඇති වෙමින් පවතී. ගෝලිය උණුසුම ඉහළ යාම බලවත් තර්ජනයක් අනාගතයට ඉතිරි කරන බව මේ වන විටත් ගෝලීය පරිසර විශේෂඥයන් පෙන්වා දී තිබේ.

වායු දූෂණය, ජල දූෂණය මෙන්ම ජනතාව ජීවත්වන අවට පරිසරය ආරක්ෂිත වටපිටාවක් බවට පත් නොකොට දූෂිත පරිසර පද්ධතියක් ලෙස පවත්වා ගැනීම නිසා දෛනිකව මානව ක්‍රියාකාරකම්වලට බලවත් තර්ජනයක් අත්කර දී තිබේ.

එමෙන්ම පරිසරයට බරපතළ ප්‍රතිඵල අත්කර දෙන විපත්වලට ප්‍රධාන හේතුව වන්නේ මානව ක්‍රියාකාරකම් බව පරිසරවේදිහු පෙන්වා දෙති.

ශීලා උඩුවර
« PREV
NEXT »